කඩු පහර නොතකා දුරු රටකදී විරුකම් පෑ ලංකාවේ වීරයා අමිල | Page 2 | සිළුමිණ

කඩු පහර නොතකා දුරු රටකදී විරුකම් පෑ ලංකාවේ වීරයා අමිල

සිංගප්පූරු සමාජ ක්‍රියාකාරිනියක නග් ලිංග් ලිංග් මාර්තු 16 වැනිදා අමිලට සුබ පැතූ අයුරු. අමිලගේ ගැබිනි බිරිය නෝරා සහ පුතු ද මෙහි වේ.

ම ලේසියෙන් බය වෙන කෙනෙක් නෙවෙයි. ඒ දේ මගේ ලේවල තියෙනවද දන්නෙ නෑ. මට ඔහුගෙන් බේරිලා දුවන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා. ඒත් මම කොහොමහරි එතැනම හිටියා. “

මේ ජීවිතය පරදුවට තබා සිංගප්පූරුවේදී වීර ක්‍රියාවක නියැළුණු අපේ රටේ අමිල චින්තන විදෙස් මාධ්‍ය අමතා පැවැසූ වදන්ය.

ඉකුත් 14 වැනි සඳුදා දින දහවල් 1.58ට පමණය. සිංගප්පූරුවේ බුවාංකොක් ක්‍රසන්ට්හි මාර්ගයක සමුරායි වර්ගයේ කඩුවක් අතැති පුද්ගලයකු මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට ද කඩු පහර එල්ල කරමින් අසාමාන්‍ය ලෙස හැසිරෙමින් ගමන් ගන්නා ආකාරය සීසීටීවී කැමරාවලද සටහන් වී තිබිණි. 

මාර්ගයේ ගමන්ගත් එකී පුද්ගලයා එක්වරම පදික මාරුවකදී කඩු පහර එල්ල කළේ පදික මාරුවේ පාර්සලයක්ද අතැතිව ගමන් කරමින් සිටි පුද්ගලයකුටයි. ඔහු වේගවත් කඩු පහර කිහිපයක්ම එම පුද්ගලයාට එල්ල කරන ආකාරයද සීසීටීවී කැමරාවලින් දිස්විණි.

එම කඩු පහරවලට නොබියව මුහුණ දුන් ඔහු අන් කවරකුවත් නොව ශ්‍රී ලාංකිකයකු වන 35 හැවිරිදි කුමාරපේලි ආරච්චිගේ අමිල චින්තනයි. අමිල ඔහුට කඩු පහර කිහිපයක් එල්ල කළ පුද්ගලයා සමඟ පොර බදන්නට වූයේය. ඒත් සමඟ ඒ ස්ථානයේ ලිස්සා වැටුණු අසාමාන්‍ය ලෙස හැසිරුණු ඒ පුද්ගලයා පාලනය කිරීමට අමිලට හැකියාව ලැබුණේ ඔහුගේ සහායට එක්වූ තවත් පුද්ගලයන් සිවුදෙනකුද සමඟිනි.

එම සිදුවීම ඒ අසලින් දහවල් ආහාරය සඳහා ගමන් කරමින් සිටි සිංගප්පූරු ජාතික කෝ ජිආ ෂින් නමැත්තිය සිංගප්පූරුවේ ඇන්ග් මෝ කියෝ පොලිස් කොට්ඨාසය වෙත දුරකථනයකින් දැනුම් දීමත් සමඟ අසාමාන්‍ය හැසිරීම් විලාසය පෙන්වමින් මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කළ තැනැත්තා පොලිස් අත්අඩංගුවට ගැනිණි.

එලෙස අත්අඩංගුවට පත් වූයේ සිංගප්පූරු ජාතික 37 හැවිරිදි ෆාදිල් යුසොප් නමැත්තෙකි. සිව්දරු පියෙකු වන ෆාදිල් පිළිබඳ සිංගප්පූරු පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ ඔහු කිසියම් පෙති වර්ගයක් පානය කොට එලෙස හැසිරී ඇති බවයි. ඔහු වාසය කළ නිවෙස පරීක්ෂාවේදී ඒ පෙති පැකට් දෙකක්ද පොලිසියට හමුවිණි.

ෆාදිල් නවාතැන්ගෙන සිටි මහල් නිවාසයේ සෝපාන ලොබියේදීද පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගැනීමෙන් පසු මාර්ගයට පිවිස එහි ගමන් ගත් මෝටර් රථ පහකට පමණ පහර දෙමින් පැමිණෙද්දී අමිල චින්තන හමුවන ආකාරය සීසීටීවී කැමරාවල දිස්විය. අමිල නොබියව ඔහුව පාලනය කළේ ශ්‍රී ලංකා අභිමානය ද සිංගප්පූරු භූමිය තුළ පමණක් නොව සමස්ත ලෝකවාසීන් ඉදිරියේම පිළිබිඹු කරමිනි.

අමිල චින්තන ප්‍රධාන කණ්ඩායම සිදුකළ වීර ක්‍රියාව අගයා ඉකුත් අඟහරුවාදා දින සිංගප්පූරුවේ ඇන්ග් මෝ කියෝ පොලිස් කොට්ඨාස මූලස්ථානයේදී සමරු ඵලක පිළිගන්වමින් ඇගැයීමට ලක්කිරීමටද සිංගප්පූරු රජය පියවර ගත්තේය. එහිදී ෆදිල් යුසොප් මෙල්ල කළ අමිල ඇතුළු පස්දෙනා සහ පොලිසියට එ් සිදුවීම දන්වා සිටි කාන්තාවට මහජන ආධ්‍යාත්මික සම්මානය පිරිනැමිණි.

ඒ අනුව අමිල චින්තන සමඟ ඇගැයීමට පාත්‍ර වූයේ ඔහුට සහාය වූ 20 හැවිරිදි ලිම් ජුන් යී, 28 හැවිරිදි මුහම්මද් නූර් රබ්බානි මොහොමඩ් සයිනි, 27 හැවිරිදි ලිම් ජියා ජිං, 29 හැවිරිදි මුහම්මද් නවුෆල් අහමඩ් සුබ්රොරන්ටෝ සහ කාන්තාවක වන 28 හැවිරිදි කෝ ජියා ෂින් යන සයදෙනායි. ඇය සිදුවීම පොලිසියට දැන්වූ තැනැත්තියයි.

ඇගැයීමට පාත්‍ර වූ අමිල චින්තන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කීවේ,

“ඔහු මට තුන් වතාවක් කඩුවෙන් ගැහුවා. මට දුවන්න තිබුණා. ඒත් මම එතැනම හිටියා. මට පළමුවෙන්ම සිහිපත් වුණේ මගේ බිරිය. මම හිතුවා මගේ පවුලේ අයවලුන්ට මේ දේ වුණොත් කියලා. ඒකයි මම ඔහුව පාලනය කරන්න හිතුවේ. මම මුලින් ඔහුව දකිද්දි කිසිම විටෙක හිතුවේ නෑ ඔහු මට පහර දෙයි කියලා. ඒත් නොසිතූ දෙයක් ඉක්මනින්ම සිදුවුණා. හැබැයි මට බය කියන දේ දැනුණේ නෑ..“

අමිල චින්තන සිංගප්පූරුවේ බෙදාහැරීමේ සේවා සමාගමක් වන කිංග්ස්මන් මුවර්ස් (Kingsmen Movers) හි හිමිකරුය. ඔහුගේ බිරිය නෝරා මේ වන විට හත්මස් ගැබිනියකි. අමිල සිදුවීමට මුහුණ දුන්නේ සිය බිරියට දහවල් ආහාරය රැගෙන යන විටයි. අමිල තුන් හැවිරිදි කුඩා පුතකුගේ පියෙක්ද වේ.

කැලණිය ධර්මාලෝක විද්‍යාලයෙන් සිප්සතරා හදාරා මේ වන විට සිංගප්පූරුවේ වෙසෙන අමිල ඇගයීමට ලක්වූ දින වැඩිදුරටත් මාධ්‍යයට කීවේ ඔහුට එම වීර ක්‍රියාව අගයා දුරකථන ඇමැතුම් 500 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම පණිවිඩ 267 ක් පමණ ලැබී තිබූ බවයි. එසේම බොහෝ දෙනකු මුදල් ත්‍යාගද පිරිනමමින් ප්‍රශංසා කළ බවත් ඒ සියලු දෙනාහටම ප්‍රශංසා පිරිනැමීමටද ඔහු අමතක නොකළේය.

අමිල චින්තනට සමුරායි කඩුව අතැතිව සිටි ෆදිල්ව මෙල්ල කිරීම සඳහා මුලින්ම සහායට ඉදිරිපත් වූයේ ටෙමාසෙක් පොලිටෙක්නික් සිසුවකු වන 20 හැවිරිදි ලිම් ජුන් යි නමැති තරුණයායි. ඔහු එම අවස්ථාවේ මැක්ඩොනල්ඩ් අවන්හලකින් දිවා ආහාරය මිලදී ගෙන නිවෙසට යමින් සිටියේය. ඔහු එම අත්දැකීම හෙළි කළේ, 

“මම දැක්කා ඒ පුද්ගලයා පාරේ යන වාහනවලට බාධා කළ ආකාරය. මට අවශ්‍ය වෙලා තිබුණේ ගෙදර ගිහින් මගේ දිවා ආහාරය ගන්නයි. ඔහු චින්තන මහත්තය වෙත කඩුව ඔසවන විට මම හිටියේ වර්ණ සංඥා පුවරුව අසල. මගේ හිතට ආපු එකම දේ තමයි ඔහුට උදව් කළ යුතුයි කියන දෙය. චින්තන මහත්මයාට කරදරයක් නොවෙන්න වග බලාගන්න ඕන කියන දෙය. අවදානමක් තිබුණා. ඒත් මම ඒ ගැන තැකීමක් කළේ නෑ.“ එසේම ඔහු සඳහන් කරනුයේ සිංගප්පූරුවේ එවැනි සිදුවීම් ඉතාම දුර්ලභ බවය.

කෙසේ හෝ ෆදිල් එල්ල කළ කඩු පහර වැදීමෙන් අමිලගේ වම් උරහිසේ සෙන්ටිමීටර 10කට වඩා දිග කැපුමක් මෙන්ම වම් අතේ සහ ගෙල ප්‍රදේශයට පහළින් තුවාල වී තිබිණි.

අමිල ඇතුළු පිරිස ඇගැයීමට ලක්වූ මොහොතේ ඇන්ග් මෝ කියෝ පොලිස් කොට්ඨාසයේ අණදෙන නිලධාරී සහකාර කොමසාරිස් සෙඩ් ටිඕ පැවසුවේ අපේ ප්‍රජාව තුළ මෙවැනි එදිනෙදා වීරයන් සිටීම ගැන අපි ආඩම්බර වෙමු. ඔවුන්ගේ ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නේ සිංගප්පූරුව සුරක්ෂිතව තබා ගැනීමට පොලිසිය ප්‍රජාව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන ආකාරය මනා ලෙස පිළිබිඹු වන බවයි. එසේම සෙඩ් ටිඕ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ පුද්ගලයන් හය දෙනාගේ ක්‍රියාවන් සැකකරුගෙන් “මහජනතාවට වැඩි හානියක් සිදු කිරීම“ වළක්වා ගත් බවයි.

පොලිස් අත්අඩංගුවට පත් ෆාදිල්ට අනතුරුදායක ආයුධවලින් හෝ උපක්‍රමවලින් ස්වේච්ඡාවෙන් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරනු ලැබීය.

ඔහු මනෝ වෛද්‍ය නිරීක්ෂණ සඳහා සති තුනක කාලයක් බන්ධනාගාර වෛද්‍ය මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙසද විනිසුරුවරයා නියෝග කෙරිණි. නැවත අප්‍රේල් 6 වැනිදා ෆාදිල් යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. යම් හෙයකින් සිංගප්පූරු නීතිය අනුව ඔහු වරදකරු වුවහොත් වසර හතක් දක්වා සිරදඬුවමක්, දඩයක්, වේවැල් පහරක් හෝ එකී දඬුවම්වල ඕනෑම සංයෝජනයක් පැනවිය හැකි බවත් වාර්තා වේ.

සිංගප්පූරු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව (අයිඑස්ඩී) මේ පිළිබඳව සඳහන් කර තිබුණේ සිදු කර ඇති මූලික පරීක්ෂණවලදී එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට නොපෙන්වන බවයි.

සටන්කාමී කණ්ඩායම්වල පින්තූර අන්තර්ජාලය ඔස්සේ බෙදාගැනීම සම්බන්ධයෙන් ෆාදිල් පිළිබඳව 2016 වසරේදීද අයිඑස්ඩීය විසින් විමර්ශනයක් සිදුකර ඇත. එම විමර්ශනවලින් ඔහු සන්නද්ධ ප්‍රචණ්ඩත්වයේ යෙදුණු අයකු බවට අනාවරණය වී නොතිබිණි. එහෙත් ඔහු නොයෙක් දෑ සමාජ මාධ්‍යයන්හි පළ කිරීම නිසාවෙන් ආරක්ෂක අංශවල දැඩි විමර්ශනයට ලක්වී තිබිණි.

2020 වසරේ ජනවාරි මස මස්ජිඩ් අල්-මවාඩාහි ආගමික නායකයෙකු වෙත පිහියක් රැගෙන පැමිණීම නිසා ෆාදිල් අත්අඩංගුවටද ගෙන තිබිණි. එවරද ෆාදිල් කිසියම් පෙති වර්ගයක් විශාල ප්‍රමාණයකින් පානය කර ඇති බවත් එය ඔහුගේ හැසිරීමට දායක වූ බවත් අනාවරණය විය. ඊට සිර දඬුවම් නියම වූ ඔහු බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණ ඇත්තේ 2020 වසරේ ජූලි මාසයෙයි.

එම සිදුවීමෙන් පසුවද ෆාදිල් ආගමික උපදේශනය සඳහාද යොමුකර තිබූ බව සිංගප්පූරු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අමිල චින්තන සිදුකළ වීර ක්‍රියාව පිළිබඳව සිංගප්පූරු රජයෙන්ද හරසර ලබද්දී අපේ රටටද අන්තර්ජාතිකව කීර්තියක් අත්කර දුන් අමිල පිළිබඳව මෙරට වගකිවයුත්තන්ද ඇගැයීමකට ලක්කරන්නේනම් මැනවි.


Comments