
නිදහසින් පසුව මෙරට මුහුණ දුන් දැවැන්තම ආර්ථික අර්බුදය මේ අවස්ථාව වනවිටත් අත් විඳිමින් සිටියි. එය සනාථ කිරීමට උදාහරණ අවැසි නොවෙයි. තෙල්, විදුලිය, ගෑස්, බේකරි නිෂ්පාදන සහ බස් ගාස්තු වැඩි වීම ඇතුළුව ඉදිරියේදී විය හැකි මහකන්නයේ නිෂ්පාදනය කඩා වැටීමෙන් අස්වැන්න අඩුවීම, සහල් හිඟයක් ඇති වීමට ඇති ඉඩකඩ වැනි සමස්ත ආර්ථීකයේ සෑම පැතිකඩක්ම කඩාවැටීමට ලක්වී ඇත. මූලික පොදු වුවමනාවන් සපයන අංශ ගත් විට ජලය හැර විදුලිය ඉන්ධන ගෑස් යන ජනජීවිතයට අත්‍යවශ්‍ය බොහොමයක් කඩා වැටී ඇත. 1970 -1977 දක්වා කාලය තුළ මෙවැනි දැවැන්ත ආර්ථික අර්බුද නිර්මාණය වී ඇතත්; ඊටත් වඩා අර්බුදකාරී තත්ත්වයකට අද රට පත්වී ඇත.
නමුත් මේ කරුණු දැක්වීමෙන් පමණක් ආර්ථිකය මෙසේ වීමට හේතු කාරණා පැහැදිලි කිරීමට නොහැකියි. ඒ සඳහා ඉහත මතුපිට තලයේ ගැටලුවලින් ගැඹුරට ගොස් බැලිය යුතුයි. කුමන හේතු කාරණා මත පදනම්ව මේ ප්‍රශ්නය මතුවී ද යන කරුණ පිළිබඳ සැලකිය යුතුය. දෙවැනි තලයේ සිට ඒ දෙස බැලීමේදී; විදෙස් විනිමය හිඟය ප්‍රධාන වෙයි. 2019 ආණ්ඩු මාරුවේදී ලංකාවේ විදෙස් විනිමය සංචිත ඩොලර් බිලියන 7.5 පමණ විය. මේ ප්‍රමාණය පැවැතියේද රටේ ආර්ථිකයේ නිරෝගී බව නිසා නොවෙයි. මේ ප්‍රමාණය පවත්වා ගනු ලැබුයේද විටින්විට විදෙස් ණය ලබා ගැනීමෙනි. බහු පාක්ෂික, ද්වීපාක්ෂික ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ලබාගත් සහ ස්වාධිපත්‍ය තිළිණ සුරැකුම්පත් නිකුතුව මඟින් ලබාගත් ඩොලර් වෙයි. පසුගිය ආණ්ඩුව පමණක් නොව පැවැති බොහෝ ආණ්ඩු විදෙස් විනිමය සංචිතයන් ගොඩනඟා ගනු ලැබුයේ ද ඒ ආකාරයෙනි. එයද ආර්ථිකයේ නිරෝගී තත්ත්වයක් නොවේ.
මේ සංචිතය 2022 වනවිට ඩොලර් 300ක් දක්වා වසර දෙකක කාලයක් තුළ ශීඝ්‍රයෙන් පහතට වැටී ඇත. එයට ප්‍රධාන හේතුවක් ලෙස කොවිඩ් වසංගතය බලපෑ බව හඳුණාගත හැකියි. ඒ හරහා මෙරට නිර්යාත අඩුවීම ඇඟැලුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නොතිබීම මෙන්ම විදෙස් ශ්‍රමිකයන් නැවත පැමිණීම නිසා විදෙස් ප්‍රේෂණ අඩුවීම ද සිදු විය. ඩොලර් බිලියන හතක් ඩොලර් බිලියන දෙකකට පමණ පහත වැටුණි. ලංකාවේ සංචාරකයන්ගෙන් ලැබෙන විදෙස් විනියම පහත වැටීම වසංගතය පදනම් කරගත්තාවූ හේතු කිහිපයක් විය. එමෙන්ම කොවිඩ් නිසා අලුත් වියදම් ගණනාවක් සිදුවිය. සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ එන්නත්කරණය සඳහා වැනි කරුණු පැහැදිලිවම සලකුණු කළ යුතුයි. මේ සියල්ල විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීමට බලපාන ලද හේතු වෙයි.
නමුත් විදෙස් සංචිත වේගයෙන් අඩු වන විට ඒ සඳහා ගතයුතු පියවර නිසි වෙලාවට නොගැනීම ආර්ථික අර්බුදය උග්‍රවීමට හේතු වෙයි. ආර්ථික ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමේදි ගත යුතු වෙලාවේදි ඒවා ගැනීම ඉතා වැදගත් වෙයි. ගතයුතු පියවරයන් ගත යුතු වෙලාවට ගැනීම සඳහා නොයෙක් සිමාවන් තිබුණත් ආණ්ඩුව එසේ තීන්දු නොගැනීම ඉතාමත් බරපතළ ගැටලුවකි. ආර්ථිකයක් හැසිරවීමේදී ඒ සඳහා ක්‍රමවේදයන් එනම් අංශයන් දෙකක් ආර්ථිකය හසුරුවනු ලබන අතර ඒ දෙක සංයෝජනය විය හැකියි. වෙළෙඳපොළ මඟින් කුඩා අංශවල මිල මට්ටම් තීරණය කිරීම එකක් වන අතර අනෙක් යාන්ත්‍රණය ආණ්ඩුව විසින් ඉටු කරන මෙහෙවරයි. මේ යාන්ත්‍රණ දෙකම වෙන වෙනම සහ ඒකාබද්ධව හෝ ක්‍රියාකිරීමේදී මේ වසර දෙකම නිසි පරිදි ක්‍රියාත්මක නොවිණි. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ගැසට් නිකුතුව සහ ඒවා වෙනස් කිරීම, ඉවත් කිරීම වැනි දේ දිගටම සිදු කෙරිණි. මිල පාලනය ඉවත් කිරීම ආදී වශයෙන් නිසි ලෙස මිල යන්ත්‍රණය ක්‍රියාත්මක නොවිණි.
ඒ නිසා භාණ්ඩ මිල එක් පැත්තකින් ඉහළ යන අතර ඒ භාණ්ඩවල විකුණුම් මිල එනම් නිෂ්පාදන මිල ඉතා අඩු මට්ටමකට පත්විය. නිෂ්පාදකයා බරපතළ අර්බුදයකට පත්වී ඇත. මේ කරුණු දෙකම සමනය කිරීමට ආණ්ඩුවේ යාන්ත්‍රණයට හෝ මිල යන්ත්‍රණයට හැකි නොවුණි.
ආණ්ඩුව බලාගාර ඉදිකළත් නොකළත් ඉන්ධන ප්‍රමාණයන් නොලැබීමෙන් මේ බලාගාර ක්‍රියාත්මක නොවීම මුලික කරුණ ලෙස දැක්විය හැකියි. බලාගාර ඉදිකිරීම එතරම්ම වැදගත් කරුණක් වූයේ නම් වෙනත් විශාල ව්‍යාපෘති සඳහා වන පිරිවැය අඩු කර ඒවා බලාගාර සඳහා යෙදවීම කළ හැකිව තිබුණි. උදාහරණ ලෙස මධ්‍යම අධිවේගී මාර්ගය සැලසුම් කිරීම නතර කර ඒ මුදල බලාගාර ඉදිකිරීම සඳහා එනම් පුනර්ජනනීය, කුඩා පරිමාණයේ ගල් අඟුරු පාවිච්චි කරන බලාගාර බලශක්ති නිපදවීම වෙනුවෙන් යෙදවීමට ඉඩකඩ තිබිණි.
ආණ්ඩුවේ යන්ත්‍රණය නිසි වෙලාවට නිසි ප්‍රමුඛතා මත පදනම්ව සකස් නොවීම බරපතළ ප්‍රශ්නයකි. විදුලිය වැනි අර්බුදයන් ගත් විට මාස ගණනාවක සිට මතුවෙමින් පැවැති අර්බුදයන්ය. මේ අර්බුදයට කෙසේ පිළියම් යෙදවිය යුතු ද යන කරුණට ආණ්ඩුවට ඇති පිළියම මිල වැඩි කිරීමයි. මිල වැඩි කිරීම සමාජයේ ඉහළ සහ පහළම තීරුවල සියලු සමාජ කුලකයන්ට බලපානු ලබයි.
දෙවැනි කරුණ නම් මිල වැඩි කිරීම සිදුවුවත් තෙල් හා ගෑස් ඇතුළු අනම්‍ය ඉල්ලුම පවතින ද්‍රව්‍ය සඳහා මිල වැඩි වූ පමණින් ඉල්ලුම අඩු නොවෙයි. මේ අවස්ථාවේදි ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් භාවිත කිරීම වැදගත් වෙයි. ඉන්ධන පාවිචිචි කරන පොදු ප්‍රවාහනයන්ට කිසියම් මිල සුත්‍රයකට අනුව ඉන්ධන ලබාදීම කළයුතු අතර පුද්ගලික වාහන සඳහා එම වාහනවල ධාරිතාව නොසලකා පොදු ප්‍රවාහනයට දෙන මිලට ලබාදී ඊට අමතරව තෙල් ලබා ගැනීමේදී අධිභාරයක් සහිත මිලකට සැපැයිය හැකියි. එසේ කිරීමේදි එවැනි නිර්මාණාත්මක න්‍යායකට යෑමෙන් තෙල් සංස්ථාවේ පාඩුව අවම වීම සහ ඉල්ලුම අඩුවීම වැනි දේ සිදු විය හැකිය. නමුත් තෙල් සහ ගෑස් සම්බන්ධව මෙවැනි න්‍යාත්මක පියවරයන්ට ආණ්ඩුව මහන්සි ගනු නොලැබිණි. නමුත් වෙළෙඳපොළ මිල යන්ත්‍රණයේ කඩා වැටීමත් එමෙන්ම රාජ්‍ය යන්ත්‍රණය නිසි පරිදි නිසි වේලාවට නිසි ප්‍රමුඛතාවකින් කටයුතු නොකිරීමත් නිසා මේ අර්බුදය දිගින් දිගටම උග්‍ර විය.
රසායනික පොහොරවලින් ඉවත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීරණ කිසිම ලෙසකින් ගොවි සංවිධාන ඇතුළු අදාළ පාර්ශ්වයන්ගෙන් විමසීමක් නොකෙරිණි. ඒ නිසා අද මහකන්නයේ නිෂ්පාදනයන 50% කින් අඩුවී ඇත. විශේෂයෙන් වියළි කලාපීය වාරිමාර්ග ආශ්‍රිත අස්වැන්න අඩුවෙයි. ගොවීන් විසින් වෙළෙඳපොළට නිකුත් කරන නිෂ්පාදන ප්‍රමාණය අඩුවිය හැකියි. ඒ නිසා බොහෝවිට සහල් හිඟයක් ඇති විය හැකියි; ඒ සහල් හිඟයට පිළියම් ලෙස සහල් තව තවත් ආනයනය කිරිමට සිදුවිය හැකියි. මෙවැනි තීරණයන් ගැනීමට පෙර අනිවාර්යෙන් ම ඒ විෂයානුබද්ධ දැනුම ඇති පිරිස්වලට ඉඩදිය යුත්තේ මෙවැනි හේතු සාධයන් නිසාවෙනි. අදාළව විෂයානුබද්ධ කුලකයන්ට යම් තීරණයන් ගැනිමට ඉඩ ලබාදිය යුතුයි. මේ නිසා අද ගොවීන් ඉතා බරපතළ ලෙස කරන ඉල්ලීම කෘෂිකර්මය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදි ගොවීන්ගේ සංවිධානයන්ගෙන් විමසිම අනිවාර්යය විය යුතු බවයි. තීණ්දු ගැනීමේ ක්‍රියාවලියේදී පසුගිය වසර දෙක තුළ එය ප්‍රජාතන්ත්‍ර විරෝධි ස්වභාවයක් මතු කරන ලදී. රසායනික පොහොර වගාව අදට වලංගු නොමැති ඒ සඳහා වෙනත් ක්‍රමවේදයන්ට යා යුතු බවත් මේ වනවිට ගොවීන් තේරුම් ගනිමින් සිටියි.
විකල්ප මාර්ග නොමැති ගොවීන්ට රසායනික ගොවිතැන භාවිතයට අකුල් හෙළීම බරපතළ ලෙස රටේ නිෂ්පාදනය කඩා වැටීමටත් ඔවුන්ගේ ජීවනෝපාය කඩා වැටීමටත් හේතුවිය. විශේෂයෙන් රුසියානු යුක්රේන යුද වාතාවරණත් සමඟ මෙරටින් යුක්රේනයට තේ නිෂ්පාදන අපනයන පිළිබඳව ගැටලු මතුවී ඇත. බැංකුවලට ආදායම් ලබාගැනීමේදි අපි පුරුදු වී සිටිනු ලබන්නේ ඩොලර්වලින් ගනුදෙනු කිරීමටයි. ඩොලර් පිළිබඳ රුසියානු බැංකුවලට සිමාවන් පනවා ඇති නිසා අද තේ නිර්යාත කිරීමට ගැටලුවක් මතු වී ඇත. මේ ගැටලුව විසඳා ගැනීමට ඩොලරය මත පදනම් නොවී අපි ආර්ථිකය මෙහෙයවීය යුතුව ඇත.
රුසියානු, චීන මුදල් වැනි බහුවිධ විනිමය සම්බන්ධතා සමඟ ගනුදෙනු කළ යුතුයි. අර්බුදයක් මතුවූ විට ඒ අර්බුදයේ බර කවරෙක් විසින් දැරිය යුතුද යන්න ගැටලුවකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිරන්තරයෙන් ඉදිරිපත් කරන අදහස නම් සියල්ලෝම පටි තද කරගත යුතු බවයි. මේ ආර්ථික අර්බුදයේ විශේෂ ලක්ෂණයක් නම් වැඩි බරක් දැනෙන්නේ සමාජයේ පහළ කුලකයේ ස්ථරවලටය. දිනපතා සුළු ආදායම් ලබන අයට මෙය බලපානු ලබයි. සමාජයේ පහළ තීරුවට මෙහි බර නොලැබෙන සහ නොවිඳින පරිදි ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුයි. ආණ්ඩුව බලයට පැමිණි විගස ආදායම් බදු ක්‍රමය ප්‍රති සංවිධානය කිරිම සිදුවිය. එයින් කිසිදු වෙනසක් සිදු නොවිණි. මේ අදායම් බදු ප්‍රති සංවිධානය මඟින් ආණ්ඩුවේ ආදායම බරපතළ ලෙස කඩාගෙන වැටිණි. ඉහළ ආදායම් ලබන පන්තිවලට වඩා වාසි සහගත වන ආකාරයේ මේ අර්බුදය හැසිරවීම සිදුවිය. මේ බදු ක්‍රමය ප්‍රතිසංසවිධානය කිරීම කළ යුතුයි. ඉහළ ආදායම් ලබන අයගෙන් වැඩිපුර බදු අයකිරීම වැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි.
ආදායම් බදු එකතු කරන සිමාව 2019 වසරේදී පැවැතියේ රුපියල් ලක්ෂයකි. මේ ආණ්ඩුව බලයට පත්වූ පසු රුපියල් ලක්ෂ 250,000 දක්වා වැඩි කෙරිණි. රුපියල් 250,000 දක්වා ආදායම් ලබන පිරිසෙන් අදවනවිට බදු අය නොකරයි. එය ඉතා වැරදි ප්‍රතිපත්තියකි. එන් එම් පෙරේරා මුදල් ඇමැතිවරයාව සිටි කාලයේ ආණ්ඩුවේ ආදායම ශක්තිමත් කිරීමට බදු තීරු ක්‍රමවේදය වැඩි කිරීම එනම් අනුක්‍රමනික බදු ක්‍රමයකට ගමන් කරන ලදි.
විනිමය අනුපාතික ශේෂය වසර දෙකක් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ස්ථාවරව තබා ගැනීමට සිදුවිය. 2020 පසුව රටේ ආර්ථිකය දුර්වලවීමට මුදල් ඒකක වටිනාකම අඩුවීම ඒ රටේ ආර්ථිකයේ දුර්වලතාව ප්‍රකාශනය පත් කිරීමයි. ස්ථාවර මුදල් විනිමය අනුපාත ක්‍රමයක් පවත්වා ගැනීම මඟින් විනිමය අනුපාත ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යව තිබුණු කාලයක් විය.
ඉල්ලුමට අනුව සැපැයුමට අවශ්‍ය ආකාරයට රුපියලේ අගය තීන්දු කිරීම සිදු කරන්නේ නම් එසේ සිදු විය යුතු බව ඇතැමුන් ගේ අදහසයි. රුපියලේ අගය තීන්දු වන්නේ වඩාත් සමපේක්ෂණ ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමිනි. විදෙස් විනිමය වෙළෙඳපොළ පවතින සමපේක්ෂණ ක්‍රියාවලිය සැලකිල්ලට නොගෙන ඒවා හැසිරවිම ගැන සැලකිල්ලට නොගෙන රුපියල පාවෙන්න හරිනවාට වඩා ආර්ථිකයේ තත්ත්වය හරි හැටි තේරුම් ගෙන රුපියලට ඇති සැබෑ අගය කුමක් ද යන්න තීන්දු කිරීම කළ යුතුයි. ගත යුතු වෙලාවේ මේ තීරණ නොගැනීමෙන් එහි සපල බව අඩුවෙයි. එසේ නිසි අවස්ථාවේ කළේ නම් මේ පවතින උච්ඡාවචනයන් අඩුවිය හැකියි. විනිමය අනුමතිකය යනු එම රටේ ආර්ථිකය ශක්තිමත්ද දුර්වලද යන්න පෙන්වීමේ ප්‍රධාන අංගයකි. යම්කිසි රටක විනිමය අනුපාතිකය ඉහළ යයි නම් ඒ රටේ ආර්ථිකය ශක්තිමත් බව පෙන්නුම් කරයි. එය අඩුවේ නම් ආර්ථිකය දුර්වලතාව පෙන්නුම් කරයි. රුපියල අවප්‍රමාණ කළා නම් 2020 පමණ නිශ්චිත තක්සේරු අනුව එසේ වී නම් ආර්ථීකය මේ තරම් වැටිම වළක්වාගත හැකිව තිබුණි. එසේ නම් සමස්ත ආර්ථීකයට ම බලපෑම යම් ප්‍රමාණයකට අඩුවීමක් සිදුවිය හැකිව තිබුණි. රුපියලේ සැබෑ අගය හඳුනා නොගැනීම අද වනවිට උග්‍ර විනිමය ගැටලුවක් මතු වීමට හේතුවී ඇත.
මේ ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ගයන්ට අනුව ගියොත් යුක්රේන සහ රුසියානු අර්බුදය සැලකිල්ලට ගනිමින් බහුවිධ මුල්‍ය ප්‍රතිපත්තියකට ගමන් කළ යුතුය. මෙහිදී සම්පූර්ණ ප්‍රතිපත්තිමය වෙනසකට නොගියහොත් අසීරුතා මතුවිය හැකියි.
තුන් වැනි හේතු කාරණාව ගැඹුරුට සලකා බැලීමේදී මෙරට 1977 වසරේ අනුගමනය කරන ලද සංවර්ධන මූල උපාය මාර්ගය කඩාවැටීම සිදුවීමෙන් පසුව දියුණුවක් නොවුණ අතර එයින් සිදුවූයේ ආර්ථිකය අතිශයන් අර්බුදකාරී තත්ත්වයට පත්වීමය.
මේ පවතින ප්‍රතිපත්තියෙන් වෙනස්වී 1977 වසරේ ආර්ථික ප්‍රතිපත්තියටම ආපස්සට යෑම අද වනවිට ඇති අර්බුදයෙන් ගැලවීමට ඉතාමත් වැදගත් වෙයි. එසේ නොමැතිව කුඩා පරිමාණ ආනයනයනට සීමා පැනවීම හෝ විනිමය අනුපාතිකය පාවෙන්නට හැරීම වැනි ක්‍රියාමාර්ග පමණක් නොව පැහැදිලි ආර්ථික ප්‍රතිපත්ති කට්ටලයක් ගොඩනැඟිය යුතුයි.
මේ සමස්ත කට්ටලය ගොඩනැඟීම සම්බන්ධවෙන් ගත්විට අද පවතින ආර්ථික කවුන්සිලයට ඒ සඳහා ක්‍රියා කිරීමට සක්‍රිය දායකත්වයක් සැපැයිය හැකිද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙයි. ආර්ථික කවුන්සිලයක බලය තීරණය කිරීමට යම් පිරිසක් සිටීම වැදගත්; නමුත් ඉතා වැදගත් කරුණ විය යුත්තේ එහිදී ගනු ලබන තීන්දු තිරණයන් මොනවාද යන යන්නයි. ආර්ථික පිළිබඳව පැහැදිලි,
ප්‍රමාණික දැනුමක් සහ ඒ පිළිබඳ අධ්‍යයනක් ඇති පිරිසක් ආර්ථික කවුසිලයක් හැසිරීමෙන් මේ ආර්ථික අර්බුදයට නිවැරදි විසඳුම් හිමිවනු ඇත.