අහස උසට නඟින පාන් පිටි සහ සිමෙන්ති මිල | Page 3 | සිළුමිණ

අහස උසට නඟින පාන් පිටි සහ සිමෙන්ති මිල

මෑත කාලයේ පිටි සහ සිමෙන්ති වැඩි වීමේ ප්‍රති­ශ­තය.

තිරිඟු පිටි මිල යළි ඉහළ දැමීමත් සමඟ පසුගිය 13 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රු.30කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය ද තීරණය කර තිබේ.

ඒ අනුව පාන් රාත්තලක මිල රු. 110 ක් දක්වා ඉහළ ගිය අතර, බනිස් මාළු පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රුපියල් 10 කින් ඉහළ දැමිණි.

මෙසේ පිටි කිලෝවක මිල ඉහළ යෑම හේතුවෙන්, පාන් ගෙඩියේ සිට සියලුම බේකරි නිෂ්පාදනවල මිල පසුගිය ඉරිදා රාත්‍රියේ සිට ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමයේ (ACBOA) සභාපති එන්. කේ. ජයවර්ධන පැවසීය.

" පිටි සපයන ප්‍රධාන සමාගම් පසුගිය 13 දා සිට කිලෝවක් රු.38-40 දක්වා මිලකින් ඉහළ දමා තිබෙනවා. රජය විසින් පාලන මිල ඉවත් කිරීම නිසා තමයි, පිටි මේ තරම් ඉහළ ගියේ. රුපියල් 84.50 ට තිබු පිටි කිලෝව මේ වෙනකොට රුපියල්170/- යි. එය 100%ක වැඩි වීමක්.

ඩොලර් නැතිකම නිසා ප්‍රධාන පිටි සමාගම් දෙක දැන් සපයන්නේ වෙළෙඳපොළ අවශ්‍යතාවෙන් 75% ක ප්‍රමාණයක් විතරයි. ඉතිරි 25%ක හිඟය පියවන්න පිටි ආනයනය කරන අලුත් වෙළෙඳුන් පිරිසක් බිහි වෙලා. මේ ව්‍යාපාරිකයෝ පිටි තොග ගෙනැවිත් ප්‍රධාන සමාගම් දෙක මිල ඉහළ දැමීමත් සමඟ ඔවුනුත් මිල ඉහළ දැමුවා. බේකරි හිමියන්ට ඇරෙන්න, මේ හැමෝට ම උදාවෙලා තියෙන්නේ හොඳ කාලයක්.

මොකද දැන් රට පාලනය කරන්නේ ව්‍යාපාරිකයෝ. රජය එයට ඉඩ දීල පැත්තකට වෙලා බලා ඉන්නවා. ඒ නිසා ව්‍යාපාරිකයෝ හිතුමතේ හම්බ කරගන්නවා.

මේ යන ක්‍රමයට ඉදිරි සතිවල ඔවුන් පිටි මිල තව තවත් ඉහළ දමාවි. එහෙම කළා කියලා බේකරි හිමියන් වෙච්ච අපිටවත් පාරිභෝගිකයාටවත් ගන්න කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. ඉස්සර නම් පිටි මිල රුපියල් දෙකකින්වත් වැඩි කරන්න බැහැ, අවසරයකින් තොරව. දැන් ව්‍යාපාරිකයන්ට හිතුණු වෙලාවට මිල ඉහළ දමන්න පුළුවන්.

රුපියල් 8,000ට තිබූ පාම් ඔයිල් ලීටර් 20 අද වෙනකොට රුපියල් 20,000යි. ඒ කියන්නේ 150%කින් මිල දමලා. රුපියල්350ට තිබූ මාගරින් කිලෝව දැන් රුපියල් 900යි. යීස්ට් මිල, ගෑස් මිල, තෙල් මිල මේ හැම දේම අසීමිත ලෙස ඉහළ ගිහින්..."

මෙරට දැවැන්තම පිටි සැපයුම්කාර සමාගම් දෙකෙන් එකක් වන, සෙරන්ඩිබ් සමාගමේ අලෙවි සහ සන්නිවේදන ප්‍රධානී කාලිංග විජේසේකර, පිටි නිෂ්පාදකයන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් පැවසූයේ මෙවැනි අදහසකි.

" අද වෙනකොට රටේ ආහාර පෝලිම් කීයක් තිබෙනවා ද? නමුත් පාන් ගෙඩියක් ගන්න කවුරුත් පෝලිමේ හිටියේ නැහැ. හේතුව අපි පාඩු පිට හරි වෙළෙඳපොළට පිටි නිකුත් කළ නිසා.

මාස කිහිපයකට පෙර රුපියල් 185 ට තිබූ ඩොලර් එක ඉතාමත් කෙටි කාලයකින් රුපියල් 280 වුණා. අද 300ට ආසන්නයි.

තිරිඟු ඇටවල ජාත්‍යන්තර මිල, ටොන් එක 100%ක් වැඩි වුණා. නැව් ගාස්තු 50% කින් ඉහළ ගියා.

එහෙම වුණා කියලා අපි සැපයුම අඩු කළේ නැහැ. වැඩි මුදලට හරි තිරිඟු ඇට ආනයනය කර අඹරා, පිටි හදා පාරිභෝගිකයන්ට දුන්නා. මෑත කාලයේ පළමු වරට මිල වැඩි වීමක් කළේ අවුරුදු තුනකට පස්සේ. ඒ, දිගින් දිගටම ජාත්‍යන්තර තිරිඟු මිල ඉහළ යෑම තව දුරටත් දරාගන්න අමාරු නිසා.

ඒ වගේම, මේ මිල වැඩි කිරීම කළේ කර්මාන්තය තවදුරටත් පවත්වා ගෙන යාමට මිස, අධික ලාභ ලබන්න නෙවෙයි. මේ කර්මාන්තය ඉදිරියට නොගියොත් පාරිභෝගිකයන්ට සිද්ධ වෙන්නේ අනිත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට වගේ, පාන් ගෙඩියත් පෝලිමේ ඉඳලා අරගන්නයි.

මෙතෙක් ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි අවශ්‍යතාවෙන් 35%ක් සැපයූවේ යුක්රේනය. යුද්ධය නිසා ඒ තිරිඟු සැපයීම නතර වුණා.

අනෙක් රටවල් තිරිඟු මිල ඉහළ නැංවූවා. අද ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 400 ඉක්මවා ගිහින්. රුපියලේ අවප්‍රමාණයට පෙර අපි ගෙනාවාට වඩා, 30%ක වැඩි වූ අගයකටයි, අද ගේන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ, ඩොලරය 280 ක් වූ අගයට. මේ තත්ත්වය පිටි ආනයනය සඳහා විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.

ඒ වගේම පිටි සැපයුම්කරුවන් ලෙස අපිටත් ණයවර අරින්න බැරි ප්‍රශ්න තිබෙනවා. ඩොලර් ප්‍රශ්න තිබෙනවා.

අපි මව් සමාගමට ණය වෙලා කොහොම හරි කළමනාකරණය කරගෙන, තිරිඟු ටික ලංකාවට ගෙනැත් පිටි කිලෝව රුපියල් 145 ගානේ ජනතාවට ලබා දෙනවා.

රුපියල අවප්‍රමාණය කර පසුව පාවෙන්නට හැරීමත් සමඟයි මේ තරම් දරන්න බැරි ලෙස මිල ඉහළ යාම සිද්ධ වුණේ. ඒ වගේම යුක්රේන යුද්ධය තදින්ම බලපානවා. මේ කරුණු දෙක තදබල ලෙසම අපිට කර තිබෙන බලපෑම නිසයි, පිටි සැපයුම්කරුවන් ලෙස අපිටත් මිල ඉහළ නංවන්න සිද්ධ වී තිබෙන්නේ.

"මේ අතර, බත් පැකට්ටුවක මිල ද රුපියල් 20කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන් ගේ සංගමය කටයුතු කර තිබේ. ඒ අනුව කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල ද රුපියල් 10 කින් වැඩි වී තිබේ. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසා තිබුණේ, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සහ LP ගෑස් සිලින්ඩර හිඟය හේතුවෙන්, දිවා ආහාර පැකට් මිල ඉහළ දැමූ බවයි.

එසේ මිල වැඩි කිරීමෙන් පසු අලෙවිය ද ක්‍රමයෙන් පහත වැටී ඇති බව ඔහු පවසයි. ගෑස් නැතිකම හේතුවෙන් ආපන ශාලාවල ආහාර පාන සැපයීම ද පසු ගිය මාර්තු 17 වැනි දා සිට 80% කින් ඇනහිටි බවත් එනිසා ම ආපනශාලා 5,000කට ආසන්න සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව ඇති බවත් එතෙකින් නොනැවතී සමස්ත කර්මාන්තයේ නිරතව සිටින ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවකට ආදායම් අහිමි වී ගොස් ඇති බවත් ඔහු පෙන්වා දී තිබිණි. 

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සමඟ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1000ක්, බිත්තරයක මිල රු.30ක් සහ පොල්තෙල් කිලෝවක් රුපියල් 780 දක්වා ද ඉහළ ගොස් තිබේ.

ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ද තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඉදිකිරීම් කර්මාන්තකරුවන් පවසන්නේ අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම මීට ප්‍රධානම හේතුව බවයි.

මේ අතර සිමෙන්ති කොට්ටයක මිල ද රුපියල් 1,850ක් දක්වා, රුපියල් 475 කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර තිබේ.

සිමෙන්ති මිල ඉහළ දැමීමට පෙර කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක් නිල වශයෙන් රු.1,375 ලෙස පැවති නමුත් වෙළෙඳපොළ තුළ රු.1,500 - 1700 ඉක්මවා අලෙවි විය. මේ ආකාරයට රුපියල් 1,850ක් දක්වා මිල ඉහළ ගිය ද සිමෙන්ති හිඟයක් තවමත් රට පුරා පවතින බව වාර්තා වේ.

මේ ආකාරයට ඩොලරය වැඩි වීමේ බලපෑම හේතුවෙන් රටේ ඉදිකිරීම් නතර වන ලකුණු පහළ වී ඇති බවත් මෙම තත්ත්වය මත ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය දැඩි අවදානමකට මුහුණ දෙමින් සිටින බවත් ඉදිකිරීම් කර්මාන්තයේ නියැළෙන බොහෝ පාර්ශ්ව පවසති. මේ සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීමට මෙරට ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදන සමාගම් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔවුහූ ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටියහ.

Comments