![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/11/5-1.jpg?itok=2IUS0KD2)
ජීවිතයේ දී සෑම දෙනාටම දෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැත. එසේ ලැබුණ ද ඇතැමුන් ඉන් නිසි ප්‍රතිඵල ගන්නේ ද නැත. නමුත් එමඟින් නිසි ඵල ගැනීමට සමත්වන්නෝ ද සිටිති. එහෙත් එසේ සිටින්නේ සුළුතරයක් පමණි. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩිකා තැෂ්මින් බ්‍රිට්ස් ද එම සුළුතර පිරිසට අයත් ය. මේ වන විට නවසීලන්තයේ දී පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියටත් ඇය සහභාගි වන්නීය.
- දෙවැනි අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ගැහැනිය
- ඔලිම්පික් බැරි වුණත් ලෝක තලයට එයි
ඒ 2011 වසරේ නොවැම්බර් මාසයේ දිනයකි. මිතුරු මිතුරියන් සමඟ විනෝදයෙන් ගත කර සිටි බ්‍රිට්ස් රාත්‍රියේ දී සිය නිවෙස බලා ගමන් කරමින් සිටියා ය. ඒ සිය මෝටර් රථයෙනි. එහෙත් ඈ රිය පදවමින්ම සිය අවධානය ජංගම දුරකථනය වෙතට යොමු කළාය.
ගත වූයේ නිමේෂයකි. මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන්නේ ය. රිය පෙරැළිණි. ආසන පටි නොපලඳිමින් දෙවැනි වරදද කර තිබූ බ්‍රිට්ස් රථයේ වීදුරුවක් තුළින් පිටතට විසි විය. අනතුරින් ඇයට බරපතළ තුවාල සිදු වී තිබිණි. රියෙන් පිටතට විසි වූ ඇය මතට පෙරළෙමින් තිබුණු මෝටර් රථයත් පතිත වී තිබුණේ ය. එම අනතුරින් ඇගේ උකුළු ප්‍රදේශය බිඳුණා පමණක් නොව ඇගේ මුත්‍රාශය ද පිපිරුණි.
“මම මගේ සිරුර සොලවන්න උත්සාහ කළා. නැඟිටින්න, නැඟිටින්න මම මට ම කියා ගත්තා. ඒ වුණත් මට තේරුණා මගේ දෙපාවලට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියලා. අංශභාගයට ගොදුරු වෙයි කියලා මම කල්පනා කළා. රෝහලේ දී මට සිහිය එන විට මගේ අම්මා හඬනවා මට ඇහුණා.” බ්‍රිට්ස් තමන් මුහුණ දුන් අතිශය දුක්බර මොහොත එසේ සිහිපත් කළා ය.
බ්‍රිට්ස් තෙමසක පමණ කාලයක් රෝහලේ ගත කළා ය. ඇය යළි නිවෙසට ගියේ රෝද පුටුවක ආධාරයෙනි. එවැනි මට්ටමක සිටියත් ඇයගේ සිතේ තිබුණේ එක් බලාපොරොත්තුවකි. එනම් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වීමයි. ඊට ඉතා සාධාරණ හේතුවක් තිබිණි. එනම් ඒ සඳහා ඇය සුදුසුකම් ලබා තිබීමයි. ඒ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙනි.
2007 වසරේ කනිෂ්ඨ ලෝක මලල ක්‍රීඩා ශූරතාව පැවැත්වූයේ චෙක් ජනර-ජයේ ඔස්ට්‍රාවා නුවර දී ය. එහි දී හෙල්ල විසි කරමින් ඈ විශිෂ්ට දස්කම් දක්වමින් ඇය ජය ගත්තා ය. එවිට ඇය සිටියේ 16 හැවිරිදි වියේ ය. “මේ ජයග්‍රහණයෙන් මම ඇත්තටම පුදුම සතුටක් ලැබුවා. මම දකුණු අප්‍රිකානු ජාතික ධජය රැගෙන පිටිය වටේ දිව්වා. මගේ මවත් එදා එතැන සිටියා.”
මෙම ජයත් සමඟ ක්‍රම-ක්‍රමයෙන් ඇය මලල ක්‍රීඩාවෙන් ඉදිරියටම ගියා ය. ඒ අනුව ඇගේ ඊළඟ සිහිනය වූයේ ඔලිම්පික් උලෙළයි. එය කෙතරම් ද යත් සිය දකුණත් බාහුවේ ඔලිම්පික් වළලු 05 පච්ච කෙටීමටත් ඈ තීරණය කළා ය.
බ්‍රිට්ස් හදිසි අනතුරට ලක් වූයේ මෙවන් වාතාවරණයක දී ය. “මට ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වෙන්න පුලුවන් කියලා මම අම්මාට කිව්වා. එහෙම වුණත් තනිවම නැවත ඇවිදීමට මට පුරුදු වෙන්න වුණා. මාව නාවන එක වගේම මට ඇඳුම් අන්ඳවන දේවල් කළේ අම්මායි. වෛද්‍යවරුන් මට කිව්වේ නැවත පිට්ටනියට ඇවිත් දුවන්න වසරක පමණ කාලයක් ගත වේවි කියලයි. ඒ වුණත් මම මාස 07 න් ඒක කළා.”
ඇයට තවත් සැත්කම් කිහිපයකට ම ලක්වන්නට සිදු වූවා ය. එමෙන්ම ඇයට යළිත් හෙල්ලය විසි කිරීමට නොහැකි බවටත් වෛද්‍ය උපදෙස් ලැබී තිබිණි. “මට සමහර අවස්ථාවල සියදිවි නසා ගන්න සිතුණා. එහෙම සිතුණ පළියට එසේ නොකිරීම ගැන අද මම සතුටු වෙනවා” බ්‍රිට්ස් තවදුරටත් පවසන්නී ය.
රිය අනතුරින් පසුව ක්‍රමක්‍රමයෙන් ඇය සුවය ලබන්නට වූවා ය. එමෙන්ම ඇගේ ලන්ඩන් ඔලිම්පික් සිහිනයත් බොඳ වූවා ය. මේ අතර ඈ වේටර්වරියක් සහ වෙළෙඳ සැලක සේවිකාවක් ලෙසට වෘත්තීය ජීවිතය ආරම්භ කළා ය. “එහිදී ඇතැමුන් ඇවිත් ඔයා නේද හෙල්ලය විසි කළේ? කියලා මගෙන් ඇහුවා. ඒ ඇතිවුණු මානසික පීඩනයට මට මනෝ චිකිත්සකවරුන්ගේ සේවයත් ලබා ගන්නට සිදු වුණා.”
අනතුර සිදු වී වසර කිහිපයක් ගත විය. ඇය නැවතත් හෙල්ලය විසි කරන්නට තීරණය කළා ය. එය තරමක් සාර්ථක විය. එම කාලය තුළ ඈ ක්‍රිකට් ක්‍රීඩාවටත් යොමු වූවා ය. “මම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූයේ විනෝදයටයි. ප්‍රාන්ත මට්ටමින් මම තරගවලට ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූවා. මම ක්‍රිකට් ක්‍රීඩාවේ දී සාර්ථක පිතිකාරිනියක් බවට පත් වී සිටියා.”
මෙසේ සාර්ථක වූ බ්‍රිට්ස් හට අවසානයේ දී එරටේ ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලැබුණා ය. ඈ සිය මංගල විස්සයි 20 තරගයට සහභාගි වුණේ 2018 වසරේ දී ය. මේ වන විට ඈ තරග 20 ක දී රැස් කර තිබෙන මුළු ලකුණු ගණන 397 කි. ඊට අර්ධ ශතක 03 ක් ද අයත්ය. ඇය මංගල එක්දින ජගත් තරග වරම හිමි කර ගත්තේ ගිය වසරේ දී ය.
පෞද්ගලික ජීවිතය
බ්‍රිට්ස් මෙලොව එළිය දුටුවේ 1991 වසරේ ජනවාරි මස 08 වැනි දා ය. ඇය ක්‍රීඩාවේ දකුණත් පිතිකාරිනියකි. කඩුලු රැකීමටත් හැකි ය. ඇයට ඊට උපකාර වන්නට ඇත්තේ ඈ උපත ලැබුවේ ක්‍රීඩාවට ළැදි ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩාශීළි පවුලක වීමය. ඇගේ මව දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවකි. පියා සහ වැඩිමහල් සොහොයුරා රග්බි ක්‍රීඩාවට දක්ෂයෝ ය.
බ්‍රිට්ස් කුඩා කාලයේදී පාපන්දු සහ රග්බි ක්‍රීඩා කළේ පිරිමි ළමුන් සමඟය. පසුව ඇය හොකී සහ දැල්පන්දු ක්‍රීඩාවල නිරත වූවා ය. එසේ වූවත් වඩාත් දක්ෂ වූයේ හෙල්ලය විසි කිරීමටයි. දැන් ඇය ක්‍රිකට් ක්‍රීඩිකාවකි.
“මගේ ජීවිතේ මෙහෙම දෙයක් වෙයි කියලා මම සිතුවේ නැහැ. මම දැන් හෙල්ලය විසි කරන්නියක් නොවේ. ඒ වුණත් මම මගේ රට නියෝජනය කරනවා. මගේ පියා ගිය වසරේ දී කොවිඩ් මාරයාට බිලි වුණා. ඔහු මා ගැන ගොඩාක් ආඩම්බර වුණා.”
බ්‍රිට්ස් ඉකුත් කාලයේ දී ලැබූ අමිහිරි අත්දැකීම් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ලැබෙන්නේ නැත. ඇය වැනිව යළිත් ක්‍රීඩාවෙන් සාර්ථක වී ඉදිරි දිවිය ගත කිරීමටත් සෑම දෙනාටම අවස්ථාව ලැබෙන්නේ ද නැත.
“මම සංසුන්ව සිටින්න තමයි උත්-සාහ කරන්නේ. ඒ වුණත් සඳළුතලයට නැඟලා මට ලෝකයටම ඇහෙන්න හයියෙන් කෑගහන්න අවශ්‍යයි. ඒ මම ලෝක කුසලානයට සහභාගි වෙනවා කියන පණිවුඩය හැමෝම එක්ක බෙදා ගන්න. මට පුළුවන් නම් දකුණු අප්‍රිකානු ජර්සිය එක්කම මම නින්දට යනවා”. 31 හැවිරිදි බ්‍රිට්ස් තමන්ට ජීවිතයේ ලද දෙවැනි අවස්ථාව ගැන පවසන්නේ දැඩි සතුටකිනි.
ප්‍රශාන්ත ඇල්පිටිය