මහනුවර රගර් පුහුණු බලාගාරය ෆාසීල් මරීජා | සිළුමිණ

මහනුවර රගර් පුහුණු බලාගාරය ෆාසීල් මරීජා

මහනුවර ක්‍රීඩා සමාජයේ වර්තමාන රගර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන හිටපු ජාතික රගර් ක්‍රීඩක ෆාසිල් මරීජා එම තනතුරට පත් වූයේ 2018 වසරේ ය. එතැන් සිට අද දක්වා එහි සාර්ථක පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරමින් සිටී. ඔහු පවසන අන්දමට වර්තමාන මහනුවර ක්‍රීඩා සමාජ පිල තරුණ සහ අත්දැකීම් සහිත කණ්ඩායමකි.

දැනට එහි සිටින පළපුරුදු ක්‍රීඩකයන් අතර නයිජල් රත්වත්තේ, දමිත් දිසානායක, තරිඳු චතුරංග, ලවංග පෙරේරා සහ දනූෂ දයාන් ද මෙන්ම කණ්ඩායම් නායක රොෂාන් වීරරත්න ද වෙති. නවක ක්‍රීඩකයින් අතර දිනූෂ දංගේ, ආසිරි සෙනෙවිරත්න, පැතුම් ආසිරි සෙනෙවිරත්න සහ භවන්ත උඩංගම වැනි ක්‍රීඩකයින් කැපි පෙනෙති.

පුහුණුකරු මරීජා, මහනුවර කිංස්වුඩ් විදුහල විසින් රග්බි ක්‍රීඩාවට දායාද කළ ක්‍රීඩකයෙකි. ඔහු රග්බි ක්‍රීඩාවට අත්පොත තැබූවේ වයස අවුරුදු 10 දී ය. කිංස්වුඩ් විදුහලේ වයස 13 න් පහළ කණ්ඩායමේ සිට වයස 19 න් පහළ කණ්ඩායම දක්වා (1995 සිට 2004) ඔහුගේ තම විදුහල නියෝජනය කළේ ය. වයස 15 න් කණ්ඩායම පිළිමලුන් පිටු දැකීමේ තරගාවලියේ සහ වයස 19 න් පහළ පිළිමලුන් පිටු දැකීමේ දීප ව්‍යාප්ත රග්බි තරගාවලි මගින් කිංග්ස්වුඩ් විදුහලට ජය ලබා ගැනීමට නායකත්වය දුන්නේ ද ඔහු ය. මුල සිටම තම කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා වශයෙන් ඔහු ක්‍රීඩා කළේ ය.

ෆාසිල් මරීජා ට රගර් ක්‍රීඩා පුහුණු කළේ ඒ. සී. තෙන්නකෝන්, අසේල මුතුමාලන් සහ පී.හෙට්ටිආරච්චි යන මහත්වරුන් විසිනි. ඔහු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට එක්වනවිට අවුරුදු 17 ක් විය. එතැන් පටන් ශ්‍රී ලංකා සත් සාමාජික සහ ශ්‍රී ලංකා 15 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් 2005 සිට 2015 දක්වා ඔහු ක්‍රීඩා කළේය. ඒ අතරතුර ඔහුට එම කණ්ඩායම් දෙකේම නායකත්වය දැරීමට අවස්ථාව ද හිමිවිණි. කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෙකු වන ඔහු සහභාගි වුණු ජාත්‍යන්තර තරග අතර හොංකොං සත් සාමාජික තරගය 2005, 2006 සහ 2007 වර්ෂවල ඕස්ට්‍රේලියාවේ සහ ස්කොට්ලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රග්බි තරග, ආසියානු රග්බි තරගාවලිය සඳහා දෝහාකටාර් සහ කොරියාවේ පැවති තරග දැක්විය හැකිය.

මහනුවර රගර් පිල ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටු දකින තරග 2004 සිට 2018 දක්වා ජය ගන්නා විට දී ඔහු එම පිලේ නිත්‍ය ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කළේ ය.

මරීජා මහනුවර ක්‍රීඩා සමාජය රගර් පුහුණුකරු වීමට ප්‍රථම 1 වැනි සහ 2 වැනි කොටසේ පුහුණුකරුවකු වශයෙන් සුදුසුකම් ලබා ඇත. තවද 2018 වසරේ දී දකුණු අප්‍රිකාවේ දී සහ 2019 වර්ෂයේ අයර්ලන්තයේ රගර් පුහුණු පාඨමාලාවක් හදාරා ඔහුගේ රග්බි ක්‍රීඩාව පිළිබද දැනුම තවතවත් ඔපමට්ටම් කර ගෙන තිබේ. ඔහුගේ රගර් ක්‍රීඩාව සහ පුහුණුව සඳහා සහාය දැක්වූවන් අතර මලික් සමරවික්‍රම සුවිශේෂී බව මරීජා සිහිපත් කරන්නේ කාරුණිකවය.

 උපනන්ද ජයසුන්දර - මහනුවර ක්‍රීඩා විශේෂ වාර්තාකරු

 

Comments