මරියදාස් නිදර්සන්ගේ රට ජය ගැනීම | සිළුමිණ

මරියදාස් නිදර්සන්ගේ රට ජය ගැනීම

මේ දිනවල වැඩි වශයෙන් කතා බස් වනුයේ යුද්ධ ගැන ය. ගෝලීය දේශපාලනික බල කේන්ද්‍ර තැනීම පිණිස සිදුකෙරෙන සෘජු යුද ගැටුම් මෙන්ම සීතල දේශපාලනික යුද්ධ හේතුවෙන් වර්තමාන ලෝකය වඩා උණුසුම් ය. ඒ උණුහුම උතුරු අර්ධද්වීපයේ ග්ලැසියර් තට්ටු දියැවී, මුහුදු මට්ටම ඉහළ ගොස් ලෝකයේ පහළින්ම පිහිටි රාජ්‍යයන් යට කර දමන තරමට දරුණුය.

රටවල් දෙකක යුද්ධයක් මෙන් නොවුණ ද දශක තුනක් තිස්සේ උතුරු, නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් ඇවිළුණු කුරිරු යුද්ධයකට අප ද මුහුණදී සිටියෙමු. ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට ද අපට සිදුවිය.

එහෙත් එකී යුද්ධය එම දෙපළාතට පමණක් සීමාවූයේ නැත. එය එසේ යැයි කියන්නේ සමස්ත ශ්‍රී ලංකාවම හදිසි තත්ත්වයක පටලවා ගන්නට ජන ජීවිතය බියෙන් තැතිගන්වමින් දශක තුනක් තිස්සේ එය දිග හැරුණු බැවිණි. රටේ වාසනාවට එම යුද්ධය නතර කිරීමට 2005 වසරේ බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකිවිණි.

යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව ඇරඹුණේ උතුර, නැගෙනහිර ජනතාව බල ගැන්වෙන සංවර්ධන යුද්ධයය. එම යුද්ධය මේ වනවිටත් නැවතී නැත. එහෙත් ඒ ප්‍රශ්න රටක් වශයෙන්, ඒකීය සමාජයක් වශයෙන් රටේ සෙසු පළාත් සමඟ එක්ව ජය ගැනීමට දැන් ඔවුන් අනුහුරු වෙමින් තිබේ. එය එසේ කියන්නේ පසුගිය කාලයේ උතුරු සමාජය තුළින් මතුවූ ජයග්‍රහණ සලකා බලද්දීය.

ඕනෑම ජන සමාජයක් ලබන ජයග්‍රහණය ගැන කතාකරන්නට වඩා වටිනා කැඩපත වනුයේ ක්‍රීඩාව ය. එසේ සලකන කල්හි පසුගිය කාලයේ උතුරේ ජනතාව ක්‍රීඩාව ඔස්සේ ලබාගත් ජයග්‍රහණ ප්‍රතිශතයක් ලෙස ඉහළය. එය මෑත කාලීනව ක්‍රිකට් ක්‍රීඩාව තුළින් දෙවරක් ප්‍රකට වුණු අතර පසුගිය සති අන්තයේ තවත් වරක් එය ප්‍රකට වූයේ මරියදාස් නිදර්සන්ගේ පාපන්දු කණ්ඩායම නිදහස් කුසලාන පාපන්දු ජය ද උතුරට දිනා දෙමිනි.

ම්ලේච්ඡ යුද්ධයකින් ලබාගැනීමට නොහැකි වූ ජයග්‍රහණයක් දැන් උතුරේ තරුණයා වෙත දිනා දුන් අලුත්ම වීරයා වනුයේ නිදර්සන්ය. ඔහු හා ඔහුගේ කොලු රෑන රටක් තුළ බෙදී වෙන්වී යනවා වෙනුවට එක්ව, සුහදව සටන් වැද සමස්ත රටකම ජන හදවත් දිනා ගෙන අවසන්ය. කෝටි, ප්‍රකෝටි මුදලක්, රටක සංවර්ධනය දශක ගණනාවකින් ආපස්සට ඇද දැමූ ම්ලේච්ඡ ත්‍රස්තවාදයක් වෙනුවට ආදරණීය ගැටුමකින් රටක ජන හදවත් දිනා උතුරේ තාරුණ්‍යය බැබළවීම අගය කළ යුතු ය.

Comments