බ්ලොක් ගල් හා ගඩොල්වලට පරිසර හිතකාමී ආදේශකයක් | Page 2 | සිළුමිණ

බ්ලොක් ගල් හා ගඩොල්වලට පරිසර හිතකාමී ආදේශකයක්

රාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් පසුගියදා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය බ්ලොක් ගලට හා ගඩොලට සමාන ආදේශකයක් හඳුන්වා දුන්හ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අගුරු දහනය නිසා නිෂ්පාදනය වන අපද්‍රව්‍ය යොදා ගනිමින් එලෙස ඔවුන් විසින් නිර්මාණය කරනු ලැබු බ්ලොක් ගලට හා ගඩොලට සමාන මෙම ආදේශකය භාවිත කිරීම මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙතෙක් කලක් ඉස්මතු වී තිබූ ගැටලු රැසකට විසඳුම් ලැබෙනු ඇතැයි මේ වන විටත් මත පළ වී ඇත.

ගල් අඟුරු දහනය කිරීමෙන් පසු අළු වශයෙන් ඉතිරිවන ‘ෆ්ලයි ඈෂ්’ යොදා ගනිමින් නිපදවූ මෙම නිපැයුම මඟින් මෙතෙක් කල් එම ගල් අගුරු බලාගාරය ආශ්‍රිතව උද්ගතව තිබූ පරිසර ගැටලුවට ද තිරසර විසඳුමක් ලැබී ඇති බව පරිසර විද්‍යාඥයන්ගේ ද අදහසයි. ගල් අඟුරු තාප විදුලි බලාගාරවල තාපය නිපදවා ගැනීම සඳහා සිදු කරනු ලබන ක්‍රියාවලියේදී අති විශාල ගල් අඟුරු ප්‍රමාණයක් දහනය කරනු ලබන අතර, මෙරට ස්ථාපිත කර ඇති එකම ගල් අඟුරු තාප බලාගාරය වන නොරොච්චෝලේ ලක් විජය බලාගායේ ද දිනකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 7500ක් පමණ දහනය කෙරේ. එලෙස දහනය කෙරෙන ගල් අඟුරුවල අතුරුඵල ලෙස දිනකට ෆ්ලයි ඈෂ් මෙට්‍රික් ටොන් 1,000ක් පමණ නිපදවෙන අතර මේ ෆ්ලයි ඈෂ්වල තිබෙන ප්‍රධාන සංඝටකයක් වන්නේ ඇලුමිනියම් සහ සිලිකන්වලින් සමන්විත Pozzolan නම් සංඝටකයයි. මෙම සුවිශේෂී සංඝටකය අළු වශයෙන් පවතින තාක් කිසිදු තද ගුණාංගයක් නොපෙන්වූවද ජලය මුසු වූ සැණින් සිමෙන්තිමය ගුණාංගයක් එමඟින් ඉස්මතු වන අතර, එය තවදුරටත් හුණු සමඟ මිශ්‍ර කළ විට සිමෙන්තිවලට සමාන මිශ්‍රණයක් බවට පත් වේ. 

ඒ අනුව ගල් අඟුරු දහනයෙන් පසු අතුරු ඵලයක් ලෙස නිපදවෙන ෆ්ලයි ඈෂ් , මේ වන විට පෝර්ට්ලන්ඩ් සිමෙන්ති නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස ද, විශාල ඉදිකිරීම්වල පාවිච්චි කරන කොන්ක්‍රීට් නිෂ්පාදනයේදී කොන්ක්‍රීට් ශක්තිමත් කිරීමේ සංඝටකයක් ලෙස ද, මාර්ග ඉදිකිරීම් කටයුතුවලදී පාවිච්චි කරන කාපට් නොහොත් Asphalt Concrete නිෂ්පාදන ක්‍රියාවලියේදී asphalt මිශ්‍රණයේ තිබෙන කුඩා ගල් අතර හිඩස් පිරවුමක් ලෙස ද භාවිත කරන අතර තවදුරටත් මේ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉහත කී පර්යේෂණ කණ්ඩායම මේ වන විට අර්බුදයක් බවට පත්ව ඇති සිමෙන්ති හිඟයට ද පිළිතුරක් ලබා දෙමින් මෙම නව බ්ලොක් ගල මෙරටට හඳුන්වා දීමට කටයුතු කර ඇත.

මෙම බ්ලොක් ගල එසේත් නැතිනම් ගඩොල හැඳින්වෙන්නේ ෆ්ලයි ඈෂ් ගඩොල් (Fly ash bricks) ලෙසයි. ගල් අඟුරු තාප බලාගාර මඟින් වැඩි වශයෙන් බලශක්තිය නිපදවා ගන්නා චීනය, එක්සත් ජනපදය සහ ඉන්දියාව වැනි රටවල මේ වන විටත් මේ කියන ෆ්ලයි ඈෂ් ගඩොල් නිෂ්පාදනය කළද සැබවින්ම එය අප රටට අලුත් අත්දැකීමක් වීමට හේතුව වන්නේ ෆ්ලයි ඈෂ් නිෂ්පාදනය මෑතකාලීනව ආරම්භ වූ බැවිනි. කෙසේ වුවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍යක් ලෙස මේ කියන ෆ්ලයි ඈෂ් ප්‍රමාණය අති විශාල ප්‍රමාණයන්ගෙන් මෙරටට ආනයනය කෙරුණු අතර ඒ සඳහා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ද වැය කෙරුණි.

ෆ්ලයි ඈෂ් ගඩොල් (Fly ash bricks) මෙරටට හඳුන්වා දීමේ මෙම මාහැගි කටයුත්තේදී පේරාදෙණිය සරසවියේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රංජිත් දිසානායක, ඉංජිනේරු නලීන් පතිරණ සහ ඉංජිනේරු සලින්ද බණ්ඩාර යන වියතුන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර, ඔවුන් මෙම නව නිෂ්පාදනය තවදුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණින් Lanka A A C (Pvt) Ltd යන ආයතනය ද ස්ථාපිත කර තිබේ. මෙම ආයතනය පුත්තලම ප්‍රදේශයේ පිහිටා ඇති අතර ඔවුන්ගේ අරමුණ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ගල් අගුරු දහනය කිරීම මඟින් පරිසරයට සිදුවන හානිය වළක්වා මෙම ෆ්ලයි ඈෂ් ගඩොල් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කර මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පෙරළිකාර අත්හදාබැලීමක් සිදු කිරීමයි. මෙම නව බ්ලොක් ගල ඉදිකිරීම් කටයුතු යොදා ගැනීම මඟින් මිනිස් ශ්‍රමය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි අතර ඉදිකිරීම් සඳහා වන පිරිවැය ද විශාල ප්‍රතිශතයකින් අඩු කර ගත හැකිය. ඊට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ මෙම ගඩොල භාවිතයට ගත් විට මතුපිට හා අභ්‍යන්තර බිත්ති වල කපරාරු කිරීම සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි වීමයි. තීන්ත බිත්ති මත කෙළින්ම යෙදිය හැකිය. මෙම ගඩොලේ කුට්ටි සෑම පැත්තකින්ම ඒකාකාරව හා හොඳින් නිමවා ඇති බැවින් වානේ සහ කොන්ක්‍රීට් ඉතිරි කිරීමට ද හේතු වේ.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නැවුම් හා සුබදායි අලුත් පිටුවක් පෙරළමින් මේ වන විටත් එම ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වය හිමි කර ගනිමින් සිටින මෙම ෆ්ලයි ඈෂ් ගඩොල් නිපැයුම පිළිබඳ එය මෙරටට හඳුන්වා දීමට පුරෝගාමී වැඩකොටසක් ඉටු කරන ලද මහාචාර්ය රංජිත් දිසානායක ගෙන් වැඩිදුරටත් කරුණු විමසුවෙමු. එහිදී සිළුමිණ සමඟ අදහස් දැක්වීමට එක් වූ ඔහු සඳහන් කළේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිකුත්වන ෆ්ලයි ඈෂ් අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීමට සිදු වීම නිසා දීර්ඝ කාලයක් තිස්සේ සැලකිය යුතු පරිසර දූෂණයක් සිදු වෙමින් තිබුණු බවයි. මෙම පරිසර දූෂණය පිළිබඳව හොදින් අධ්‍යයනය කර ඊට විසඳුමක් වශයෙන් තමන් ඇතුළු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම මුල්වී මෙම සැහැල්ලු ගඩොල නිපදවනු ලැබූ බව කී හෙතෙම වසරක පමණ කාලයක් පර්යේෂණ පවත්වා අපේ රටට ගැළපෙන ආකාරයෙන් මෙම ගඩොල මෙරටට හඳුන්වා දුන් බව ද ප්‍රකාශ කර සිටියේය.

"ගල් අගුරු බලාගාරයෙන් දහනය වී බැහැර කෙරෙන අපද්‍රව්‍ය ඉතාම ප්‍රයෝජනවත් කටයුත්තක් වෙනුවෙන් යොදා ගන්නට හැකි වීම ඇත්තෙන්ම ජයග්‍රහණයක්. මෙම නිපැයුම නිසා වැලි හා සිමෙන්ති ප්‍රශ්නයටත් විසඳුමක් ලැබුණා. ඒ වගේම බිල්ඩිමක් හදන්න අවශ්‍ය කම්බි සියයට පහළොවක් පමණ අඩු කර ගන්නත් මේකෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඉතාම පරිසර හිතකාමී මෙම ගඩොල ඉදිකිරීම් සඳහා යොදා ගත් විට එළියෙ රස්නෙ ඇතුළට එන්නේ නැහැ. ඇතුළත බිත්තිවල සිසිලස දිගටම පවතිනවා. මේ වන විට රු.200/- ක මිලකට මෙම එක් ගඩොලක් අලෙවි වෙනවා."

නිවෙස් හා ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා ෆ්ලයි ඈෂ් ගඩොල් භාවිතා කිරීම මඟින් අත් කර ගත හැකි තවත් වාසි රැසක් ද මහාචාර්යවරයා විසින් පෙන්වා දුන්නේය. ගඩොලයේ නිමාව ඉස්තරම් වන අතර සිමෙන්ති පැහැයේ ආකර්ෂණීය පෙනුම, එකම හැඩය සහ සුමට නිමාව නිසා ඉතා ආකර්ෂණීය බවකින් යුතුය. එකම හැඩය සහ සුමට නිමාව නිසා බිත්ති බැඳීමේදී අවශ්‍ය වන බදාම ප්‍රමාණය සියයට 50කින් පමණ අඩුකර ගත හැකිය. එමෙන්ම ඒකාකාරී නිමාව නිසා බදාම ඝනකම අඩුවීමෙන් බදාම හරහා සිදුවන පිපිරීම් සිදු නොවේ.

සුමට නිමාව නිසා බිත්ති කපරාරු කිරීමක් අවශ්‍ය නොවන අතර බිත්ති කපරාරුවට වැය වන භාණ්ඩ සහ වැඩ කුලී ලෙස විශාල මුදලක් ඉතිරි කර ගත හැකිවේ. එමෙන්ම සම්මත ලෙස සැකසූ ගඩොලක ශක්තිමත් භාවය ඉතා ඉහළ අගයක් (9-10N/mm2)ගනී. සාමාන්‍ය ගඩොලක මේ අගය 1.2-2N/mm2 අතර වේ. මේ අධි ශක්තිය නිසාම ගඩොල් පැටවීමේදී, ප්‍රවාහනයේදී සහ බෑමේදී ගඩොල් කැඩීයාමක් සිදු නොවේ. ෆ්ලයි ඈෂ් ගඩොල් භාවිත කිරීමෙන් ඉදිකිරීමේ ව්‍යුහ නිර්මාණයට අතිරේක බරක් එකතු නොවන අතර, භූකම්පන තත්වයන් වැනි ස්වභාවික විපත්වලට විශිෂ්ට ප්‍රතිරෝධයක් ලබා දේ. කල් ගතවෙද්දි ශක්තිමත් භාවය තව තවත් වැඩි වීම ද විශේෂත්වයකි.

ෆ්ලයි ඈෂ් ගඩොලේ උෂ්ණත්වය දැරීම 0.90-1.05W/m2 වන නිසා රත්වීම ඉතා අඩු අගයක් ගන්නා බැවින් ගොඩනැඟිලි අභ්‍යන්තරය රත්වීම අඩුය. එමෙන්ම උෂ්ණත්වය සහ ජලය උරාගැනීමත් අඩු නිසා කපරාරු නොකළ බිත්ති තෙත්වීම් ඉතා අවම වේ. ෆ්ලයි ඈෂ් ගඩොල්වලින් බඳින ලද බිත්ති හරහා ශබ්දය ගමන් කිරීම ඉතාම අවම බැවින් සවුන්ඩ් බැරියර් එකක් ලෙස ක්‍රියා කරන අතර ගොඩනැගිලි ඇතුළතට පිටත ශබ්දය ගලා ඒම අඩුවේ.

සාමාන්‍ය ගඩොල් හා සැසැදීමේදී අධික තාප ප්‍රතිරෝධයකින් යුක්ත නිසා ගිනි පැතිරීම්වලට ඔරොත්තු දේ. ජලය උරාගැනීම අවම නිසා සාමාන්‍ය මැටි ගඩොල් මෙන් ඉදිකිරීමට පෙර ජලයේ පෙඟවීමක් අවශ්‍ය නොවේ. සුළු වතුර ප්‍රමාණයක් ස්ප්‍රේ කර පාවිච්චියට ගත හැකිවේ. ඉදිකිරීම් තාක්ෂණය සාමාන්‍ය මැටි ගඩොලක මෙන් වන නිසා විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවේ. සාමාන්‍ය ගඩොලක බරට සාපේක්ෂව මෙම ගඩොලක බර අඩු නිසා තට්ටු ගොඩනැඟිලි ඉදිකිරීමට ඉතා යෝග්‍ය වේ. බර දැරීමේ අභ්‍යන්තර බිත්ති (Load bearing walls) ලෙස පාවිච්චි කිරීමට ඉතා සුදුසුය. සාමාන්‍ය ගඩොලක් හා සැසැදීමේදී ෆ්ලයි ඈෂ් ගඩොල් වර්ග අඩියක් සඳහා වැයවන ගඩොල් වියදම අඩුවීම මූල්‍යමය වාසියකි.

Comments