වසර විසි හතරකට පසු ඔස්ට්‍රේලියාව පාකිස්තානයේ | සිළුමිණ

වසර විසි හතරකට පසු ඔස්ට්‍රේලියාව පාකිස්තානයේ

වසර විසි හතරකට පසු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සති හයක සංචාරයක් වෙනුවෙන් පාකිස්තානය වෙත පැමිණ ඇත. මේ වනවිට ඔවුහු අධි ආරක්ෂක බුබුළකට ඇතුළත් කර ඇතැයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේ ය.

2009 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවර දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එරට ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත කඩා වැටීමකට ලක්විණි. මේ අතර මීට වසර පහකට පමණ පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් එරට සංචාරය කිරීමට නියමිතව තිබුණ ද ලාහෝර් පල්ලියක් තුළ පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් එම සංචාරය වහා අවලංගු කරනු ලැබිණි. ඒ අනුව ඔස්ට්‍රේලියාව විසින් පාකිස්තානයේ අවසන් වරට ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණේ 1998 වසරේ දී ය. මේ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි පිතිකරුවකු වන ස්ටීවන් ස්මිත් පාකිස්තානයට ගොඩබසින ඡායාරූපයක් සිය ට්විටර් අඩවියේ පළකරමින් කියා තිබුණේ තම කණ්ඩාම දැන් සිටින්නේ පාකිස්තානයේ බවය.

අප්‍රේල් 6 වැනි දා දක්වා දියත්වන මෙම තරගාවලියේ දී ටෙස්ට් තරග 3 ක් එක්දින තරග තරග 3 ක් හා විස්සයි 20 තරගයක් වෙනුවෙන් දෙරටේ කණ්ඩායම් එකිනෙකා මුණගැසෙනු ඇත.

පසුගිය වසරේ පාකිස්තානය තුළ සංවිධානය කිරීමට නියමිතව තිබූ නවසීලන්තය හා වන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වීමට පැය කීපයකට පෙර ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් නවසීලන්ත පිල පාකිස්තානයෙන් පිටව ගියේ ය. ඒ ඔවුනට ලැබුණු රහස් තොරතුරකට අනුවය. ඒ සමඟ ඊට පසු පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් (පිරිමි හා කාන්තා) තරග සංචාරය කල්දමනු ලැබිණි.

මෙම සිදුවීම් සමගින් යළි ඇදවැටුණු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව යථා තත්ත්වයට පත්කරගැනීම වෙනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සමුළුව ට ද කරුණු පැහැදිලි කරමින් පාකිස්තානය කෙසේ හෝ විදේශීය කණ්ඩායම් සිය රට ගෙන්වා ගැනීමේ උත්සාහයක නිරතවී සිටියේ ය. මෙහිදී එරට බලධාරීන් පෙන්වා දුන්නේ පොලිස් හා හමුදා සෙබළුන් 4000 ක ගේ ආරක්ෂාව යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන හෙයින් කිසිදු ආකාරයකින් ආරක්ෂාව තර්ජනයකට ලක් නොවන බවයි. මෙම සෙබළුන් ක්‍රීඩක හෝටලය ආරක්ෂා කරන අතර ඉස්ලාමාබාද් නුවර මෙන්ම රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය අවට ප්‍ර දේශයේද ආරක්ෂාව තරකරනු ලබන බව ද ඔවුහු පවසා තිබේ.

‘මෙතරම් ලොකු ආරක්ෂාවක් ලබාදෙන්නේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීන්ට, පාකිස්තාන අගමැතිට හා ජනපතිට පමණයි.‘ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශයක් පවසන්නේ ආරක්ෂාවේ ප්‍රබල භාවය ගැන ය.

මේ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගමන් ගන්නා අවස්ථාව වනවිට පාරවල් වසා දැමෙන බවත් කණ්ඩායමේ ක්‍රීඩකයන් රැගෙන යන බස් රථයට පූර්ණ ආරක්ෂාව ලබාදෙමින් හෙලිකොප්ටර් යානා ගමන් ගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත. ඊට අතිරේකව ක්‍රීඩාංගණය වටා උස් ගොඩනැගිලි මත ස්නයිපර් වෙඩික්කරුවන් යොදවා ඇත්තේ විදේශීය ක්‍රීඩක ආරක්ෂාව තවදුරටත් තහවුරු කරන්නටය. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය පසුගිය දා (04) ආරම්භ විණි.

 

Comments