![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/03/1-8.jpg?itok=ys8DSO0_)
- රොඩ්නි මාෂ් හෘද අකරණී තත්ත්වයකින් ජීවිතයත් මරණයත් අතර සටනක
- ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් රොඩ්නිට සුව පතමින් පණිවිඩ ගලයි
‘රොඩ්නි මාෂ් කියන්නේ ලෝකය බිහිකළ හොඳම කඩුලු රකින්නා බවටයි බහුතර පිළිගැනීම. එහෙත් තවත් විශිෂ්ට කඩුලු රකින්නන් ලොව නොසිටියා නොවෙයි. විශේෂයෙන්ම වේග, මඳ වේග මෙන්ම, දඟ පන්දුයවන්නන් ඉදිරියේ අතිසාර්ථකව කඩුලු රැකපු, දවාගැනීම් රැසක් සිදුකළ කඩුලු රකින්නන් කීපදෙනෙක්ම ලෝකයේ ඉන්නවා. කෙසේ නමුත් ලොව හොඳම කඩුලු රකින්නා ලෙස විරුදාවලිය ලබා සිටි රොඩ්නි මාෂ් දැන් ජීවිතය රැකගන්න රෝහලක් දැඩි සත්කාර ඒකකයක් ඇතුළේ සටන් වදිමින් සිටින බව ඔබ දන්නවා ද? ඔව්. එය තමයි ඇත්ත. ඔහුගේ පුත් පෝල් මාෂ් කියන්නේ තම පියාගේ තත්ත්වය බරපතල බවත් ඔහු කොමා තත්ත්වයෙන් ජීවිතය හා සටන් වදින බවයි. මේ ඔහු ට සිදුවූ දේ සම්බන්ධයෙන් තැබෙන සටහනක්.‘
ඔස්ට්‍රේලියාව බිහි කළ ලොව විශිෂ්ටත ම කඩුලු රකින්නකු ලෙසින් අවිවාදයෙන් සැලකුණු රොඩ්නි මාෂ් හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. එරටින් ලැබෙන වාර්තාවන්ට අනුව කියැවුණේ ඔහුගේ තත්ත්වය බරපතළ බවයි. කෙසේ නමුත් මෙම සටහන ලියැවෙන විට තත්ත්වය බරපතළ බව කියැවුණ ද ඇතැම් විට මෙය පළ වන විට ඔහු ගේ තත්ත්වය වඩාත් සුව අතට පත්වී තිබෙන්නට පිළිවන.
ඔහුට මෙම හෘද අකරණී තත්ත්වය ඇති වූ තිබුණේ ආධාර එකතුකිරීම වෙනුවෙන් පැවැති තරගයකට සහභාගි වෙමින් සිටිය දී ය. හැත්තෑ හතර වැනි
වියැති හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා සහභාගි වෙමින් සිටියේ ක්වීන්ස්-ලන්ඩ් බුල්ස් ප්‍රවීණයන් විසින් සංවිධානය කර තිබූ පුන්‍යාධාර එකතුකිරීමේ තරගයක් වෙනුවෙනුයි. ඔහුට හෘදයාබාධ ලක්ෂණ මතු වූ සැණින් සංවිධාය-කයන් විසින් ඔහුව රෝහල්ගත කර තිබිණි.
‘ඔහු රෝගාතුර වුණු සැණින් ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා ඔහු වටා සිටියා. රෝහලට යන විට ඔවුන් සියලු දෙනා පැමිණ තිබුණා. ඒ වගේම තමයි මාෂ්ගේ ක්‍රිකට් සගයන් රැසකුත් ඔහු හා සිටියා.’ මෙම පුණ්‍යාධාර ක්‍රීඩා වැඩසටහන සංවිධානය කළ සංවිධායකයන් පවසා තිබිණි.
එම සංවිධායක මණ්ඩලයේ ජෝන් ග්ලැන්විල් හා ඩේවිඩ් හිලර් විසින් රොඩ්නි මාෂ් හෘද අකරණි තත්ත්වයෙන් පීඩා විඳිද් දී රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණ හ. ‘ඉක්මනින් ඔහු රෝහල්ගත කළ නිසා තමයි අපට යමක් කරන්න හැකි වුණේ.’ එසේ කීවේ රොඩ්නි මාෂ්ට ප්‍රතිකාර කරන වෛද්‍ය මණ්ඩලය යි.
‘බැරි වෙලාවත් ගිලන් රථයක් එන තුරු ඔවුන් බලා සිටියා නම් අද මාෂ් ගැන බලාපොරොත්තුවක් තබාගන්න බෑ. මොකද ඔහුට වැලඳී තිබුණේ දරුණු හෘද අකරණික තත්ත්වයක්.’ වෛද්‍යවරු තවදුරටත් පවසා තිබිණි.
මේ අතර පසුගිය දින කීපය පුරා ලෝක ක්‍රිකට් ප්‍රේමීන් සිය දහස් ගණනින් මාෂ්ට සුවය ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරමින් පණිවිඩ යොමුකර තිබුණේ ය. මෙම පණිවිඩ බොහොමයක් සමාජ මාධ්‍ය තුළ පළ කෙරිණි. සුප්‍රකට එංගලන්ත බාමි ආමි ප්‍රේක්ෂක කණ්ඩායම ට්විටර් පණිවිඩයක් තබමින් කියා තිබුණේ, ‘අපේ සියලු දෙනාම සිතිවිල්ලෙන් පවා ඔස්ට්‍රේලියානු විශිෂ්ටයා වන රොඩ් මාෂ් එක්ක ඉන්නවා. පසුගිය දිනක රෝහල් ගත කළ ඔහු ගේ හෘදයාබාධ තත්ත්වය ඉක්මනින් සුව වෙන්න කියලා අපි පතනවා. සටන් කරන්න රොඩ්. සටන් කරන්න....අතහරින්න එපා. අපි ඔබ සමඟයි.’ කියා ය.
තාත්තා ඉන්නේ කොමා තත්ත්වයෙන්
හෘද අකරණිය හේතුවෙන් ඇති වූ සිහිමුර්ජා තත්ත්ත්යෙන් (කොමා) තම පියා පසුවන බවත් ඔහු බරපතළ ජීවිත අනතුරකට මුහුණපා ඇති බවත් රොඩ්නි මාෂ්ගේ පුත් පෝල් මාෂ් පවසා තිබේ. ඔහු තමන්ගේ ජීවිතය රැක ගැනීම පිණිස දැඩි සටනක නිරතවෙමින් සිටින බව ද පෝල් පවසා තිබිණි. ‘තාත්තාගේ හදවත නතර වෙලා තිබුණා. හුඟාක් දෙනෙක් තාත්තාගේ තත්ත්වය ගැන විමසනවා. ඒ පණිවිඩවලින් අපිට අඩුවක් නෑ. තාත්තාට ඉක්මනින් සුවය පතලා, ඔහුත් එක්ක ඉන්නවා කියලා පණිවිඩ පිට පිට එනවා. ඒවා එන්නේ ඔස්ට්‍රේලියාවෙන් විතරක් නොවෙයි. ලෝකයේ හැම තැනින්ම එනවා. මේ දුෂ්කර අවස්ථාවක් වුණත් අපිට එන දුරකථන ඇමතුම්වලට අපි සාවදානව ඇහුම්කන් දෙනවා. දීලා ඔවුන්ට ස්තුති කරන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා.’ පෝල් මාෂ් වැඩිදුරටත් පවසා තිබිණි.
රොඩ්නි මාෂ් යනු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට සාධනීය බලපෑමක් කළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන අතර, වසර පනහක් පමණ කාලයක් තිස්සේ ඔහු විසින් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තම සේවය ලබා දී ඇත්තෙකි.
ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 96 කට ක්‍රීඩා කර ඇති අතර කඩුලු රකින්නකු වශයෙන් දවාලීම් 355 ක ට දායක වී තිබේ. ඔහු ඒ සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරනු ලැබුවේ 1970-84 කාල වකවානුවේ ය. වමත් පිතිකරුවකු වන ඔහු ටෙස්ට් පිතිකරුවකු වශයෙන් ලකුණු 3663 ක් රැස් කර ඇත.
ක්‍රීඩාවෙන් සමුගත් පසු එරට ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් 2014 සිට 2016 දක්වා කාල සීමාව තුළ ඔහු කටයුතු කර තිබිණි. එසේම 2003 හා 2005 අතර කාලය තුළ එංගලන්ත කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයකු වශයෙන් ද ඔහු පත්කරනු ලැබුණේ ය. පසුව බ්‍රිතාන්‍ය රැජින වන දෙවැනි එලිසබත් රැජින විසින් ඔහුට එම්.බී.ඊ. ගෞරව නාමය පුදළනු ලැබුවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ අනුපමේය සේවය අගයනු වස්ය.
කාන්ති ජයසිංහ