![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/03/1-9.jpg?itok=bAp01pot)
‘යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද යැයි කියමනක් තිබේ. එයින් කියන්නේ අවශ්‍ය මොහොතේ දී අවශ්‍ය දේ සිදු කළ යුතු බවය. රුසියාවේ හෝ යුක්රේණයේ කොස් හැදෙන්නේ නැතැයි සිතිය හැකි ය. එහෙත් ක්‍රීඩාව තුළින් උකහා ගත් වීරත්වය අවශ්‍ය මොහොතේ දී තම මව්බිමේ ස්වෛරීත්වය වෙනුවෙන් මුදා නොහැර සඟවා තබා ගැනීමෙන් ඇති ඵලය කුමක්දැයි පවසන්නට යුක්රේනයෙන් බිහි වූ බොහෝ ක්‍රීඩකයෝ පවසමින් සිටිති. විදෙස් මාධ්‍ය ඔස්සේ වාර්තා වන විවිධ පුවත්පත් සිරස්තල නිරායුධ දෑත් ආයුධවලින් සන්නද්ධ කළ ක්‍රීඩා වීරයන් සම්බන්ධයෙන් තැබෙන සටහනකි මේ.’
යුක්රේනය සහ රුසියාව දරුණු යුද්ධයක පැටලී සිටිති. රුසියාව තරම් දැවැන්ත හමුදා බල ඇණියක් නොමැති වුව ද යුක්රේනයේ සිවිල් වැසියන් පවා ආයුධ අතට ගෙන සිය මව්බිම වෙනුවෙන් එම යුද්ධයට දායක වී ඇතැයි පැවසෙයි. එම සිවිල් වැසියන් අතර ක්‍රීඩාවෙන් සිය මව්බිම නියෝජනය කළ යුක්රේන ජාතික ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද වෙති.
යුක්රේනයෙන් බිහි වූ විශිෂ්ට ටෙනිස් ක්‍රීඩකයෙක් වන සර් ජි ස්ටකොව්ස්කි සිය මාතෘභූමිය වෙනුවෙන් යුද වැදීමට සූදානමින් පසුවන බව පසුගිය සෙනසුරාදා සමාජ මාධ්‍ය ඔස්සේ දන්වා තිබුණි. 2003 සිට 2022 වසර දක්වා වසර 19 ක කාලයක් යුක්රේනය වෙනුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර තරග බිමේ ටෙනිස් ක්‍රීඩාවේ නිරත වූ සර් ජි කේවල ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව 2010 වසරේ දී ලොව 31 වැනි ස්ථානයටත් යුගල ශ්‍රේණිගත කිරීම් අනුව ලොව 33 වැනි ස්ථානයටත් පත් වූ විශිෂ්ට ටෙනිස් ක්‍රීඩකයෙකි. 2016 වසරේ රියෝ ඔලිම්පික් උලෙළ ද නියෝජනය කළ සර් ජි 2022 ජනවාරි මාසයේ වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවට සමු දුන්නේ ය. වසර 19ක් යුක්රේනය වෙනුවෙන් ක්‍රීඩාවෙන් සටන් වැදි සර් ජිගේ මේ සූදානම රුසියාව හමුවේ සිය මව්බිම වෙනුවෙන් ආයුධ ගෙන සටන් වැදීමටයි.
ව්ලැඩිමීර් ක්ලිට්ෂ්කෝ සහ විටාලි ක්ලිට්ෂ්කෝ ද එරටින් බිහි වූ අති දක්ෂ බොක්සිං සුරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා එක මව් කුසයක උපන් සහෝදරයෝ වෙති. ඔවුන් දෙපළ ද සිය මව්බිම වෙනුවෙන් රුහිරු වගුරන යුද්ධයකට සම්මාදම් වෙමින් රුසියාවට එරෙහිව අවි අමෝරාගෙන
ඇත. විලැඩිමීර් ක්ලිට්ෂ්කෝ හෙවිවේට් බොක්සිං ලෝක ශුරයෙක් වන අතර විටාලි ක්ලිට්ෂ්කෝ ද හෙවිවේට් කිරුළු පළන් ක්‍රීඩකයෙකි. ආක්‍රමණයට ලක් ව ඇති යුක්රේනයේ කියෙව් නුවර නගරාධි-පතිවරයා ලෙස කටයුතු කරන්නේ ද විටාලි ක්ලි-ටෂ්කෝ ය.
“මට වෙනත් තේරීමක් නෑ. මම එය කළ යුතුයි. මම සටන් කරන්නම්.” හෙවිවේට් ශූර විලැඩ්මිර් ක්ලිට්ෂ්කෝ මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබුණේ ය.
“මම යුක්රේනය විශ්වාස කරනවා. මම මගේ රට විශ්වාස කරනවා වගේම මගේ ජනතාව විශ්වාස කරනවා.” යනුවෙන් ව්ලැඩිමිර් ක්ලිට්ෂ්කෝ අදහස් දක්වා ඇත.
විටාලි ක්ලිට්ෂ්කෝ බොක්සිං ක්‍රීඩකයෙක් ලෙස ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියන්හි රන් සහ රිදී පදක්කම් දිනූවෙකි. ව්ලැඩ්මිර් ක්ලිට්ෂ්කෝ 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙළේ දී රන් පදක්කමක් ඇතුළුව ජාත්‍යන්තර මට්ටමේ තරගවල දී රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 2 ක් දිනූ විශිෂ්ටයෙක් ද වෙයි.
ක්‍රීඩා ලෝකයේ දස දිගින්, යුක්රේන - රුසියා යුද්ධයට එරෙහිව විරෝධයන් පළ වී ඇත.
රුසියානු ජාතික ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වන ෆෙඩෝර් ස්මොලව් රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ යුක්රේනයට පක්ෂව අදහස් පළ කිරීම ද ජාත්‍යන්තර මාධ්‍යන්හි වැඩි අවධානයට ලක් ව තිබුණි. ඔහු සිය ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමෙහි යුක්රේන ධජය සමඟ “යුද්ධය එපා” යනුවෙන් සටහනක් තබන්නට කටයුතු කර තිබුණේ ය.
යුක්රේන ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් වන රුස්ලාන් මැලිනොව්ස්කි යූඊඑෆ්ඒ යුරෝපා ලීග් තරගයක් අතරතුර “යුක්රේනයේ යුද්ධයක් නැත” යනුවෙන් සටහන් කළ ටී ෂර්ටයක් ඔසවන්නට කටයුතු කළේ යුක්රේන - රුසියා යුද්ධයට විරෝධය පාමිනි.
යුරෝපා ලීග් තරගාවලියෙහිම බාර්සිලෝනා සහ නැපෝලි කණ්ඩායම් අතර තරගය ආරම්භ වීම පෙර කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයෝ “යුද්ධය නවත්වන්න” යනුවෙන් බැනරයක් ප්රදර්ෙශනය කරමින් යුද්ධයට විරෝධය දැක්වූහ.
මේ වසරේ මැයි 28 වැනි දා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ශූරයන්ගේ ලීග් අවසන් මහා තරගය ප්‍රංශයේ පැරිස් නුවරට ගෙන යන බව යුරෝපීය පාපන්දු සංගමය දන්වා තිබුණි. පසුගිය 25 වැනිදා යුරෝපීය පාපන්දු සංගමය විසින් මෙම තීරණය ගෙන තිබුණේ යුද්ධයට විරෝධය පාමිනි.
ලොව විශිෂ්ට ගණයේ ෆෝමියුලා ධාවකයෙක් වන සෙබස්තියන් වෙටෙල් රුසියානු ග්‍රෝන් ෆ්‍රී තරග සඳහා ක්‍රීඩා නොකරන බව නිවේදනය කර තිබුණේ මේ අතරේය.
එපමණක් නොව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය රුසියාව සමඟ පවත්වන ක්‍රීඩා ගනුදෙනු සඳහා සම්බාධඛ පනවා තිබේ. ඊට අමතරව රුසියාව ඉදිරියේදී තරග වදින්නට නියමිතව ඇති ටෙනිස්, අයිස් හොකී, ජූඩෝ, රග්බි, බැඩ්මින්ටන්, ටයිකොන්ඩෝ, පිහිනුම් ඇතුළු තරගාවලි රාශියක රුසියානු සහභාගීත්වය අවලංගු කර තිබේ. එසේම පසුගියදා තුර්කියේ පැවති පාපන්දු තරගයකට සහභාගී වූ ක්‍රීඩකයින් යුද්ධය ප්‍රතික්ෂේප කරන පාඨ සහිත ටී ෂර්ට්වලින් සැරසුණහ. නමුත් තුර්කි පාපන්දු ක්‍රීඩකයෙක් වන අයිකුට් ඩෙමීර් එම ටී ෂර්ටය ප්‍රතික්ෂේප කරමින් සාමාන්‍ය ජර්සියකින් සැරසී සිටියේය. එය මේ වන විටත් බොහෝ දෙනාගේ විරෝධයට හේතු වී ඇත. මෙපමණක් නොව පසුගිය සතිය අවසන් වන විට ලොව පුරා පැවති ක්‍රීඩා තරග රැසකදීම යුද්ධය ප්‍රතික්ෂේප කරමින් සිදු කළ නොයෙක් ආකාරයේ විරෝධතාවන් දැක ගත හැකි විය.
පසිඳු මිහිරාන් රැටියල