![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/03/4-5.jpg?itok=62xu12Jz)
එක්සත් ජාතීන්ගේ නිර්වචනයන්ට අනුව නම් තාරුණ්‍යය අවුරුදු 15 න් ඇරැඹී 24 න් පරිපාකයට පත්වෙයි. එහෙත් සාමාන්‍ය යෙන් අප පිළිගන්නේ අවුරුදු තිස් පහ දක්වා තරුණ වයස් කාණ්ඩයට මිනිසා කාණ්ඩගත කළ හැකිය කියා ය. එනයින් බලන කල පහත දැක්වෙන වාර්තාවට වයස අවුරුදු තිස් පහකි. එය එකල සැලකුණේ අතිශය අපූරු ඉනිමක් ලෙසය. එය අදද එසේ නොමැතියැයි කියන්නට නොහැකිය. දින පහක් පා අවරණ පැළඳ සිටීම අතින් බලන කලද එය මහා වීර වික්‍රමයක් වැනිය. අද තරුණ විය ඉක්මවා මැදිවියට එළඹෙන මෙම වාර්තාව ගැන තැබෙන සංක්ෂිප්ත සටහනකි මේ.‘
බ්‍රේන්ඩන් කුරුප්පු නම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කථාවේ සදා අමරණීය ලෙස සටහන්ව පවතින්නකි. ඒ අමරණීය භාවය මීට අවුරුදු 35 ක ට කලින් ඔහු පිහිට වූ ක්‍රිකට් වාර්තාවක් නිසා තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ සිදුවීම වාර්තා වූයේ 1987 දී මෙරට සංචාරය කළ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ඔහු දැක්වූ දක්ෂතාවයක් නිසා ය. එදා ජෙෆ් ක්‍රෝගේ නායක්ත්වයෙන් ටෙස්ට් තරග 3 ක සංචාරයක් සදහා මෙලෙස නවසීලන්ත පිල මෙරටට පැමිණ තිබිණි. ශ්‍රී ලංකාව ත් නවසීලන්තය ත් අතර පළමුවැනි ටෙස්ට් තරගය පැවැත්වුණේ කොළඹ ක්‍රිකට් සමාජීය (සිසිසි) පිටියේ දී ය. එය ශ්‍රී ලංකාව තරග වැදුණ 25 වැනි ටෙස්ට් තරගය විය.
දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 397 ක් රැස් කළේ ය. ඉනිම ප්‍රාණවත් කළේ තමාගේ පළමු ටෙස්ට් තරගය ට සහභාගී වූ බ්‍රෙන්ඩන් කුරුප්පු ය. අමරණීය වාර්තා කීපයක් පිහිටුවමින් බ්‍රෙන්ඩන් ඉනිම අවසානය තෙක් කඩුල්ලේ රැදී සිට නොදැවී ලකුණු 201 ක් රැස් කළේ ය. එය පන්දු 548 කි න් රැස් වූව කි. ගත කළ කාලය මිනිත්තු 777 කි. හතරේ පහරවල් 24 ක් මේ අමරණීය ඉනිම තුළට ඔහු ඇතුළත් කළේ ය.
එදා එම ඉනිමේ දී ඔහු විසින් බිහිකරන ලද වාර්තා රැසකි. ඒවා මෙසේ ය.
පළමු ටෙස්ට් තරගයේ දී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ද්විත්ව ශතකය
තමාගේ ප්‍රථම ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු කඩුලු රකින්නා
ප්‍රථම ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතයක් රැස් කළ ලොව තෙවැනි පිතිකරුවා වීම. (කලින් ටිප් ෆොස්ටර් සහ ලෝරන්ස් රෝ)
ලොව රැස් කළ මන්දගාමීම ද්විත්ව ශතකය
තමාගේ පළමු ටෙස්ට් තරගයේ දී වැඩිම ලකුණු ලැබූ ආරම්භක පිතිකරුවා
තරගයේ දින පහේම පා ආවරණ පැළද සිටීම
බ්‍රෙන්ඩන් සමග ශ්‍රී ලංකා ඉනීමේ ඊළඟ වැඩිම ලකුණුලාභියා වුණේ ලකුණු 60 ක් රැස් කළ රන්ජන් මඩුගල්ලේ ය. එම තරගයේ දී රිචඩ් හැඩ්ලි ලකුණු 102 ට කඩුලු 4 ක් දවලීය.
පස්වැනි දිනයේ අතරමග තරගය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම පිළිතුරු ඉනිමට ලකුණු 406 /5. (රිචඩ් හැඩ්ලි නොදැවී 151 සහ ජෙෆ් ක්‍රෝ නොදැවී 120)
ශ්‍රී ලංකා ඉනීමේ 9 වැනි කඩුල්ල බිඳ වැටුණ විට දී බ්‍රෙන්ඩන් ලකුණු 180 සීමාව පසුකර සිටියේ ය. එදා ඔහුට මේ අමරණීය ද්විත්ව ශතක වාර්තාව කරා යාමට සහාය වුණේ ශ්‍රී ලංකා ඉනිමේ අවසාන පිතිකරුවා ලෙස පිටියට පැමිණි කෝසල කුරුප්පු ආරච්චි ය. කෝසල බ්රෙන්ඩන්ට අනගි සහයක් ලබා දෙමින් පන්දු 20 ක ට මුහුණ දුන්නේ මිනිත්තු 35 ක් කඩුල්ලේ රැදී සිටිමිනි. එදා කොළඹ සිදූ වූ බෝම්බ ප්‍රහාරයක් නිසා 5 වැනි දින පෙරවරුවේ ටෙස්ට් තරගය අතර මග නතර කර දැමුණ අතර අස්ගිරිය සහ එස්.එස්.සී. ක්‍රිඩාංගන වල පැවැත්වීමට නියමිතව තිබූ අනිත් ටෙස්ට් තරග දෙකක් අවලංගු කෙරිණි. එහෙයින් බ්‍රෙන්ඩන් කුරුප්පුගේ පිත්තෙන් දැකීමට තිබූ බොහෝ වාර්තා ඇතැම්විට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අහිමිවන්නට ඇතැයි කිව නොහැකි ද?
ක්‍රිස්ටෝපර් රණසිංහ