බුද්ධිමත්ව යටිතල පහසුකම් ගොඩනංවමු | සිළුමිණ

බුද්ධිමත්ව යටිතල පහසුකම් ගොඩනංවමු

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ස්වකීය පාපන්දු අරමුදල් විමධ්‍යගත කිරීමට කටයුතු කරන බව නොකියා පැවසූයේ පසුගිය දා යාපනය, අරියාලේ හි පැවැති මධ්‍යම කමිටු රැස්වීමේ දී ය. ලීග පනස් තුනක සාමාජිකයන් සහභාගි වූ මෙම රැස්වීම අමතමින් වත්මන් සභාපති ජස්වර් උමාර් කීවේ තම ආයතනය සතු මුදල් භාරයෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක් බැගින් සෑම පාපන්දු ලීගයකට ම ලබාදෙන්නට තීරණය කළ බවයි. ඒ එක් එක් පාපන්දු ලීගය මගින් තරගාවලි සංවිධානය කිරීම වෙනුවෙනි.

ඉන් අනතුරුව ජස්වර් උමාර් සභාපතිවරයා ගේ යෝජනාව වූයේ නිලවරණයකින් තොරව තමන්ගේ ධූර කාලය වසර දෙකක් බවට පත්කර ගැනීම අවශ්‍ය බව ය. එය අතීතයේ මෙරට පාපන්දුවේ සභාපති ධුරය හෙබ වූ සභාපතිවරුන ට හිමි වූ වරප්‍රසාදයක් බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

වාර්ෂිකව ලබාදෙන මුදල් ප්‍රදාන යෝජනාවෙන් සන්තුෂ්ටියට පත්ව සිටි ලීග සාමාජිකයෝ වත්මන් ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයාට හා ඔහුගේ විධායක කමිටුවේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමට අනුමැතිය හිමිවිය යුතු බව ඒකමතිකව සම්මත කළහ. මෙලෙස මධ්‍යම කමිටු සභිකයන්ගේ අභිමතය ලබාගත් ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා පසුදා ම තමන් හා තම විධායක කමිටුවට නිලවරණයෙන් තොරව තවත් වසරක් පාලනය කිරීමට අවසර ලබාදෙන බව දැක්වෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපියක් යොමු කළේ ඉන් අනතුරුව ය.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා විසින් දේශීය පාපන්දු ක්‍රීඩාව නඟාලීම සඳහා ඊට හිමි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම අරභයා තවත් වැදගත් යෝජනා කීපයක් ඉදිරිපත් කරන ලදි. එහි ප්‍රමුඛ කාරණයක් වූයේ රට තුළ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් වන යටිතල පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවයි. ඒ වෙනුවෙන් රටපුරා නව ක්‍රීඩාංගණ ඉදිකිරීමට අරමුදල් ප්‍රදානය කිරීමට තම ආයතනය අපේක්ෂා කරන බව ද ඔහු පවසා තිබුණේ ය.

ඔහුගේ එම තීරණයට වඩා හොඳ ශක්තියක් ලැබී තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ පාපන්දු පිටිය වැඩි දියුණු කරමින් නඩත්තු කිරීමේ වගකීම ශ්‍රී ලංකා පාපන්දුවට ලබාදීමට එකඟවී ඇති බැවිණි. එහෙත් ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයාගේ මතය වී ඇත්තේ කොළඹින් වෙන් කර පවරා ගත් ඉඩමක නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ඊට වඩා ප්‍රතිඵලදායක වන බව යි. මේ අතර දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණ භූමිය ආශ්‍රිතව පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීම අරභයා භූමි භාගයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා ද එකඟත්වය පළ කර තිබේ.

මෙතැන දී අප දකින්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය පාපන්දු ආයතනයට පවරා දීම සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය වඩා ප්‍රශස්ත එකක් බව ය. පාපන්දු ක්‍රීඩාව වඩා ප්‍රචලිත නාගරික පරිසරයක පිහිටා ඇති ක්‍රීඩාංගණයක් වෙත පාපන්දු ප්‍රේක්ෂකයන් වැඩි වශයෙන් ගෙන්වා ගත හැකි හෙයින් කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ අයිතිය ශ්‍රී ලංකා පාපන්දුවට ලබා දීමත් වැඩි ප්‍රතිඵල අත්කර ගත හැකිය.

දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ ද ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ගැටලුවක් නොවන බව සැබෑවකි. මන්ද නාගරික සැලසුම්වලට අනුව කොළඹ නගරයේ දින දින ජනාකීර්ණ වන බිම් කඩක පිහිටා ඇති සුගතදාස ක්‍රීඩාංගණයට වඩා ක්‍රීඩකයන්ට පිරිසිදු වාතය ආශ්වාස ප්‍රශ්වාස කළ හැකි පරිසරයක ක්‍රීඩාංගණයක් ඉදිකිරීම බුද්ධිමත් ක්‍රියාවලියක් බව පිළිගත යුතු බැවිණි. එහෙත් එසේ කියා සුගතදාස එළිමහන් පිටිය හැරදැමීම වඩා අවාසිදායක තීන්දුවකි.

මේ සියලු කාරණාවන් සඳහා මුදල් ලබාගන්නේ කෙසේ ද යන්න ප්‍රමුඛ ප්‍රශ්නය ය. දැනට ශ්‍රී ලංකා පාපන්දුව පවසන ආකාරයට අන්තරජාතික පාපන්දු සම්මේලනය මඟින් හිමිවන ආධාර, ඔවුනට ඉදිරිපත් කරන නව ව්‍යාපෘති යෝජනා ඔස්සේ ලබාගැනීම ගැන ශ්‍රී ලංකා පාපන්දුව විශ්වාසය තබා තිබේ. එකී විශ්වාසයන් ‍ෙකතෙක් දුරට ඵලදායී වූයේ ද යන්න ගැන අවබෝධ වන්නේ තවත් දශකයකට පමණ පසුව ය. එවිට අද බලයේ සිටින බොහෝ දෙනෙක් පාපන්දු පරිපාලනය තුළ නොසිටින බව ද නිසැක ය. කෙසේ නමුත් ශ්‍රී ලංකා පාපන්දුව ප්‍රාර්ථනා කරන ආකාරයට අනාගත කාර්යයන් සිදු කෙරෙන්නේ නම් පාපන්දු අරමුදල් විමධ්‍යගත කරමින් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට දරනා උත්සාහය ප්‍රශංසනීය ය.

එසේ නොමැතිව මේ උත්සාහය ශ්‍රී ලංකා පාපන්දු ගිණුමේ මුදල් නිස්කාරණයේ නාස්ති කර දැමීමක් බවට පත් කර මෙරට පාපන්දු ක්‍රීඩාව කබලෙන් ළිපට ඇද දැමීමක් නොවිය යුතුව ඇතැයි යන්න අපගේ අදහස ය. මෙරට පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනයක් සිදු කොට අනාගත පරපුරට එය බාරදීම, බලය ලබාගන්නා සෑම කණ්ඩායමක ම අත්හළ නොහැකි යුතුකමක් වන හෙයින් වත්මන් පරිපාලනය ද ගැලරි සංවර්ධනය වෙනුවට යථාර්ථවත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට උත්සුක විය යුතුව ඇත.

Comments