බර උසුලන්නෝ රට දිනවන්නෝ තව කවුරු ද ඉන්නේ | Page 2 | සිළුමිණ

බර උසුලන්නෝ රට දිනවන්නෝ තව කවුරු ද ඉන්නේ

ඉන්දික (රන්), ශ්‍රීමාලි (රන්) සහ උෂාන් (රන්)

‘බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාව බොහෝ දක්ෂතා දක්වා තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ කිසිදු පදක්කමක් නොලැබෙන අවස්ථාවල දී පවා බර ඉසිලීමෙන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත්තේ එහෙයිනි. කයින් කුඩා වුව ද ශක්තිය ප්‍රබල මිනිසුන් සහිත සිංහ දේශයේ බර උසුලන්නන් සිංහ ලකුණින් තම අභිමානය විදහා පාමින් සිංගප්පූරුවේ දී දැක්වූ දස්කම් ගැන කියැවෙන කතාවකි මේ.‘

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ දී පදක්කම් බලා-පොරොත්තුව ඉහළ නංවමින් පසු ගිය සති අන්තයේ සිංගප්පූරුවේ දී පවත්වන ලද විශේෂ ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේ දී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුවිශේෂ දක්ෂතා අතරට පිවිස සිටිති.

එහි ප්‍රතිඵලයක් ලෙස එළඹෙන ජූලි සහ අගෝස්තු එංගලන්තයේ බර්මින්හෑම් නුවර දී පැවැත්වෙන මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ දී පදක්කම් දිනා ගත හැකි බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකු හඳුනා ගැනීමට හැකි වූ බවට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විශ්වසනීයත්වය පළ කරයි.

කොවිඩ් නිසා පසුගිය දෙවසරක කාලය තුළ ක්‍රමවත්ව තරගවලට ඉදිරිපත් වීමට නො ලැබුණු වටපිටාවක් තුළ සිංගප්පූරු තරග සංචාරයේ දී ලත් ජයග්‍රහණ පිළිබඳව සෑහීමට පත්විය හැකි බව ජාතික බර ඉසිලීමේ පුහුණුකරු ආර්. බී. වික්‍රමසිංහ මහතා පවසයි.

උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අග-නුවර දී පවත් වන ලද පසුගිය ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලියේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට වරම් ලබා ගැනීමට හැකි වූ අතර එම ප්‍රමාණය තව දුරටත් ඉහළ නංවා ගැනීමට මෙම තරගාවලිය තුළ දී හැකි වී තිබේ. කෙසේ වෙතත් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සහභාගි කරවා ගන්නා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවසන් නාම ලේඛනය තව සතියකින් පමණ අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 07ක් දිනා ගැනීමට සමත් වූයේ තමන් කෙරෙහි තබා තිබූ විශ්වසනීයත්වය නැවත වතාවක් ඔප්පු කර පෙන්වමිනි.

“2022 - බර්මිංහැම් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ” ට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණ ඇතිව සිංගප්-පූරුව ට ගිය ශ්‍රී ලංකා ජාතික බර ඉසිලීමේ කණ්ඩායමේ ඉන්දික චතුරංග දිසානායක, චතුරංග ලක්මාල් ජයසූරිය සහ උෂාන් චාරුක යන ක්‍රීඩකයින් මෙන් ම ශ්‍රීමාලී සමරකෝන් ක්‍රීඩිකාව ද රන් පදක්කම් දිනා ගත්හ.

මව්බිමේ කීර්තිනාමය ඔසවා තබමින් ඔවුන් රන් පදක්කම් දිනා ගන්නා අතර වාරයේ රිදී පදක්කම් 02ක් හිමි කර ගැනීමට ඇන්ටන් සුදේශ් පිරිස් සහ මනෝජ් මධුවන්ත විජේසිංහ සමත් වූ හ.

කාන්තා කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීම දක්වා පැමිණි ගමනේ දී ශ්‍රීමාලී සමරකෝන් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 65ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 86ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 151 ක මුළු බර එකතුවක් සටහන් කළා ය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් වරම් ලබා ගෙන නොසිටි ශ්‍රීමාලී සමරකෝන් මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සහභාගී වීමේ ප්‍රවේශ පත්‍රය ලබා ගත් බවක් පෙනෙන්නට තිබිණි. එහි අතුරු ඵලයක් ලෙස 2018 පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ ලෝකඩ පදක්කම් ලාභී එකම ක්‍රීඩිකාව බවට පත්ව සිටි හංසනී ගෝමස් ට මෙවර තරගාවලියට සහභාගී වීමේ වරම් අහිමි ව ගියේ ය. 

සුළු ආබාධ තත්ත්වයකින් පසුව සුවය ලබා මෙවර සිංගප්පූරු තරග සංචාරයට එක් වූ හංසනී ගෝමස් එහි දී උපරිම දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම එයට හේතු විය.

ඉන්දික චතුරංග දිසානායක කිලෝ ග්‍රෑම් 67 ට අඩු බර පන්තියේ ද චතුරංග ලක්මාල් ජයසූරිය කිලෝ ග්‍රෑම් 67 ට අඩු බර පන්තියේ ද උෂාන් චාරුක කිලෝ ග්‍රෑම් 109 ට වැඩි බර පන්තියේ ද රන් පදක්කම් දිනා ගනිමින් කැපී පෙණුනි.

ඉන්දික චතුරංග දිසානායක පසුගිය වර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී රිදී පදක්කම් ලාභී එකම ක්‍රීඩකයා බවට පත් වූ අතර චතුරංග ලක්මාල් ජයසූරිය එහි දී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ඉතිහාසයට එක් විය.

ඉන්දික දිසානායක ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ. 128 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 150 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 278 ක බර එකතුවක් සටහන් කර ගත් අතර ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ.118 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 150 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 268 ක බර එකතුවක් සටහන් කර ගැනීමට චතුරංග ලක්මාල් ට හැකි විය.

උෂාන් චාරුක ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ.150 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 180 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 330 ක බර එකතුවක් සාර්ථකව ඉසිලී ය. මෙරට බර ඉසිලීමේ ක්‍රීඩකයෙක් එසවූ උපරිම බර ලෙස මෙම ප්‍රමාණය ඉතිහාසයට එක් වීම ද විශේෂත්වයකි. එමෙන්ම ස්නැච් ක්‍රමයට මෙරට ක්‍රීඩකයෙකු කිලෝ ග්‍රෑම් 150 ට ළඟා වූ පළමු අවස්ථාව ද මෙය විය.

රිදී පදක්කම තහවුරු කර ගත් සුදේශ් පිරිස් ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ.118 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 151 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 269 ක් එසවීමට වීමට සමත් වුව ද එය ඉන්දික දිසානායක අභිබවා යාමට තරම් ප්‍රමාණවත් නොවීය.

2010 ලෝකඩ පදක්කමක් ද 2014 රිදී පදක්කමක් ද දිනා ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයට එක් වූ සුදේශ් පීරිස් ට මෙවර තරගාවලියේ දී ප්‍රබලතම ප්‍රතිවාදියා ලෙස එක්ව සිටියේ ඉන්දික දිසානායක වීම ද විශේෂත්වයකි.

මනෝජ් මධුවන්ත විජේසිංහ ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ.110 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 135 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 245 ක් උසුලමින් රිදී පදක්කම දිනා ගැනීම ද කැපී පෙණුනි.

පිරිමි කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ ඩිලංක ඉසුරු කුමාර එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 106 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 132 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 238 ක මුළු බර එකතුවක් සටහන් කළේ ය.

සපුමල් වීදියබණ්ඩාර

Comments