![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/03/3-8.jpg?itok=-mZNn_Cm)
‘තරු පායයි. තරු බැස යයි. තරු දීප්තිය, විශාලත්වය, පායන දුර ප්‍රමාණය, දෙනෙතට දිස්වන කාලය අනුව වෙනස් වෙයි. ඇතැම් තරු පිපී ඇතත් ඒවා ඇසට නොපෙනෙන, නිරන්තරයෙන් නොදකින ඈත අහසේ රැඳී ඇත්තේ කිසිවකුගේත් අවධානයට නතු නොවෙමිනි. ඇතැම් තාරුකා එසේ නොවේ. ඒවා විවිධ හේතූන් මත අවධානයට ලක් වෙයි. ක්‍රීඩාවේ ජනප්‍රිය භාවයේ තවත් මිනුම් දණ්ඩක් වනුයේ උපයනු ලබන මුදල ය. මේ දසක තුනක් තිස්සේ ධනවතුන් අතර සිටින ක්‍රීඩකයකු ගැන ය. එහි විශේෂත්වය වනුයේ ඔහු බොක්සිං ක්‍රීඩාව තුළින් මෙම ස්ථානය හිමිකර ගෙන සිටීම ය.’
බොක්සිං වළල්ලේ දී නිසඟ කුසල-තාවන් පෙන්වා ලෝක ප්‍රකට වූ ක්‍රීඩකයන්ගේ නාම ලේඛනය ඉතා දිගු එකකි.
එවැන්ඩර් හොලි ෆීල්ඩ්, මොහොමඩ් අලී, ලෙනොක්ස් ලුවිස්, සනී ලිස්ටන්, ජෝ ප්රෙසියර්, ජෝර්ජ් ගෝමන්, සුගාරේ ලෙනාඩ්, ලැඩ්මීර් ක්ලිච්කෝ, ඇන්තනී ජොසුවා, ටයිසන් පූරි, මැනී පැකියෝ, ඔස්කාර් ඩී ලාහෝයා ආදීන් එම නාම ලේඛනයට ඇතුළත් අපට වඩාත් ම හුරු නම් කිහිපයකි.
එසේ වුව ද ඔවුන් අතරින් එක් අයෙකුට හෝ ගෙවී ගිය වසර 30ක කාලය තුළ ලොව ධනවත් ම ක්‍රීඩකයින්ගේ ලේඛනයේ පළමු 10 දෙනා අතරට පැමිණීමට නොහැකි විණි.
බොක්සිං ක්‍රීඩාවේ දී ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නේ හෙවිවේට් බර පන්තියේ ක්‍රීඩකයන් ය. එසේ තිබියදීත් අදාළ අවුරුදු 30 ක කාලය තුළ ධනවත්ම ක්‍රීඩකයන් බවට පත් වූ පළමු 10 දෙනා අතරට බොක්සිං ක්‍රීඩාව එක් කිරීමට සමත්ව ඇත්තේ ලයිට් වේට්, ෆෙදර් වේට් හෝ මිඩ්ල් වේට් යන බර පන්ති නියෝජනය කරමින් තරග කළ අමෙරිකානු ක්‍රීඩක ෆ්ලොයිඩ් මේවෙදර් පමණි.
මේවෙදර් සිය බොක්සිං චාරිකාවේ දී වෘත්තීය තරග 50කට සහභාගී වී විශ්‍රාම ගොස් තිබුණේ එම තරග 50ම ජයගත් අපරාජිතයෙකු ලෙසිනි. ඒ වන විට ඔහු උපයා ගෙන තිබූ මුදල පවුම් මිලියන 840 කි.
ගෙවී ගිය වසර 30 ඇතුළත වැඩිම මුදල් උපයා ගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වූඩ්ය. වාර්තාවට අනුව ඔහු පවුම් බිලියන 1.3 ක ධනවතෙකි.
පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස්, පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී, ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර්, පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ෆ්ලොයිඩ් මේවෙදර්ට වඩා ඉදිරියෙන් සිටින පවුම් මිලියන 800 ඉක්ම වූ ධනයක් උපයා ගෙන ඇති ක්‍රීඩකයන් ය.
එම ලේඛනයේ හත් වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා පිළිවෙළින් පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩාන් මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂුමාකර් හා පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් රැඳී සිටිති.
මේ ලේඛනයට අනුව නම් ලොව ධනවතුන් අතරට එක්වීමට පහසු ක්‍රීඩාවන් හැටියට පැසිපන්දු, පාපන්දු, ගොල්ෆ් හා ටෙනිස් යන ක්‍රීඩාවන් නම් කළ හැකි ය.
සීවලී එදිරිවීර