රොෂාන් වීරරත්න යනු කඳුරටින් බිහි වූ විශිෂ්ට රගර් ක්‍රීඩකයෙකි. ඔහු පසුගිය වසර දහ තුනක කාලය තුළ ක්‍රීඩා සමාජාන්තරව නියෝජනය කළේ මහනුවර ක්‍රීඩා සමාජය යි. එම වකවානුව තුළ ඔහු එම ක්‍රීඩා සමාජයේ 2013 දී හා 2016 වසර හි නායකයා වශයෙන් ද කටයුතු කළේ ය.
ශ්‍රී ලංකා රගර් අම්බරයේ තරුවක් වෙමින් තම පිල ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහු ට හැකියාව උදාවිණි. ඔහුගේ ක්‍රීඩා කෞශල්‍ය නැරඹීමට නිත්තවෙලට පමණක් නොව රටේ ඕනෑ ම ක්‍රීඩාංගණයකට ක්‍රීඩා ලෝලීන් රොද බැඳීම එකල සුලබ කාරණයකි. මහනුවර කිංස්වුඩ් විදුහල නියෝජනය කරමින් වයස 12 දී රගර් ක්‍රීඩාව ආරම්භ කඵ ඔහු වයස 13 සම්පූර්ණ වීමට පෙර ම විදුහළේ අවුරුදු පහළොවෙන් පහළ කණ්ඩායමට තෝරාගනු ලැබුණේ ය.
ෆාසිල් මරිජාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් සත් සාමාජික තරගාවලිය සහ සමස්ත පාසල් ලීග් ශූරතාව දිනූ කිංස්වුඩ් කණ්ඩායමේ ළාබාල ම ක්‍රීඩකයා වූයේ ද රොෂාන් ය.
පාසල් සමයේ කිංස්වුඩ් විදුහලේ දක්‍ෂත ම ක්‍රීඩකයන් වූ ෆාසිල් මරිජා, ඔහුගේ වැඩිමහල් සොයුරු ගයාන් රජිත් අබේකෝන්, නීල් ඒබ්‍රහම්, ආර්. එන්. මොහොමඩ් වැනි දක්ෂ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීමට එකල ඔහු ට අවස්ථාව උදාවිය. ඔහු පාසල් ක්‍රීඩකයකු, ක්‍රීඩා සමාජ ක්‍රීඩකයකු සහ ජාතික කණ්ඩායම් ක්‍රීඩකයකු වශයෙන් දිගට ම ක්‍රීඩා කළේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයකු වශයෙනි.
2007 වර්ෂයේ කනිෂ්ඨ ජාතික කණ්ඩායමට තේරුණු ඔහුගේ පාසල් රගර් පුහුණුකරු වූයේ රොනී ඊබ්‍රහීම් මහතා ය. ශාරීරික යෝග්‍යතා උපදේශක වූයේ මොතිලාල් ජයතිලක මහතා ය. 2009 සිට මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඔහු එම ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා සත් සාමාජික සහ ශ්‍රී ලංකා 15 දෙනාගේ කණ්ඩායමට ද තෝරා ගැනිණි. ඔහු එම කණ්ඩායම වර්ෂ ගණනාවක් නියෝජනය කළේ ය. 2010 වර්ෂයේ රාජ්‍යයන් පහක් අතර පැවැත් වූ තරගාවලි යේ දී රොෂාන් වීරරත්න ජයග්‍රාහක උත්සාහක දිනුම සහ ඩ්‍රොප් ගෝලය ලබා ගනිමින් සිංගප්පූරු පිලට එරෙහිව අවසාන තරග ජය ලබා ශ්‍රී ලංකාවට ශූරතාව ලබා දීමට උරදුන්නේ ය.
එම්.ඒ.එස්. ආයතනයට බැඳී රැකියාවේ නිරත වූ ඔහු පසුව රගර් පුහුණුකරුවකු වශයෙන් මහනුවර ශාන්ත සිල්වෙස්තර රගර් පිලේ පුහුණුකරුවෙකු වශයෙන් සේවය කළේ ය. දෙවැනි පෙළේ ජාත්‍යන්තර පුහුණුකරුවකු වශයෙන් සහ ශාරීරික යෝග්‍යතා උපදේශකයකු වශයෙන් ද ඔහුගේ රගර් ජීවිතය සාර්ථක කර ගැනීමට උදවු කළ හිටපු කිංස්වුඩ් විදුහල්පති රංජිත් චන්ද්‍රසේකර මහතාට මෙන්ම තම පියා සහ මව මෙන්ම ඔහුගේ පුහුණුකරුවන්ට ද ඔහුගේ කෘතඥතාවය හිමි වේ.
උපනන්ද ජයසුන්දර - මහනුවර ක්‍රීඩා විශේෂ වාර්තාකරු