ඉන්දියාවේ දී කන රිදෙන්න පහර කෑ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්‌ | සිළුමිණ

ඉන්දියාවේ දී කන රිදෙන්න පහර කෑ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්‌

සති දෙකක් තුළ ශ්‍රී ලංකාව ජගත් විස්සයි විස්ස පිටියේ අඛණ්ඩව ලැබූ දෙවැනි තරගමාලා පරාජය පසුගිය දා ඉන්දියාවේ දී වාර්තා වූයේ 0-3 වශයෙනි. ඊට පෙර ඔස්ට්‍රේලියාවේ දී 1-4 ලෙස පරාජය අත් කරගත් ශ්‍රී ලංකාව ජගත් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය ශ්‍රේණිගතව ඇත්තේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙනි. මේ අනුව අවසන් වරට මුහුණ දුන් විස්සයි විස්ස ජගත් තරග අටෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව ඇත්තේ එක තරගයක් පමණි.

මෙවර ඉන්දියාව සමඟ පැවති තරගාවලියේ විශේෂයෙන්ම දෙවැනි තරගයේ දී සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් වූ ලකුණු 183 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. නමුත් ඉන්දීය පිලට එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමට වැය වූයේ පන්දු වාර 17.1 ක් පමණි. “සමහර ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් නොමැතිව එය ඉතාමත් අසීරු කාර්යයක් වුණා. පැවති තත්ත්වයට අප හැඩගැසිය යුතුව තිබුණා. කෙසේ නමුත් ජාත්‍යන්තර තරගාවලියක දි නිදහසට කරුණු කියන්න හැකියාවක් නෑ. කොහොම නමුත් මගේ පිතිහරඹය යළි නියම රිද්මයට පැමිණීම ගැන සතුටුයි” තරගාවලි පරාජයෙන් පසු නායක දසුන් ශානක පවසා තිබිණි.

ඔහු පැවසූ ආකාරයට වනිඳු හසරංග වැනි අවශ්‍යම අවස්ථාවේ කඩුල්ලක් දවාගෙන තර-ගයක් ආපස්සට හැරවිය හැකි මෙන්ම පසුගිය අවස්ථාවන් හි හොඳින් පන්දු යැවූ මහේෂ් තීක්ෂණ කණ්ඩායමේ නොමැති වීමේ අඩුව දැක ගැනීමට හැකි වූවේ ඉන්දීය පිතිකරුවන් ලකුණු රැස් කළ ආකාරය දෙස බලන විට ය. මුල් තරගයේ දී 199/02, දෙවැනි තරගයේ දී 186/03, තෙවැනි තරගයේ දී 148/04 ලෙස ඔවුහු ලකුණු රැස් කළ හ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමද එතරම් ඉහළ මට්ටමක නොතිබූ බව කිව යුතු ය. එනමුත් දෙවැනි තරගයේ දී සංජු සැම්සන් දවාලීම පිණිස බිනුර ප්‍රනාන්දු රැකගත් උඩ පන්දුව ඉතා විශිෂ්ට පන්දු රැකීමක් ලෙස දැක්විය හැකිය.

විශේෂයෙන් අර්ධ වශයෙන් කඩුලු දවා ගැනීමට ලැබෙන අසීරු උඩ පන්දු රැකගැනීමට අපොහොසත් වීම ද මෙහි දී දැකගැනීමට තිබිණි.අතීතයේ ශ්‍රී ලංකාව ජගත් පිටියේ ජයග්‍රාහකයන් වූයේ මෙවන් අර්ධ හා අසීරු උඩ පන්දු රැක ගැනීමෙනි.

එකල ශ්‍රී ලංකාවේ පන්දු රැකීම ගැන විදෙස් ක්‍රීඩකයන් මවිත වූ අවස්ථා ද විය. ශේරෙයාස් අයියර් තරග තුනේ දී ම ශ්‍රී ලකාවට එරෙහිව නොදැවී අර්ධ ශතක තුනක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීය.

ඒ මුල් තරගයේ දී පන්දු 28 කින් ලකුණු 57ක් දෙවැනි තරගයේ දී පන්දු 44 කින් ලකුණු 74 ක්, තෙවැනි තරගයේ දී පන්දු 45 කින් ලකුණු 73 ක් වශයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹය දෙස බලන විට පන්දුව ඉහළට ඉපිලෙන ආසියානු තණතීරුවක් සහිත පිටියක් ලෙස සඳහන් කළ හැකි දෙවැනි හා තෙවැනි තරග පැවති ධර්මසාලා පිටියේ නායක දසුන් ශානක ක්‍රීඩා කළ ඉනිම් දෙක වඩාත් කැපී පෙනුණේ ය. පන්දු 19 ක් තුළ නොදැවී ලකුණු 47 ක්, පන්දු 38 කින් නොදැවී ලකුණු 74 ක් ද ලබා ගනිමිනි.

විශේෂයෙන්ම අවසන් තරගයේ දී මුල්පෙළ කඩුලු බිඳ වැටුණු අවස්ථාවේ ඔහු හුදකලා සටනක නිරත වෙමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කළේ ය. සමස්තයක් ලෙස බලන විට තරග තුනේ දී ම දැක ගැනීමට ලැබුණු විශේෂ සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු ඉක්මනින් බිඳ වැටීම.

මුල් තරගයේ දී ලකුණු 200 ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යෑමේ දී පැතුම් නිශ්ශංක 00, මෙම තරගයේ දී දනුෂ්ක ගුණතිලක වෙනුවට කමිල් මිශාර ආරම්භක පිතිකරු ලෙස යෙද වූ ව ද ඔහුගේ ඉනිම ලකුණු 13 ක ට සීමා විය. ජනිත් ලියනගේ 11, දිනේෂ් චන්දිමාල් 10, දසුන් ශානක 03 ලෙස දැවී ගියේ පන්දු වාර 10.5 ක් තුළ 60/05 ලෙස ලකුණු පුවරුව දක්වමිනි. මෙහිදී අංක 04 පිතිකරු ලෙස පිටියට පිවිසි චරිත් අසලංක පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව හුදකලා සටනක නිරත වූයේ නොදැවී ලකුණු 53 ක් ලබමිනි.

දෙවැනි තරගයේ දී මුලින්ම පන්දුවට පහර දී පළමු පන්දු වාර 8.4 ක් තුළ ලකුණු 67 ක් මුල් කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට පැතුම් නිශ්ශංක හා දනුෂ්ක ගුණතිලක සමත් වූ ව ද යළිත් වරක් මුල් පෙළ බිඳ වැටීම දැකගත හැකිවිය.

චරිත් අසලංක 02, කමිල් මිශාර 01, දිනේෂ් චන්දිමාල් 09 ලෙස දැවී යෑමත් සමඟ පන්දු වාර 14.4 ක් තුළ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ 102/04 ලෙස ය. මෙහි දී පැතුම් නිශ්ශංක ආරම්භක පිතිකරු ලෙස විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේ ය.

ඔහුගේ ඉනිම පන්දු 53 ක් තුළ ලකුණු 75 ක් ලෙස සටහන් විණි. තෙවැනි තරගයේ දී මුල් කඩුලු හතර ලකුණු 29 ක ට දැවී ගියේ පැතුම් නිශ්ශංක 01, ධනුෂ්ක ගුණතිලක 00, චරිත් අසලංක 04, ජනිත් ලියනගේ 09 වශයෙනි.

සමස්තයක් ලෙස බලන විට බලාපොරොත්තු තබා සිටි චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක එක තරගයක පමණක් සාර්ථක වූ නමුත් ඉතිරි තරග දෙකේ දී අසාර්ථක වීම, දිනේෂ් චන්දිමාල් වෙතින් දිගු ඉනිම් වාර්තා නොවීම මෙම තරගාවලිය තුළ කැපී පෙනිණි. එමෙන්ම අත්දැකීම් රහිත ක්‍රීඩකයන් වූ ජනිත් ලියනගේ හා කමිල් මිශාර දෙදෙනා ද මුල්පෙළ පිතිකරුවන් ලෙස අසාර්ථක විණි.

“අප එක්ව හොඳින් ක්‍රීඩා කළා. ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දීමට හැකිවීමත් හොඳයි. විශාල අභියෝගයක් වුණත් අපට අවශ්‍ය ඉදිරියට යන්නයි. ඒ වගේම ක්‍රීඩකයන් නියම රිද්මයේ සිටීම රිද්මයේ නොසිටිනවාට වඩා සතුටුදායකයි.” තරගාවලිය ජය ගැනීමෙන් පසු ඉන්දීය නායක රෝහිත් ෂර්මා පැවසී ය.

අනිල් වීරසිංහ

Comments