![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/02/25/11-6.jpg?itok=jtSl2CF_)
පාර්ලිමේන්තුව පසුගිය සතියේ රැස්වූ අතර ඇතැම් අවස්ථාවලදී ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂය අතර යම් යම් උණුසුම්කාරී අවස්ථාවන් ඇති විය. පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මැති ඇමතිවරුන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අගමැති කාර්යාලයේ දී කිහිප අවස්ථාවක්ම හමුවූ අතර එම සෑම අවස්ථාවකදීම අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ හැකි සෑම පළමු අවස්ථාවකදීම ජනතාවට පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙසයි.
අත්පොළසන් දෙන්න අගමැති මුලපුරයි
පසුගිය 19 වැනි සෙනසුරාදා හවස 4. 00 ජනාධිපතිවරයා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති උත්සවයකට ගියේය. උත්සවයක් යැයි කීවාට එය ලංකාවේ සේවය කරන විදේශීය තානාපතිවරුන් වෙනුවෙන් සැකසුණු එක්තරා සංස්කෘතික සංදර්ශනයක් සහ ප්‍රදර්ශනයක් විය. ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශීය තානාපතිවරුන් දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ජාතික උරුමය ඔප් නැංවෙන අයුරින් මෙම උත්සවය සංවිධානය කර තිබුණේ සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසිනි.
ලංකාවේ සේවය කරන සියලු තානාපතිවරු හා මහ කොමසාරිස්වරු මේ සඳහා පැමිණ සිටි අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති ලේකම්වරු, අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු සම්භාව්‍ය අමුත්තන් පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ.
ජනාධිපතිවරයා ඇතුළු සම්භාව්‍ය පිරිස මෙම සංස්කෘතික සංදර්ශනය නැරැඹුවේ නෙළුම් පොකුණ රඟහලේ බැල්කනියේ සිටය. ඔවුන් වෙනදා මෙවන් සංදර්ශන නරඹන පහත දෙවන පේළියේ අසුන් තානාපතිවරුන් වෙනුවෙන් වෙන්කර තිබිණි. සංදර්ශනය ඉවර වෙන තෙක් ම නැරඹූ පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිස විනාඩි කිහිපයක්ම අත්පොළසන් දුන්නේ අගමැතිවරයාගේ යෝජනාවක් අනුවය.
"මේක තානාපතිවරුන්ට විතරක් නෙවෙයි. අපටත් ඉතාම වටින සන්දර්ශනයක්. මේ ගොල්ලන්ව දිරිමත් කරන්න අපි නැගිටලා අත්පොළසන් දෙමු" අගමැති කීවේය.
විහාරාධිපති හිමියන්ගේ අනාවැකිය
ඊට පසු දා 20 වැනිදා හවසත් ජනාධිපතිවරයා විශේෂ උත්සවයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානයට ගියේය. ජපානයේ වෙසෙන පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වයෙන් විහාරස්ථානයේ පවත්වාගෙන යන නිපොන් අධ්‍යාපන හා සංස්කෘතික කේන්ද්‍රයේ දරුවන්ට නව ශිෂ්‍යත්ව ප්‍රදානය එම අවස්ථාවේදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයාට ඒ සඳහා ආරාධනය කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, කෝට්ටේ නගරාධිපති ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් ද ඒ සඳහා සහභාගී වී සිටියහ. කෝට්ටේ කල්‍යාණ ශ්‍රී සාමග්‍රි සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී පැවසුණේ මෙම පදනම මඟින් මේ වන විට ශිෂ්‍යත්ව 14 000ක් පමණ මව්පියන් නොමැති ශ්‍රී ලාංකේය දරු දැරියන් වෙත ප්‍රදානය කර ඇති බවයි.
මෙහිදී විශේෂ අනුශාසනාවක් කළ විහාරාධිපති චන්ද්‍රසිරි හිමියෝ හරි අපූරු කතාවක් කීහ
"මීට අවුරුදු ගණනාවකට කලින් දවසක් අපේ වත්මන් ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ මේ පන්සලට ආවා. එතකොට එතුමා ආරක්ෂක ලේකම්. මං එදා කිව්වා ඔබතුමා කවද හරි දවසක මේ රටේ නායකයා වෙන්න ඕන කියලා. මට හරි සතුටුයි. ඒ අනාවැකිය අද යථාර්ථයක් වෙලා..."
ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සමඟ ඉන් පසුව ටික වේලාවක් රටේ තිබෙන අභියෝග හා ගැටලු ගැන ජනාධිපතිවරයා සුහද කතාබහක නිරතව සිටියේය.
ප්‍රකට ව්‍යාපාරිකයන් ජනපතිට ස්තූති කළේ ඇයි ?
පසුගිය සඳුදා ජනාධිපති කාර්යාලයේ දී මේ රටේ ඉහළම පෙළේ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් සහභාගිවූ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ රටේ සිටින ප්‍රකටම හා ධනවත්ම ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකවරු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.
"අපේ රට අද මූල්‍යමය වශයෙන් ලොකු අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දෙමින් තියෙනවා. මේ වෙලාවේ මේ රටේ ප්‍රබල ව්‍යාපාරිකයෝ හැටියට ඔබතුමන්ලාට ලොකු වගකීමක් සහ යුතුකමක් පැවරිලා තියෙනවා. මම කැමැතියි ඒ ගැන කතා කරන්නට පෙර අද අපේ රට මුහුණ පා තිබෙන අර්බුද හා අභියෝග පිළිබඳව සාකච්ඡා කරලා ඉන්නවනම්. අපි ආරාධනා කරමු ඒ ගැන අලුත් තත්ත්වය පැහැදිලි කරන්න අපේ මහ බැංකුවේ අධිපතිතුමාට..." එසේ කියමින් ජනාධිපතිවරයා අජිත් නිවාඩ් කබ්රාල්ට ආරාධනා කළේය.
"මම නම් පිළිගන්නෙ නැහැ කවුරු හරි කියනවා නම් අපේ රට දැන් අවදානම් අඩවියක පවතිනවා කියලා. මොකද ඒ නරකම තත්ත්වයෙන් අපි අද මිදිලා ඉන්නේ. හැබැයි හොඳ තත්ත්වයකට ඇවිල්ලාත් නෑ. ඒත් හොඳ තත්ත්වයකට එන මාවතට අපි අද ඇවිත් තියනවා කියන එක මම කියනවා.
සමහරු කිව්වා, විපක්ෂයත් කිව්වා ලෝකෙන් අපි අරගෙන තියෙන ණය මේ දුෂ්කර අවස්ථාවෙ ගෙවන්න ඕන නැහැ කියලා. හැබැයි අපි එතනට වැටුණේ නෑ. අපි ණය ගෙවමින් ඉදිරියට ආවා. අපි අපේ විශ්වාසනීය බව ලෝකෙට තහවුරු කළා. ඒ තුළ අපට අද හොඳ ස්ථාවරයක් ගොඩ නැගෙමින් පවතිනවා.
නමුත් අපි දැක්කා පහුගිය අවුරුද්දේ අපේ අපනයනයන් වලට වඩා ආනයනයන් වැඩි වෙලා තියෙනවා. අපි ඒ තත්ත්වය ටිකක් පාලනය කරගන්න ඕන."
අජිත් නිවාඩ් කබ්රාල් එසේ කියමින් කළ පැහැදිලි කිරීමෙන් පසුව ව්‍යාපාරික ධම්මික පෙරේරා කතා කරන්නට පටන් ගත්තේ පළමුවෙන්ම ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වෙමිනි.
"ඔබතුමා නිර්භීත තීන්දු කීපයක් ගත්තා. කොවිඩ් වසංගත කාලේ අන් රටවල් සිය ව්‍යාපාර අත්හැරලා බලා ඉදිද්දි ඔබතුමා අපට අපේ ව්‍යාපාර කර්මාන්ත කරගෙන යන්න අවස්ථාව සලසලා දුන්නා. ඒකෙන් අපට ශක්තිමත් වෙන්න පුළුවන් වුණා. අද වෙනකොට ඒ ශක්තිය තුළින් අපට අපේ නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් ලැබුණා. සමහර රටවල් කොවිඩ් කාලේ ව්‍යාපාර අතඇරියා. ඒ ඇණවුම් පවා අපටයි ලැබුණේ.
අනෙක් අතට පහුගිය කාලේ අපේ ආනයනය වැඩිවුණා කියලා මහ බැංකුවේ අධිපතිතුමා කිව්වා. ඔබතුමා දන්නවද පහුගිය කාලේ අපේ නිෂ්පාදන වැඩි වුණ නිසා අපට කර්මාන්ත කරගෙන යන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ හා යෙදවුම් වැඩිපුර ගේන්න සිදු වුණා. ඒක නිසා ආනයන වියදම වැඩිවුණා වගේ පේනවා ඇති. හැබැයි ඒ අපි ගෙනාපු ප්‍රාග්ධන භාණ්ඩ හා උපකරණවල ප්‍රතිලාභ රටට ලැබෙන්න තව මාස ගණනාවක් කල් යයි." ධම්මික පෙරේරා එසේ කීමෙන් පසුව ජනාධිපති කතා කළේය.
"අපි කාලයක් තිස්සේ විදේශවලින් ගෙන්වන්න හුරුවෙලා සිටි දේවල් රටේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තට පස්සේ මේ රටේ කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලොකු දියුණුවක් සිදු වුණා. වැවිලි බෝගත් එහෙමයි. දැන් කහ වලින් අපි ස්වයංපෝෂිතයි. මුං, කව්පි, උඳු වගේ ධාන්‍ය වර්ග ගොඩක් අපි මේ රටේ වවනවා. දැන් ටයිල් වගේ දේවල් ගත්තම පිටරටින් ගෙනාවෙ මෙහෙ නිපදවන්න පුළුවන්කම තියෙද්දි. අපි දැන් මෙහෙ ඒව නිපදවනවා. සිමෙන්ති වුණත් දැන් රටේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. අපි රජයක් හැටියට ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට අවශ්‍ය අවස්ථාවල් සලසලා දෙනවා. ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ රටේ ආයෝජන කරන්න, නිෂ්පාදන ආරම්භ කරන්න..."
සිමෙන්ති නිෂ්පාදනය ආරම්භ වීමෙන් පසුව රටට අවශ්‍ය මුළු සිමෙන්ති ප්‍රමාණයම ලංකාවේ නිපදවා ගත හැකි ආකාරය ගැන කතා බහක්ද ඇතිවිය.
"මාධ්‍යවල ක්‍රියාකාරීත්වය මීට වඩා සැලකිලිමත් විය යුතුයි. සමහරවිට ඒ ගොල්ල නැතිකම ගැනම කියනවා. නරක දේවල් විතරක්ම පෙන්නනවා. ඕනවට වඩා නැතිවාදම පෙන්නන කොට රටේ ජනතාව බය වෙනවා. අපේක්ෂාභංගත්වයට පත් වෙනවා."ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.
"අපිට පුළුවන් රටෙන් පිටට යන මුදල් ඉතුරු කරන්න. ළමයි උපාධි ගන්න පිටරට යනවා. එන්. අයි. බී. එම්, එන්. එස්. බී. එම්, ස්ලිට් වගේ ආයතනවල උපාධි දුන්න නම් ඒ මුදල් ඉතුරු කර ගන්නවා වගේම විදේශවලින් ළමයි ගෙන්නලා ඩොලර්වලින් මුදල් ගෙන්න ගන්නත් පුළුවන්..."
ධම්මික පෙරේරා එසේ කියද්දී ජනාධිපතිවරයා තවත් අදහසක් එක් කළේය...
"මම කියන්නේ ව්‍යාපාරික මට්ටමෙන් උපාධි කඩ අරින්න නෙවෙයි. අධ්‍යාපනය දියුණු කරන්න ආයතන බිහි වෙනවා නම් අපි ඒවට ඉඩ දෙනවා. මොකද මම දන්නවා රජයට විතරක් මේක තනියෙන් කරන්න බෑ. ගිය අවුරුද්දේ අපි දහදාහක් වැඩිපුර ගත්තා. මේ අවුරුද්දෙත් දහදාහක් වැඩිපුර විද්‍යාලවලට ගන්නවා. හැබැයි පුද්ගලික අංශයත් මේකට උදව් කරන්න ඕන."
"විපක්ෂයෙන් එන චෝදනා ඉතාම නරකයි. අපි නිෂ්පාදන වැඩි කරලා රටේ ප්‍රාග්ධන සංචිත ඩොලර් බිලියන 14 ට තියෙද්දි රට භාර දුන්නෙ. ඒගොල්ලො ඒක 7ට බස්සලා අපිට ණය කන්දකුත් එක්ක රට බාර දුන්නා. පාස්කුවෙන් පස්සෙ රට වැටෙන්න ඇරියා. දැන් වගකීම අපි කරේ ගහනවා..." මහ බැංකුවේ අධිපති පෙන්වා දුන්නේය.
"අපි තාක්ෂණ විද්‍යාල 5 ඉදි කරනවා. දෙකක් ආණ්ඩුවෙන් හදන අතර තුනක් පුද්ගලික අංශය හදන්න ඕන."
ඉන්පසුව මේ රටේ කිරි නිෂ්පාදනය නඟා සිටුවන ආකාරය ගැන ආරියශීල වික්‍රමනායක ලොකු විස්තරයක් කළේය. මේ අයුරෙන් ඇදී ගිය සාකච්ඡාව රටට ඉතා හිතකර හා වැදගත් යෝජනා රැසක් කතාබහ වූ විශේෂ සාකච්ඡාවක් විය. සාධනීය කරුණු ගණනාවක් සාකච්ඡාවට බඳුන් විය.
ජනපති ගමන් මාර්ගය වෙනස් කළේ ඇයි ?
ජනාධිපති 24 වැනි බ්‍රහස්පතින්දා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින රත්මලාන තාක්ෂණික ඉංජිනේරු ආයතනය බලන්නට ගියේය.
උදේ 11. 00 ට ජනාධිපතිවරයා රත්මලාන වැඩබිමට යනවිට ප්‍රවාහන ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිනියත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමත් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරිනුත් එතනට පැමිණ සිටියහ.
ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ එම වැඩ බිම පුරා ඇවිද යාමටය. මෙම නිරීක්ෂණ චාරිකාවේදී ජනාධිපතිවරයා හැම තැනම ඇවිද යන බව කල්තියා දැනගත් නිලධාරීන් ඒ සඳහා ඊතල ගසා ගමන් මාර්ගයක් ද සූදානම් කර තිබිණි. එම ගමන් මාර්ගයට පෙනෙන අවට පරිසරය පමණක් සුද්ද පවිත්‍ර කර ඇතැම් තැන්වල සායම් ගා නවීකරණය කර තිබුණු බව නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඒ මඟට පිටින් යන්නට උපායක් යෙදුවේය...
"අර පැත්තෙත් අර කට්ටියක් ඉන්නව නේද... ඒ ගොල්ල මොනවද කරන්නේ... අපි බලමු මේ පැත්තට ගිහින්..." කියමින් ජනාධිපති පාර මාරු කළේය...
ඒ අනුව නිලධාරීන් ද ආපසු හැරී ජනාධිපති පස්සෙන් දුවන්නට වූහ. කසළ ගොඩවල් මැදින්, වල් බිහිවී කැලෑ වැවී ඇති පැත්තෙන් ජනාධිපති එනු දුටු මාධ්‍යවේදීන් ද ඒ පිටුපස දුවන්නට යද්දී ඒ එක් අයෙක් වළකට ඇද වැටුණේය. එය කසළ දමා ගොඩ කරන ලද පැරණි ටැංකියකි. ඊට වැටුණේ ජනාධිපති යන මඟ රූපගත කරමින් සිටි හිරු මාධ්‍යවේදියෙකි. ඒ බැව් දැනගත් ජනාධිපතිවරයා විහිළුවක් කළේ මෙසේය.
"තුවාල නෑනේ... අද හිරු නිවුස් එකේ යයිද දන්නෑ ජනාධිපති මාධ්‍යවේදීන් ගෙන්නලා වළවල්වල දැම්මා කියලා"...
"මේ බලන්න... මේ හැම තැනකම යකඩ ගොඩගහල නිකරුණේ දිරාපත් වෙනවා. මේ යකඩවලට වටිනා කමක් නැද්ද. හැමතැනම කැලෑ වැවිලා. හැමතැනම කුණුගොඩවල්. ඇයි මේ ආයතන වලට මෙහෙම වෙලා තියෙන්නේ..." ජනාධිපති තරමක් නොමනාපයෙන් කියද්දී අසල උන් නිලධාරීන් කීප දෙනෙක් කුටු කුටු ගෑවේ එකිනෙකාට දොස් පවරමිනි...
"මම කිව්වා තමුසෙලාට... ඔය පාර හදලා ඊතල ගහලා පාට කරලා වෙන්කරලා තිබුණා ම ජනාධිපතිතුමා කවදාවත් ඕවයි යන්නෙ නෑ කියලා. දැන් ඉතින් අහන ඒවට උත්තර දෙනවාලා..."රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීවේය.
මෙම වැඩ අංගණය ආරම්භ කර තිබුණේ 1934 දී ය. එදා ආරම්භ වූවාට පසු මේ දක්වා එතනට කිසිදු රාජ්‍ය නායකයෙක් පැමිණ තිබුණේ නැත. ජනාධිපතිවරයාගේ පැමිණීම එහි සේවය කරන කම්කරු මට්ටමේ සේවකයන්ට තම ගැටලු කියන්නට හොඳ අවස්ථාවක් වූයේ ඒ නිසාය.
"මොනවද දැන් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න..."ජනාධිපති සේවකයන්ගෙන් විමසා සිටියේය.
"මම අවුරුදු තිහක් වෙනවා සර් මෙතැනට ඇවිල්ලා. තවමත් ඉන්නේ කම්කරු ශ්‍රේණියේ. මං පැන්ෂන් යන්නෙත් මේ විදියට..."
"කම්කරු හැටියට සේවයට ආපු කෙනෙකුට අවුරුදු තිහක් වෙනකොටවත් උසස්වීමක් ලබා දෙන්න ක්‍රමයක් මෙතන නැද්ද... කරුණාකරලා මේගොල්ලන්ගේ සේවය පිළිබඳ ඇගයීම් ක්‍රමයක් ඇති කරලා උසස්වීම් දෙන ක්‍රමයක් හදන්න. ඒකට කමිටුවක් දාන්න. වැඩපිළිවෙළක් හදන්න. මට මාස දෙකක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ඕන" ජනාධිපති නිලධාරීන්ට කීවේය.
"අර මොකක්ද අර වෑද්දුම් අංගණය කියලා ගහලා තියෙන්නෙ බෝඩ් එකක්. අපි යමු ඒක ඇතුළට..." ජනාධිපති එදෙසට ගිය වේගයට ඇමතිනී පවිත්‍රා ද සාරිය අතින් ගෙන ඒ දෙසට දුවන්නට වූවාය...
ජනාධිපතිවරයා එහි ඇතුළට ගොස් තවත් පොඩි දොරකින්ද ඇතුළට ගියේය.
"මම මීට ටික දිනකට කලින් මෙතෙන්ට ආවා. මේ අය මාවවත් මේ තැන් වලට එක්ක ගිහින් නෑ... සර් ව එක්කන් යනවා..." සේවකයින් ජනාධිපතිවරයාට එහි ඇති සුවිශේෂී තැන් පෙන්වමින් විස්තර කියනු දුටු පවිත්‍රා කීවාය.
මෙම අංගණයේ වැඩකරන අය අතරින් වැඩි පිරිස (80%) කම්කරුවන් බව දැනගත් ජනාධිපතිවරයා ඔවුන්ගේ උසස්වීම් ක්‍රියාදාමය සකසන්නට නිලධාරීන් හා කතාබහ කරද්දී ඔවුන් කිව්වේ යෝග්‍යතාවය ඔප්පු කරන්නට ඔවුන්ට මිනුම් දණ්ඩක් නොමැති බවයි.
"පළපුරුද්ද ගන්න. පළපුරුද්ද කියන එක හරිම වටිනවා. පළපුරුද්දට අනුව ලකුණු දෙන ක්‍රමයක් හදන්න..."
"අනිත් එක තමයි මෙතන ඉන්නේ ගොඩක් තරුණ ළමයි. එයාලට පුහුණුවක් දීලා ගන්න. හුඟාක් වැඩ එයාලගෙන් කරගන්න පුළුවන්. අනිත් එක මෙතන ආකර්ෂණීය තැනක් බවට පත් කරන්න. මේ කුණුගොඩවල් අස්කරලා ලස්සන කරන්න. නාගරික සංවර්ධනයේදී අපි වැඩ කරපු විදිය ආදර්ශෙට ගන්න." ජනාධිපති මේ අයුරින් උපදෙස් රාශියක් නිලධාරීන්ට ලබා දුන්නේය.
"ඉස්සෙල්ලා මේක දියුණු කරන්න මානව සම්පත් සැලැස්මක් හදා ගන්න. ඊට පස්සේ මෙතන ආයතනය දියුණු කරන්න පුළුවන්."
මේ අයුරින් ජනාධිපතිවරයා පැය දෙකකට අධික කාලයක් එහි අඩුපාඩු බලමින් සාකච්ඡා කරමින් උපදෙස් දෙමින් කාලය මිඩංගු කිරීම විශේෂත්වයක් විය .
පාර්ලිමේන්තුවට ටෝච් ගෙන්වූ හැටි
බලශක්ති අර්බුදය ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව යළිත් අවධානය යොමු කළේ විරෝධතාවක් පවත්වමිනි. ටෝච් රැගෙන ඒවා දල්වමින් පාර්ලිමේන්තුවේ කළ විරෝධය සංවිධානය කර තිබුණේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. දින කිහිපයකට පෙර ඔහු තමන්ගේ හිතවතෙක්ට දැනුම්දී තිබුණේ කොතැනකින් හෝ කුඩා ප්රමාණයේ ටෝච් පනහක් හැටක් සොයා දෙන ලෙසය.
‘‘ලොකු ටෝච් එපා. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් පොඩි ටෝච් ටිකක් හොයලා දෙන්න’’ හරින් කළ ඉල්ලීම අනුව ඔහුගේ හිතවතා පිටකොටුවේ කඩවල් ගණනාවකට ගොස් කුඩා ප්රමාණයේ ටෝච් මිලදී ගෙන හරින්ට ලබාදුන්නේය. පෙර දිනයේ සවස හරින් සූක්ෂමව ඒවා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයට ගෙන ආවේය. එතැන් සිට විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේදී මන්ත්‍රීවරු ටෝච් එකින් එක අරගෙන සභා ගැබට ගොස් විරෝධය දක්වා තිබුණේය. එම විරෝධය අවසන් කළ මන්ත්‍රීවරු නැවත පැමිණියේ විපක්ෂ නායක කාර්යාලයටය.
‘‘ආණ්ඩුව මේ විදුලි ප්‍රශ්නයෙන් හොඳටම නාගෙන ඉන්නේ. එක පැත්තකින් ඩොලර් නෑ. අනික් පැත්තෙන් විදුලිය නෑ. පෙට්‍රල් නෑ. රටේ නිෂ්පාදනයත් මේ විදියට ගිහින් කඩාගෙන වැටෙනවා’’ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය.
මේ අතර ආණ්ඩු පක්ෂ හා විපක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ලොබියේදී අපූරු දසුනක් දැක ගත හැකිවිය.
ඒ සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ලොබියේ කතාබහ කරමින් සිටින අයුරුය. නායකයා පාර්ලිමේන්තු ලොබියේ අසුනක අසුන්ගෙන යම් රාජකාරියක නිරතව සිටියදී ඒ අසලට පැමිණි සජිත් ප්‍රේමදාස ඔහු සමඟ කෙටි පිළිසඳරක යෙදෙනු පසු පෙළ මන්ත්‍රීවරුනට දැකගත හැකිවිය.
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ද නායකයා හමුවූවේ ඉන්පසුවය. ඔවුන් රුසියා - යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසා තිබුණේය.
"සෝවියට් සමූහාණ්ඩුව බිහිවුණේ මොස්කව් කේන්ද්‍ර කරගෙන නොවෙයි. යුක්රේනයේ කිව් අගනුවර මූලික කරගෙනයි." නායකයා කියද්දී සැවොම පෙළ ගැසුණේ ඉතිහාසය ගැන නායකයාගෙන් කරුණු දැන ගැනීමටය. ඔහු ලෙනින් ස්විට්සර්ලන්තයේ සිට පැමිණි අවස්ථාවේ සිට සෝවියට් සමූහාණ්ඩුව බිහි වූ ආකාරය දක්වා කරුණු පැහැදිලි කළේ වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් ද කරුණු දක්වමිනි.
රාජපක්ෂවරුන් සමඟ රනිල් කතා කළේ මොනවාද ?
පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කතා බහ පැවැත්වෙද්දී පක්ෂ සභාපති වජිර අබේවර්ධන විමසා සිටියේ එදින පුවත් පතක නායකයා ගැන පළකර තිබු පුවතක් ගැනය. ඉන් කියැවුණේ ජනාධිපතිවරයා සමඟ නායකයා කතා බහක නිරත වන බවකි.
"මම මහින්ද රාජපක්ෂ හමුවෙලා කතා කළා. නාමල් රාජපක්ෂ හම්බ වෙලා කතා කළා. චමල් රාජපක්ෂත් හමුවෙලා කතා කළා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ නම් හමුවෙලා නෑ." නායකයා කියද්දී පිරිස මුහුණට මුහුණ බලාගත්තේය.
මතුගමදී දිනේෂ් මැතිනිගෙන් අහපු ප්‍රශ්නය
මහජන එක්සත් පෙරමුණේ, තරුණ සංවිධානයේ නියෝජිත සමුළුව පසුගිය ඉරිදා(20) මතුගම නගර ශාලාවේ පැවැත්වුෙණ් පක්ෂ නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයේ නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මෙන්ම පක්ෂයේ උප සභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන, රාජ්‍ය අමාත්‍ය, විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ලලිත් වර්ණකුමාර, මර්ජාන් ෆලීල්, සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවල්, ලලිත් එල්ලාවල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මීට සහභාගී වූහ.
ඉදිරි පෙළ අසුන් ගෙන සිටි තවත් විශේෂ අයෙකු කෙරෙහි ම.එ.පෙ. නායකයාගේ ඇස යොමුවිය. මතුගම නියෝජනය කළ සුවිශේෂ දේශපාලන චරිතයක් වූ අනිල් මුණසිංහගේ පුත් විනෝද් මුණසිංහ එහි අසුන් ගෙන සිටියේය.
" මේ අපි රැස්වෙලා ඉන්න, හැම පැත්තෙන් ම ආලෝකය එන, මතුගම මේ නගර ශාලාව විවෘත කරන එකට එදා අනිල් මුණසිංහගෙ ආරාධනයෙන් මම ආවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් ආවා. "
" දිනේෂ් කතාවක් කරන්න ඕනෙ" අනිල් කිව්වා.
" මම ඒක භාරගත්තෙ නැතිවුණාම, මැතිනිය කිව්වා, මට කතා කරන්න කියලා"
මම ඇහුවෙ එක දෙයයි, " මැතිනියනි, මෙච්චර පළපුරුදු, ජ්‍යෙෂ්ඨ අනිල් මුණසිංහව, මොකද නිශ්ශබ්ද කරලා, උප කථානායක පුටුවෙ වාඩිකරවලා තියෙන්නෙ ?"
මැතිනිය මහ හයියෙන් හිනාවෙලා කිව්වා, " ඒක නම් ඇත්ත තමයි" කියලා.
එජාපය එක්ක වජිර කරන්න යන්නේ මොනවාද ?
එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කාර්යාංශයේ විශේෂ සාකච්ඡාවක් නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
වජිර, රංගේ, අකිල, සාගල, ශමල් ඇතුළු මධ්‍යම කාර්යාංශයේ නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට සහභාගීව සිටි අතර ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ජනතාව බද්ධ කරගත් පුළුල් වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ලැබීය.
ඒ සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන අදහස් කිහිපයක් ද ඉදිරිපත් කරන ලදී.
මේ වනවිට දිනපතා සිදුකරන විදුලිය කප්පාදුව සහ ඉන්ධන, ගෑස්, කිරිපිටි, සිමෙන්ති ඇතුළු භාණ්ඩ හිඟකමත්, භාණ්ඩවල මිල ගණන් අධික ලෙස ඉහළ යාමත්, ආදායම් මාර්ග අහිමිවීමත් නිසා 1970-1977 යුගයටත් වඩා අමාරු යුගයකට රට තල්ලු වී ජනතාව දැඩි පීඩාවන්ට මුහුණ පා සිටින බැවින් ඒ තත්ත්වයෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා සත්‍යග්‍රහ, උපවාස, උද්ඝෝෂණ වැනි ක්‍රියාමාර්ග නුදුරේ සිටම ආරම්භ කිරීමට මෙහිදී තීරණය කළේය.
නාමල්ගේ මැදිහත්වීම මත ජපන් රැකියා අවස්ථා
ජාතික තරුණ සේවා සභාව දෙසට අද වන විට සමාජයේ ඇස් යොමුව ඇත්තේ ඉතිහාසයේ කවරදාකවත් නොවූ අයුරිනි.
ඒ අනෙකක් නිසා නොව නිර්මාණශීලි ක්‍රියාකාරකම් රැසක් ශ්‍රි ලාංකේය තාරුණ්‍යය උදෙසා අද දවසේ එතුළ සිදුකරනු ලබන බැවිනි .වත්මන් තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මෙන්ම තරුණ සේවා සභාපති දමිත වික්‍රමසිංහගේත් මූලිකම අරමුණ වී ඇත්තේ මෙරට තරුණ තරුණියන්ගේ හෙට දවස යහපත් කිරීම උදෙසා හැකි උපරීමයෙන්ම කටයුතු කිරීමය.
ජාතික තරුණ සේවා සභාව මෑතකාලීනව මෙරටට හදුන්වාදුන් තරුණ සංවර්ධන වැඩසටහන් අතර youth 2 world වැඩසටහනට හිමිවූයේ ප්‍රමුඛස්ථානයකි. මෙරට තරුණ තරුණියන්ට විදෙස් රටවල රැකියා වරම් හිමිකර දීම එහි මූලිකම අරමුණ විය.
ජපානයේ රැකියා අවස්ථා සඳහා මෙරට තරුණ තරුණියන් යොමුකිරීමේ අරමුණින් තරුණ සේවා සභාව පසුගිය දිනවල සාර්ථක පියවරක් තැබූ අතර ,ඒ යටතේ ශිෂ්‍යත්වයක් හිමිකරගත් මුල්ම රැකියාලාභියා අද හෙටම ජපානය බලා පිටත්ව යාමටද නියමිතය .මේ පිළිබඳව තොරතුරු කන වැකුණු සැණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සුපුරුදු පරිදිම තරුණ සේවා සභාපති දමිත වික්‍රමසිංහ ඇමැතුවේ වැඩසටහනට සුබපැතුම් එක්කරමින්ම එහි ඉදිරි කටයුතු සංවිධානය විය.
"සභාපතිතුමා...! ජපන් ජොබ්වලට ළමයි යවන වැඩේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක්.
මේක තව ඩිවලප් කරන්න පුළුවන් . ඊළඟ කණ්ඩායම විදියට ළමයි 500ක් යවන්න ලෑස්ති කරන්න. කොහොමහරි අවම වශයෙන් අවුරුද්දකට 10,000ක්වත් ජපානයේ ජොබ්වලට යවාගන්න පුළුවන් විදියේ වැඩසටහනක් හැදුවොත් මේක අතිසාර්ථක ප්‍රෝග්‍රෑම් එකක් වේවි ."යැයි සභාපති දමිත වික්‍රමසිංහ ඇමැතූ අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.