ඩුබායි හි දී වොලිබෝල් ජයක් | සිළුමිණ

ඩුබායි හි දී වොලිබෝල් ජයක්

 

‘ද වොලි ලයිෆ් ස්පෝර්ට්ස් ඇන්ඩ් සෝෂල් ක්ලබ්’ ප්‍රධාන සංවිධානයෙන් හා Nirmana Cargo ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන ලද ජිනදාස අනුස්මරණ කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ‘ද වොලි ලයිෆ්’ (The Volley Life) වොලිබෝල් කණ්ඩායම සමත් විය. තරගාවලිය එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවර පැවැත්විණි.

ශ්‍රී ලාංකික වොලිබෝල් කණ්ඩායමක් වන සත්කාරක ‘The Volley Life‘ කණ්ඩායම මෙන්ම ඉන්දියාව, නේපාලය හා පාකිස්තානය නියෝජනය කරමින් විදේශීය කණ්ඩායම් නවයක් මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගි වී තිබිණි.

ඉතාමත් තියුණු තරග වට කීපයකින් පසු ප්‍රබල ඉන්දියානු කණ්ඩායම සමඟ අවසන් මහා තරගය පැවැති අතර එහි අනෙක් කණ්ඩායම වූයේ ‘ද වොලි ලයිෆ්’ (The Volley Life) කණ්ඩායම යි.

එම අවසන් තරගයේ දී ශ්‍රී ලංකා වොලි ලයිෆ් කණ්ඩායම මුල් තරග වට 3 ම ජයග්‍රහණය කරමින් අතිවිශිෂ්ට ජයක් ලබාගත්තේ ය.

මෙම තරගාවලියේ දී හොඳම ප්‍රහාරකයා ලෙස ද වොලි ලයිෆ් කණ්ඩායමේ එම්. තුෂාර සම්මාන ලැබී ය. ඊට අමතරව මහේල ඉන්දීවර, බී. බුද්ධික, එල්. ප්‍රියංකර දැක්වූ දක්ෂතා කුසලතා සම්මාන මගින් ඇගයුමට ලක්කෙරිණි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පී. ප්‍රාදේව් හා එල්. ෆ්‍රාන් ද දැක්වූ දක්ෂතා කැපී පෙනිණි.

මෙම තරගාවලිය සඳහා මේශාන් දිසානායක නර්තන පාස‍ෙලන් සහ ලක්නද ගුවන්විදුලියෙන් ද සුවිශේෂී සහයෝගයක් හිමිව තිබිණි.

බන්ධුල ජයමාන්න

*********************

 

ධනුෂ්ක දසක හතරක් පැරණි දුර පැනීමේ වාර්තාවක් අලුත් කරයි

අමෙරිකාවේ පුහුණුවීම් හි නිරතව සිටින ධනුෂ්ක සඳරුවන් පසුගිය දා වසර 27ක් පැරණි ශ්‍රී ලංකා දුර පැනීමේ වාර්තාව බිඳ හෙළන්නට සමත් වූයේ ය. ඒ පසුගිය 21 වැනි දා කොලාරාඩෝ හි දී පැවැති මධ්‍යම අමෙරිකානු කලාපීය ප්‍රවීණයන්ගේ ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවට එක්වෙමිනි. එහි දී ඔහු පිරිමි දුර පැනීමේ ඉසව්ව ජය ගනිමින් මීටර් 7.82ක දක්ෂතාවයක් වාර්තා කළේ ය.

මීට පෙර පිරිමි ගෘහස්ථ දුරපැනීමේ ශ්‍රී ලංකා වාර්තාව 1995 දී බෙනී ප්‍රනාන්දු විසින් (මී. 7.75) තබා තිබිණි. 1994 වර්ෂයේ උපත ලබා ඇති ධනුෂ්ක බස්නාහිර පළාත නියෝජනය කරමින් මලල ක්‍රීඩාවට එක්වූ ක්‍රීඩකයෙකි. ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ඔහු උපන් ග්‍රාමය වන අතර පූර්ණ කාලීනව මලල ක්‍රීඩාව වෙනුවෙන් එක්ව සිටින්නෙකි.

ඔහු පළමු වරට ජාත්‍යන්තර වශයෙන් ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උලෙළ වෙනුවෙන් තරග වැදුණේ 2015 වසරේ දී දකුණු කොරියාවේ පැවැති තරගාවලිය වෙනුවෙනි. ඉන් අනතුරව චීන තායිපේ පැවැති ලෝක විශ්ව විද්‍යාල තරගාවලිය නියෝජනය කරන්නට ඔහුට අවස්ථාව උදාවුණේ 2017 වසරේ දී ය. එසේම ඊට පසු වසරේ දී කොරියානු විවෘත මලල ක්‍රීඩා ශූරතාව වෙනුවෙන් තරග වැදුණු ඔහු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී දුර පැනීමේ ඉසව්වෙන් ආසියාවේ සත්වැනි ස්ථානය දිනාගෙන ඇත. ඒ මීටර් 7.65 ක දුරක් පනිමිනි.

ජාතික යොවුන් ක්‍රීඩා උලෙළෙන් දේශීය තරග වල දී කැපී පෙනෙන දක්ෂතා පලකළ ඔහු මුල් වරට ජාතික දුර පැනීමේ රන් පදක්කම දිනාගත්තේ 2018 වසරේ දී පැවැති තේරීම් තරගයක දී ය. ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උපාධිදරයකු වන ඔහු තම උපරිම දක්ෂතාව වශයෙන් පැන ඇති වැඩිම දුර ප්‍රමාණය මී. 7.99 කි. මෙවර ක්‍රීඩා කවරය හැඩ කරන්නේ ඔහුගේ ඡායාරූපයකිනි.

 

 

Comments