
ජාතික ඔලිම්පික් කමිටුවට මම විශේෂයෙන් ස්තුති කරනවා
ශ්‍රී ලංකාවේ ජාතික දුර පැනීමේ ශූරිය ඇය ය. පසුගිය දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ ඇය හ ‘ක්‍රීඩා‘ පැවැත්වූ සංවාදයකි මේ.
සාරංගි ඔබ ගැන කවුරුත් දන්නවා වුණාට අපි නැවත ඔබ කවුද කියලාම සාකච්ඡාව ආරම්භ කරමු?
මම ලක්ෂිනී සාරංගි සිල්වා. මගේ වයස අවු.26 යි. මගේ තාත්තා යුද හමුදා නිලධාරියෙක්. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. මට සහෝදරයෙක් සිටිනවා. ඔහු ප්‍රමාණ සමීක්ෂකයෙක් වශයෙන් කටයුතු කරනවා.
ඔබ ඇයි දුර පැනීමේ ක්‍රීඩාවම තෝරා ගත්තේ ?
මගේ මව්පියෝ දෙන්නාම දුර පැනීමේ ක්‍රීඩාවේ දක්ෂයෝ. ඒ අයගේ ආභාසයත් ඒකට බලපාන්න ඇති.
ඔබ දුර පැනීම එක්ක සම්බන්ධ වුණේ මොනවගේ කාලෙකදි ද?
මම පාසල් යන කාලයේ තමයි. ඒ කියන්නේ අවුරුදු 10 සිට ම මම මේ ක්‍රීඩාවට අවතීර්ණ වුණා.
මොකක් ද ඔබේ පාසල?
මගේ පාසල පානදුර ශ්‍රී සුමංගල බාලිකාවය. මා පාසලේ වාර්ෂික මලල ක්‍රීඩා තරගවල දුර පැනීමෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන කොට්ඨාශ, කලාප , දිස්ත්‍රික්, ජාතික හා ජාත්‍යන්තර තරගවලින් ජයග්‍රහණය කිරීම තමයි මගේ මේ ගමනේ ඇරුඹුම. වයස අවු.11 න් පහළ කලාප තරග වලින් මම දුර පැනීමේ වාර්තාවක් පවා තියලා තියෙනවා. එම වාර්තාව තියද්දී මට දුරපනින්න අවශ්‍ය සපත්තු දෙකක්වත් තිබුණේ නෑ.
මෙතෙක් ආපු ගමන් මඟේ ලබාගත්තු ජයග්‍රහණ ගැනත් කතාකරන්න කැමතියි?
මුලින්ම 2012 වසරේ මෙරට පැවැත් වූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී මට පස්වැනියා වශයෙන් තරග ඉසව්ව අවසන් කරන්න හැකිවුණා. එවිට මට අවුරුදු 16 යි. 2013 මැලේසියා වේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ දී මා දුර පැනීමෙන් වගේම මීටර් 100 සහය දිවීමේ තරගයේ දී 2 වැනි ස්ථානය දිනාගත්තා. 2013 දී ඉන්දියාවේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ දී 3 වැනි ස්ථානයත්, මීටර් 100 සමූහ දිවීමේ තරගයෙන් පළමු ස්ථානයත් ලබාගත්තා. 2014 දී තායිපේ තිබූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේ දී මට පාදයේ ආබාධයක් ආවා. ඒ නිසා මට ලැබුණේ 07 වැනි ස්ථානයයි. 2015 දී උසස් පෙළ විභාගයට සහභාගි වුණු නිසා මම තරගවලට එක් වුණේ නෑ. 2016 දී ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී දුර පැනීමෙන් 03 වන ස්ථානය හිමිවුණා. 2017 දී බෘනායි හි පැවැති විවෘත බෘනායි මලල ක්‍රීඩා තරගාවලියේ දී දුර පැනීමේ තරගයෙන් හා මීටර් 100 දුර දිවීමේ තරගයෙන් පළමු ස්ථානය දිනුවා. 2019 තායිලන්තයේ පැවැති විවෘත ආසියානු මලල ක්‍රීඩා තරගාවලින් දුර පැනීමෙන් මම ලෝකඩ පදක්කම දිනාගත්තා. එම වසරේ දී ම ලෝක හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ දී ලෝකයෙන්ම සිව්වැනියා වශයෙන් මට ඉසව්ව අවසන් කරන්න හැකිවුණා. 2019 දී ම නේපාලයේ පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මා දුර පැනීමේ තරගයෙන් හා මීටර් 100 දිවීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තා.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ඔබ සුදුසුකම් සම්පූර්ණ කර තිබෙනවා ද?
දැනට මා පරිසාධන මට්ටම ඉක්මවා ගිහින් තියෙනවා. ඒ නිසා මට මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සහභාගි විය හැකියැයි සිතනවා.
ඔබේ පුහුණුකරු ගැනත් සිහිපත් කළ යුතුයි නේද?
සත්‍ය වශයෙන්ම. මගේ වර්තමාන පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතායි. මගේ පුහුණුකරු මට පියෙක් වගේ. ඔහු නිතරම උපදෙස් දෙන්නේ ක්‍රීඩාව දියුණු කරගෙන ශරීර සෞඛ්‍ය හොදින් පවත්වාගෙන යන්න කියලයි. ඔහු දක්ෂ පුහුණු කරුවෙක්. එසේම අපිට හැම වෙලාවෙම කියන්නේ ක්‍රීඩාව වගේම අධ්‍යාපනය වැඩි දියුණු කර ගන්න උත්සාහ කරන්න කියලයි. මට මගේ උපාධිය සම්පූර්ණ කර ගන්න හැකියාව ලැබුණා. මම වසර 07ක් තිස්සේ යුද හමුදාවේ ස්වේච්ජා සේවාවේ නිරත වෙනවා.
ඔබේ පුහුණුවීම් කොහොමද සිදුකරන්නේ?
මම ඉරිදා හැර සතියේ හැම දවසෙම පැය තුන බැගින් පුහුණු වෙනවා.
පවුලෙන් ලැබෙන සහයෝගය එහෙම කොහොම ද?
ඉතා විශිෂ්ටයි. මගේ මාපියන්ගේ දිරි ගැන්වීම මට මේ ක්‍රීඩාව වඩාත් සාර්ථක කරගන්න හේතුවෙලා තිබෙනවා.
ඔබත් ක්‍රීඩිකාවක් වශයෙන් සුවිශේෂී අපේක්ෂා ඇති. අපි ඒ ගැනත් කතාකරමු?
මගේ ලොකුම බලාපොරොත්තුව තමයි කොහොම හරි ඔලිම්පික් යන එක. ඊට අමතරව මගේ උපාධිය අවසන් නිසා පශ්චාත් උපාධියක් කරන්න බලාපොරොත්තුව ඉන්නවා.
යොවුන් ක්‍රීඩකයන්ට ඔබ ප්‍රවීණ ක්‍රීඩිකාවක් වශයෙන් ලබාදෙන උපදේශය මොකක් ද?
ක්‍රීඩාවෙන් තමයි මනුෂ්‍යයාගේ හික්මීම හැදෙන්නේ. එසේම පෞරුෂය ගොඩනැගෙන්නත් ක්‍රීඩාව අත්‍යවශ්‍යයි. ඒ නිසා හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම එක් ක්‍රීඩාවක නියැලිය යුතුයි.
ඔබගේ ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් ලැබෙන සහයෝගය සම්බන්ධයෙන් සතුටු ද?
ඇත්තටම ඔව්. අපිට ඉතා හොඳ සහයෝගයක් හිමිවෙනවා. වර්තමාන ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව දක්ෂ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගෙන් යුත් සුපිරි සංචිතයක් හදලා තියෙනවා. ඒ සංචිතයට මමත් අයිතියි. සංචිතයේ සිටින ක්‍රීඩකයකුට මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක් ලැබෙනවා.
ඔලිම්පික් කමිටුවේ සභාපති සුබ්‍රමනියම්, ලේකම් මැක්ස්වල් සිල්වා යන මහත්වරුන්ටත් මේ වෙලාවේ ස්තුති කරන්න ඕනැ. ඒ අය තමයි මාව වැඩිදුර පුහුණුවීම් සඳහා කටාර් දේශයට යැව්වේ. ඒ වගේම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයටත් යුද හමුදාපති ඇතුළු සැමටත් මා මේ වෙලාවේ ස්තුති කරනවා.