කිසිවක් කිසිවකුට හෙළි නොකළ යකඩ ගැහැනිය දිවි නසා ගත්තේ ඇයි? | සිළුමිණ

කිසිවක් කිසිවකුට හෙළි නොකළ යකඩ ගැහැනිය දිවි නසා ගත්තේ ඇයි?

 

‘අවුරුදු විසි තුනක් යනු ජීවිතයේ මනරම් වයසකි. අහස අල්ලන්නට තරම් බලාපොරොත්තු පොදි බඳින වයසකි. එහෙත් එවැනි වයසක දී ජීවිතය අතහැර යන්නට යමෙකුට සිතෙන්නේ නම්? ඊට ඉවහල්වන හේතු කාරණා බොහෝ තිබෙන්නට පිළිවන. එහෙත් ඇයට එවැනි අතහැරීමක් ගැන සිතුණේ පැහැදිලි හේතු කිසිවක් පෙනෙන්ට නොතිබියදී ය. එසේම හිටි අඩියේම ය. ඇය ජීවිතයෙන් එසේ පළාගියේ ඇයිදැයි දැන් බොස්ටන් සරසවිය විසින් සොයන්නට පටන් ගෙන තිබේ. ඊට අවශ්‍ය තොරතුරු පිරික්සුමට ඈ ඇගේ මොළය බොස්ටන් සරසවියට තිළිණ කර ඇත. එමෙන්ම ඇගේ මාපියන් එම සරසවියට මුල්‍ය ප්‍රතිපාදන සපයා ඇත්තේ එවැනි තත්ත්වයක් මින්මතු කිසිවකුටවත් ඇති නොවන්නට අවශ්‍ය පසුබිම සකසන්නැයි ඉල්ලමිනි. මේ ඒ කතාවය.‘

ඇයට සිදුවූ දේ සෙසු ක්‍රීඩකයන්ට සිදුනොවන්න අපි ඇයගේ මොළයෙන් පරීක්ෂණ පවත්වන්න බොස්ටන් සරසවියට කිව්වා කම්පනය නිසා ඇතිවන සංකූලතාවන්ගෙන් මිය යන්නේ කොහොම ද ? කෙලී කැට්ලින්ගේ පවුල වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරක් සෙවීමේ උත්සාහයක

‘විවිධ කම්පන හේතුවෙන් ඇතිවන මොළයේ රසායනික සංයුතියේ වෙනස්වීම් කරණ කොටගෙන ලොව පුරා දිවි නසාගන්නා පුද්ගලයන්ගේ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබේ.

මෙම තත්ත්වය දැන් දැන් ක්‍රීඩාව තුළින්ද මතුවෙන්නට පටන් ගෙන ඇත. පසුගිය කාලයේ අමෙරිකාවේ ධාවන පථ පාපැදි ක්‍රීඩාවේ ලෝක ශූරිය වූ කෙලී කැට්ලින් මෙලෙස දිවි හානි කරගත්තා ය. මේ ඒ සිදුවීම ඇසුරෙන් ලියැවුණු ලිපියකි.‘

2019 වසරේ ජනවාරි මාසයේ අපූරුවට ඉර පායා තිබූ දවසක සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ මුහුදු වෙරළ සමීපයේ කඳුවැටි සහිත පෙදෙසක පාපැදි තරගයක් නිමා කරන්නට සූදානම්ව තිබුණා. එදා තරගය පැවැත්වුණු මාර්ගයේ තරග අවසානය සටහන් කරන ජයග්‍රාහී රිබන් පටිය ඇද තිබුණේ කඳු මඟේ යම් බෑවුම් සහිත පෙදෙසක. මාර්ගයේ තාර කට්ටය දැඩිව වියැලී තිබුණේ ඒ සතියේ ඇද හැළුණු පළමු වර්ෂාවට තෙත් වූ මාර්ගය වියැලීමට ලක්කරමිනුයි. පාපැදි තරගයේ නිමාව සනිටුහන් කිරීමට එකිනෙකා පරයා අධිවේගයෙන් පැමිණෙන

තරගකාරියන් අතර විසිතුන් හැවිරිදි කෙලී කැට්ලිනුත් සිටියා. කැට්ලින් කියන්නේ ලෝක ධාවන පථ පාපැදි තරගාවලි තුනක් දිනූ ක්‍රීඩිකාවකට. ඇය 2016 වසරේ බ්‍රසීලයේ රියෝ නුවර දී ඔලිම්පික් රිදී පදක්කමකුත් දිනා ගත්තා.

බෑවුම් මඟ දිගේ පාපැදිය මෙහෙයවමින් සිටි කැට්ලින් අතින් එකවරම තම පාපැදියේ පාලනය ගිලිහුණා. ඈ විසිවී ගොස් කඳු මඟ මත ඇදවැටුණා. දූවිලි වලාවන්ගෙන් ඈ වැසී ගිය අතර පහළට රූටා වට කීපයක් පෙරැළී නිශ්චල වුණා.

එහෙත් ඈ යළි නැගී සිට පාපැදියට නැගී කෙසේ හෝ ජයග්‍රාහී සීමාව පසුකර යාමට සමත් වුණා. පසුව ඈ තම මවට දුරකථන ඇමැතුමක් දුන්නා.

‘ඈ ඒ සිද්ධිය මට කිව්වේ සිනහවෙමින්. ඒ ගැන ඇය ලොකුවට ගණන් ගත්තේ නෑ.‘ කැට්ලින් ගේ මව කැරොලින් එමොරි අදාළ අනතුර ගැන පසුව විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.

‘මම ඒක දැනගත්ත වෙලාවේ ඇගෙන් ඇහුවේ ඔයාගෙ හිස් ආවරණය පරික්ෂා කළා ද කියලයි. මොකද ඔළුවට අනතුරක් වෙන්න පිළිවන් නිසා.

එතකොට එයා කිව්වා ඒක හොඳින් තියෙනවා. ගැටලුවක් නෑ කියලා.‘ කැට්ලින්ගේ මව පවසා තිබුණේ එහෙමයි.

අනතුරෙන් පසු ඉතා ඉක්මනින්න ඇයට යම් යම් වේදනා මෙන්ම මානසික වික්ෂිප්ත භාවයක්ද දැනෙන්නට වුණා. ඊට මාස දෙකකට පසු කැට්ලින් දිවි හානි කරගෙන තිබුණා.

අනතුරු හේතුවෙන් ඇතිවන ක්ෂණික කම්පන පුද්ගලයන් තුළ ගොඩනගන කාංසාව නිසා සිය දිවි හානි කරගැනීමේ හැඟීම් ඇතිවන්නට හේතු සොයා බැලිය යුතුයැයි කැට්ලින්ගේ පවුලේ සැවොම තීරණයකට එළැඹුණා. ඒ තම දියණියට සියදිවි නසා ගැනීමට තරම් හේතුවක් නැතැයි ඔවුන් විශ්වාස කළ නිසයි. ඈ ක්‍රීඩාවන් කීපයකත් ජයගත් ක්‍රීඩිකාවක් මෙන්ම අධ්‍යාපනික වශයෙනුත් දක්ෂතා දැක් වූ තැනැත්තියක් වූ නිසා ඔවුන් ඒ මතය දැරුවා. කැට්ලින් කියන්නේ ආරම්භයේ දී දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවක්. ඈ පාපැදි ක්‍රීඩාවට එක්වුණේ පාපන්දු ක්‍රීඩාවේ දී ඇති වූ ආබාධිත තත්ත්වයන් සමහන් කර යෝග්‍යතාව වර්ධනය කරගනු රිසියෙනුයි. අවසානයේ ඇය පාපැදිය මතම නතර වුණා. ‘ඈ එහෙම තීරණයකට එළැඹුණේ මේ වගේ අනතුරට ලක්වන්න පතාගෙන ඇවිත් වගේ.‘ ඇගේ පියාවන මාර්ක් පවසනවා.

මෙම අනතුර සිදුවන කාලය වද්දී කැට්ලින් කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධිය හදාරමින් සිටියා.

‘අනතුරෙන් පස්සේ ඇයට විශාල හිසේ ඇම්මක් ඇතිවුණා. අධික ආලෝකය දරාගන්න අසීරු වුණා.‘ කැට්ලින් ගේ මව කැරොලින් පවසනවා.

‘අන්තිමට ඇය ඔලිම්පික් පුහුණු මධ්‍යස්ථානයට ගිහින් සියලු ස්කෑන් පරීක්ෂණ සිදුකරගත්තා. ඒත් කිසිම දරුණු සංකූලතාවයක් පෙන්නුවේ නෑ. ඔවුන් ඇයව සම්භාහන වලට යොමුකළේ ඇගේ කරකැවිලි ගතිය, ආලෝකට අධිසංවේදිතාවය හා හිසරදයට පිළියමක් වශයෙනුයි. ඇගේ ඇස්වලට පවා ව්‍යායාම ලබාදී තිබුණා.‘

ඈ මෙම අනතුරෙන් පස්සේ එක දිනක් හදිසියේ සිය දිවි හානිකරගැනීමට උත්සහ කර තිබුණා. එහෙත් වාසනාවට එය ව්‍යර්ථ වී තිබුණා. ‘පස්සේ එයා අපිට කිව්වා ආයෙත් ඒ වගේ දෙයක් නොකරන බව. ඒත් ඒ හැමදෙයක්ම වෙනස් වුණේ එක පාරටමයි.‘

රෝහලෙන් නිවසට ගිය කැට්ලින් දින කීපයකට පසු මියගොස් සිටියදී හමුවුණේ ස්ටැන්ෆෝර්ඩ් හි පිහිටි ඇගේ මහල් නිවාසයේ දී යි.

ඈ මෙලෙස සියදිවි නසාගෙන තිබුණේ මානසික අවපීඩන තත්ත්වය හා කාංසා රෝගී තත්ත්වයට ලක්වීමෙන් බවත් පශ්චාත් කම්පන රෝගී තත්ත්වය නිසා එය ඇතිවූ බවත් කම්පනයෙන් මිදීම සඳහා උපදෙස් අනුව කටයුතු කර සති කීපයක් විවේක ගත්තේ නම් යථා තත්ත්වයට පත්වීමට තිබූ බවත් ඇගේ පවුලේ සාමාජිකයන් තරයේ විශ්වාස කරනවා.

කැට්ලින්ගේ මරණයෙන් පසු වොෂිංටන් පෝස්ට් පුවත්පත ඇගේ දින පොත් ඇසුරු කරගනිමින් සම්පාදනය කළ ලිපියක එක් තැනක, ‘මම හඬන්නේ නෑ.‘ යනුවෙන් ලියූ ඇගේ දින සටහනක් උපුටා දක්වා තිබුණා.

ඉන් හැඟෙන්නේ ඈ කලක සිට අධික කාර්ය බහුලත්වය, දරාගැනීමට අසීරු තරම් වැඩකොටසක නියැලීම හේතුවෙන් මානසික සංකූලතාවයන්ට ගොදුරු වෙමින් සිට ඇති බවයි.

ඈ මියයාමට පෙර වෙලෝනිව්ස් වෙබ් අඩවියට පෝස්ටුවක් එක්කරමින් කියා තිබුණේ, ‘අපි ක්‍රීඩකයෝ වශයෙන් අපේ වේදනාවන් වගේම විඳවීම් කිසිදු පැමිණිලි කිරීමකින් තොරව දරාගන්න පුහුණු වෙලා ඉන්න කණ්ඩායමක්. මේ දැවීම් උපරිමයට ළඟාවුණාට පස්සේ එය අපිට හානි කරන්න පටන් ගන්නවා.‘ කියායි.

මේ සියලු තත්ත්ව යටතේ පුද්ගලකු මුහුණ දෙන අනතුරකින් මොළය ආශ්‍රිතව හටගන්නා කම්පන හා වෙනත් සංකූලතා කරණ කොටගෙන මරණයට පත්වීම පාලනය කිරීමට කෙලී කැට්ලින්ගේ මොළය යොදාගනිමින් පර්යේෂණ සිදුකරන ලෙස ඇගේ පවුල බොස්ටන් සරසවියෙන් මේ වනවිට ඉල්ලා තිබෙනවා.

‘ඈ ශක්තිමත් කාන්තාවක්. හැම උදේකම නැගිටිද්දී ඈ අපි එක්ක නෑ කියලා විශ්වාස කරන්න බෑ. දැන් අපිට ඕනෑ වෙන කෙනෙක් මෙවැනි තත්ත්වයකට පත්වන එක වළක්වන්නයි.‘

කැට්ලින්ගේ මව හා පියා පවසන්නේ බලාපොරොත්තු සහගතවයි.

 

Comments