
‘වේන් රූනි කියන්නේ කාලයක් ලෝකය තුළ මහත් ජනාදරයක් උරුම කරගත් පාපන්දු තාරුකාවකට. ඔහු ගේ නම නොකියවෙන දවසක් නැති තරමට රූනි ලෝකයේ ජනප්‍රිය වුණා. ඒත් ක්‍රීඩාවෙන් සමුගත් පසු රූනි තමන්ගේ ජීවිතයේ හිඩැස පුරවාගන්න තෝරාගත්තේ අමුතු ක්‍රමවේද කීපයක්. ඒ අතර දැඩි ලෙස මත්පැනට හා ස්ත්‍රී ඇසුරට වැටීම දක්නට ලැබුණා. සතුටින් පිරුණු රූනිගේ පවුල ඇතුළතට දුක කාන්දු වෙන්න පටන් ගත්තේ ඉන් අනතුරුවයි. මේ ඒ දුක යළි සතුටෙන් පුරවා ගන්න රූනි ක්‍රියා කළ ආකාරය ගැන කියවෙන ආකාරය.‘
වේන් රූනි කියන්නෙ එංගලන්තයෙන් බිහිවුණ අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. ඒ බව නොදන්න කෙනෙක් නැහැ. විටෙක එංගලන්ත පිලේ පෙර පෙළ ක්‍රීඩකයකු ලෙසත් විටෙක මැද පෙළ ක්‍රීඩකයකු ලෙසත් කණ්ඩායමේ අවශ්‍යතාව ඉටු කිරීමේ හැකියාව නොඅඩුව ඔහු සතුව තිබුණා.
යොවුන් ක්‍රීඩකයකු ලෙස 1996 වසරේ මතු වූ රූනි එතැන් සිට මැන්චෙස්ටර් යුනයිටඩ්, ඩී.සී. යුනයිටඩ්, ඩර්බි යන ක්‍රීඩා සමාජ ඔස්සේ වෘත්තීය පාපන්දු තරුවක් බවට පත්ව ජාතික පිල නියෝජනය කිරීමට ද වාසනාවන්ත වුණා.
අන්තර් ක්‍රීඩා සමාජ තරග 569 ක දී ගෝල 237 ක් වාර්තා කළ ඔහු අන්තර් ජාතික තරග 120 ක ට සහභාගී වී එහි දී ද ගෝල 53ක් වාර්තා කර තිබුණා.
මේ වන විට 36 හැවිරිදි වියේ පසු වන ඔහු ඩර්බි පාපන්දු කණ්ඩායමේ කළමනාකරුවායි. ඒ කියන්නේ ක්‍රීඩා පිටියෙන් සමුගත්තද පාපන්දු පරිපාලනයෙන්, පුහුණුකාරීත්වයෙන් සමුගන්න රූනි සූදානම් නෑ.
පාපන්දු ක්‍රීඩාව නිසා ලෝකයේම ආදරය දිනාගන්නට වේන් රූනිට හැකි වුවද ඔහුගේ ආදරය හිමි වූයේ කොලීන් මාරි මැක්ලොග්ලින් නමැති සුරූපී තරුණියකටයි.
වේන් හා කොලීන් අතර පළමු හමුවීම සිදුව ඇත්තේ 1998 වසරේ දී. නමුත් පෙම්වතුන් බවට පත්ව තිබුණේ 2002 වසරේ සිටයි. ඔවුන් අතර ගොඩනැඟුණු ආදරය විවාහයෙන් තහවුරු කරගෙන ඇත්තේ වසර හයක සබඳතාවයකින් පසු 2008 වසරේ දී යි.
ඒ වන විට රූනිගේ වයස අවුරුදු 23 ක් වූ අතර කොලීන් පසුවූයේ 22 හැවිරිදි වියේ යි. පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගෙන් අඩු-වක් නැති ඉතාලියේදී යුග දිවියට පිවිසි ඔවුන්ගේ මංගල ඡායාරූප බ්‍රිටේන් ඕකේ සඟරාවේ පළ කිරීම සඳහා ඔවුනට පවුම් මිලියන 2.5 ක් ම ගෙවා තිබුණා. එය එකල චේන් රූනිගේ වටිනාකම තහවුරු කළ කදිම සාක්ෂියක් වුණා.
රූනි පවුල දැන් සාමාජිකයන් හය දෙනෙකු බවට පත්ව අවසන්. ඔවුනට ඉන්නේ පිරිමි දරුවන්ම හතර දෙනෙක්.
කොලීන් මාරි කියන්නේ පාසලේදී ප්‍රසංග කලා විෂයෙන් කැපී පෙනුණ සිසුවියක්. ඒ නිසාම ඇය පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු වෘත්තීය ජීවිතයට එක්ව තිබුණේ ක්ලෝසර් සඟරාවට තීරු ලිපි ලියමිනුයි. ඒ අතරේ ඇය ඕකේ සඟරාවට විලාසිතා පුවත්ද සපයනු ලැබුවා. පසුව ඇය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක බවට පත් වුවත් ඒ අවස්-ථාව ඇයට හිමිව ඇත්තේ අහම්බයකිනි.
ඇයගේ බාල සොහොයුරියක එකල රෙට් සින්ඩ්‍රෝම් නමැති දුලභ රෝගයකින් පෙළුණා. ඒ පිළිබඳ ව ට්‍රෙවෝ මැක්ඩොනල්ඩ් මහතා සකස් කළ වාර්තාමය රූපවාහිනී වැඩසටහනකට සහය වීමට සිදුවූයේ කොලීන්ටයි. ඉන් අනතුරුව අයි.ටී.වී. රූපවාහිනියට සම්බන්ධ වූ ඇය ප්‍රසිද්ධියට පත්වූයේ සැබෑ කාන්තාව නමින් ඉදිරිපත් කළ වැඩසටහන ඔස්සේයි.
අද වන විට චේන් කොලීන් යුග දිවිය වසර 14 ක ආයු කාලයක් ගෙවා ඇතත් ඒ ආදර කතාව ඉදිරියට ඇදුණේ කටු පඳුරු හෙල් සහිත දුර්ග මාර්ගයක් ඔස්සේයි.
එවන් තත්ත්වයක් ඇති වී තිබුණේ එතෙක් ඔවුන් ගමන් කළ දිසාව චේන් රූනි විසින් වෙනස් කළ නිසායි.
පසුගිය පෙබරවාරි 11 වැනිදා ප්‍රයිම් වීඩියෝ වෙනුවෙන් සකසන ලද වාර්තාමය වැඩසටහනකට එක් වූ කොලීන් මාරී රූනි ගෙනහැර දක්වන ලද අදහස් ආදර ලෝකයක් සුනුවිසුනු වී යා නොදී රැක ගැනීමට බොහෝ සේ ප්‍රයෝජනවත්.
දරුවන් සිව්දෙනා ලැබීමෙන් පසු චේන් රූනිගේ රාත්‍රී කාලය වැඩි වශයෙන් ගෙවී ඇත්තේ රාත්‍රී සමාජශාලාවලටයි. නොගැළපෙන මිතුරන් වට කරගෙන බීමතින් රාත්‍රිය ගත කළ ඔහු බීමත්ව රිය පැදවීමේ චෝදනාවට දඬුවම් ලැබූ අවස්ථා රැසක් වාර්තා වුණා. ඉනුදු නොනැවතුණු චේන් ගණිකා ඇසුරට ද යොමු වී තිබුණා.
මේ නිසා රූනි යුවළගේ ආදර ලෝකය පළුඳු වෙන්නට පටන් ගෙන තිබූ බව නොරහසක්. ඔවුන් අතර නිතර නිතර අඬදබර ඇති වුණා. මෙම සිදුවීම් සඟවා තබාගන්නට නොහැකි වෙද්දී ඔවුන්ගේ රසිකයින්ගෙන් බොහෝ විට කොලීන්ට ලැබී තිබුණේ ඔහුගෙන් වෙන්වීම සඳහා උපදෙසුයි. එහෙත් ඇය සමීප වූයේ ඇගේ දෙමව්පියන් හා සමීපම හිතවතුන් ලබා දුන් උපදෙස්-වලටයි.
කවුරුන් හෝ මෙවැනි තත්ත්වයකට පත් වුවහොත් කළ යුත්තේ තමන්ට අවශ්‍ය සිතට එකඟ දේවල් මිස බාහිර පුද්ගලයන්ගේ උපදෙස් නොවෙයි. මම ඒ උපදෙස් පිළිපැද්දා නම් අද අපි දෙන්නා වෙන් වෙලා හුඟක් කල්.
අදාළ වැඩසටහනේ දී ඇය දක්වන ලද අදහස් සමුදායේ තිබුණේ මිල කළ නොහැකි වටිනාකමක්.
‘මම හැමවිටම පුරුදු වෙලා හිටියේ වැදගත් යැයි හිතෙන අයට සවන් දීමටයි. වැදගත් අය ගොඩක් මට හිටියේ නෑ. මගේ මව, පියා ළඟම හිතවතුන් ටික දෙනෙක් තමයි. ඔවුන් හැම විටම මාව ධනාත්මකව හිතන්න යොමු කළා.
අපට කරන් බැරි දෙයක් නෑ. බලමු අපට කරන්න පුළුවන් මොනවද කියලා. ඔයාට පුළුවන්. ඉවසලා ඉඳිමු.’
එවැනි උපදෙස් සමග අනුගත වුණු කොලීන්ට ඇගේ අරමුණු ඉටුකර ගැනීමට හැකි වී තිබුණි.
‘අපේ බැඳීම ආරක්ෂා කර ගැනීමට දරුවන් හතර දෙනා ද හේතුවක් වුණා. ඒ නිසා ඔහුගේ ද්‍රෝහිකම් මම ඉවසුවා. ඒත් පෙර තිබුණු ආදරය නම් නැවත මට ලැබුණේ නැහැ. කමක් නැහැ. ඒකෙන් මම ඔහු සමඟ ජීවත් වීමට ඉගෙන ගත්තා. ඔහු කරන ලද වැරදි කිසිවක් මම මොහොතකටවත් අනුමත කළේ නැතත් ඒ සියල්ලකට ම සමාව දුන්නා. අන්තිමේ ඔහු ඔහුගේ වැරැදි තේරුම් ගත්තා. ඒ නිසා එයා දැන් මම නැතිව සමාජයට යනවා නම් යන්නේ මගේ සොහොයුරා වූ ජෝ මැක්ලොගිත් එක්ක හරි, ළඟ ම හිතවතෙක් එක්ක විතරමයි. දැන් අපි ආයෙත් ආදරය කරන්න පටන් අරගෙන.’
මේ මෑතක දී රූනි යුවළ පවුම් මිලියන 20ක් වටිනා 17 වැනි සියවසේ ඉදිකරන ලද මිනි වර්සායිල්ස් නම් ප්‍රංශ මාලිගාව මිල දී ගෙන තිබුණේ ඒ බව තහවුරු කරමිනි.
අද වන විට ලොව ම සැමරූ ආදරවන්තයන්ගේ දිනය ගෙවී ගොස් තවමත් දින කීපයයි. එබැවින් කොලීන් රූනි විසින් ආදරවන්තයින්ට ලබා දුන් මේ වටිනා ආදර්ශය සුළු ප්‍රමාදයක් සහිතව හෝ ඉදිරිපත් කරන්නේ අප්‍රමාදව කටයුතු කිරීමට තවමත් ප්‍රමාද නැති නිසායි.