සාරංගී 43 | සිළුමිණ

සාරංගී 43

ජතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලියේදී දුර පැනීමේ කාන්තා ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළ සාරංගී සිල්වා 2021 වසරේ සිට මේ දක්වා ගෙවුණු කාලය තුළ වාර්තා වූ කාන්තා දුර පැනිමේ දක්ෂතා අතරින් ලොව 43 වැනි ස්ථානයේ රැදී සිටී. ඇගේ මෙම දක්ෂතාව සෘණ 1.4 ක සුළගේ වේගයක් මත වාර්තා වී තිබිණි.


උෂාන් අනු ශූරයා

අමෙරිකාවේ පුහුණුවීම් වල නිරතව සිටින ශ්‍රී ලංකාවේ උෂාන් තිවංක පසුගිය 13 වැනි දා පැවැති ගෘහස්ත තරගාවලියක අනු ශූරයා බවට පත්විණි.

ඒ මීටර් 2.25 ක දක්ෂතාවයක් වාර්තා කරමිනි. ටෙක්සාස් හී පැවැති මෙම තරගාවලිය උෂාන් සිය පාදයේ සිදුකළ ශල්‍යකර්මයෙන් අනතුරුව සහභාගි වූ පළමු තාරගාවලිය විය. තරගයේ ප්‍රථම ස්ථානය අමෙරිකාවේ ට්‍රේ කල්වර් දිනා ගත්තේ මීටර් 2.28 ක දක්ෂතාවයක් වාර්තා කරමිණි. උෂාන් පසුගිය වසරේදී මීටර් 2.25ක දක්ෂතාවක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටු විමටද සමත් විය.


කුළුඳුලේම අයි.සී.සී. දඬුවම ලංකාවට

අයි.සී.සී. ය විසින් මෙම වසරේදී කණ්ඩායමක් අඩු පන්දුවාර වේගයක් රදවා ගැනීම සඳහා හදුන්වා දුන් දඬුවම් ක්‍රමය යටතේ දඬුවම් හිමිකර ගත් පළමු කණ්ඩායම බවට පත්වීමට පසුගියදා ශ්‍රී ලංකාවට සිදුවිණි.

ඔස්ට්‍රේලියාව සමගින් අවසන් වූ දෙවැනි විස්සයි 20 තරගයේදී ඔස්ට්‍රේලියා ඉනිමේ අවසන් පන්දු වාරය වන විට ශ්‍රී ලංකාව ඉනිම නිමා කිරිමට නියමිත කාලයට වඩා වැඩිපුර වේලාවක් ගෙන තිබුණි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් පන්දු වාරය තුළ දී පිටියේ යාර 30 සීමාවට එපිටින් රැඳවීමට හැකි වූයේ ක්‍රීඩකයන් 04 ක් පමණි. අයි.සී.සී. පෙර නිතීයට අනවු අවසන් පන්දු වාරයේදී යාර 30 සිමාවට එපිටින් ක්‍රීඩකයන් 5 දෙනෙකු රැදැවිය හැකිය. නමුත් නව නීතිය අනුව තරග ආරම්භයේ සිට මිනිත්තු 85 ක් වන විට අවසන් පන්දුවාරය යැවිමට නොහැකි වුවහොත් අවසන් පන්දු වාරයේ දී යාර තිහෙන් එපිට රැඳවිය හැක්කේ ක්‍රීඩකයන් 4 දෙනෙකු පමණි.


ෆ්ලයිංවීල් පාපැදි ජය චාමරට

වත්තල ෆ්ලයිංවීල් පාපැදි සමාජය සංවිධානය කළ කිලෝමීටර් 128 ක් දුරැති නිදහස් උදාන ෆ්ලියිංවිල් පාපැදි සවාරියේ ජය යුද හමුදාව නියෝජනය කළ චාමර මධුෂාන් දිනාගත්තේ ය. දෙවැනි ස්ථානය කසුන් විශ්මික විසින්ද තෙවැනි ස්ථානය නිරාන් පසිඳු විසින්ද දිනාගැනීමට සමත් විය.


භානුක රාජපක්ෂ යෝග්‍යතාව සමත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කලකට පෙර පැවැත්වූ යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ භානුක රාජපක්ෂ පසුගියදා කිලෝමීටර් දෙකක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක් වෙමින් එය විනාඩි 8 තත්පර 35 කින් නිම කරමින් ඉන් සමත්විය. ජාත්‍යන්තර තරග සඳහා තෝරා ගැනීමේ දී කිලෝ මීටර් 2 ක දුරක් ධාවනය කළ යුත්තේ විනාඩි 8 තත්ත්පර 35 ක් තුළය. මේ අනුව එළඹෙන ඉන්දීය ක්‍රිකට් සංචාරය වෙනුවෙන් ඔහු එක්වීමට නියමිතය.


පාසල් පාපන්දුවත් ‘බිග් මැච්‘ සූදානමක්

ජනප්‍රිය හා ප්‍රධාන පෙළේ ජාතික පාසල් වල සහභාගීත්වය ඇතිව පාසල් පාපන්දු මහ තරග 30 ක් ලබන අප්‍රේල් මාසයේ ආරම්භ කිරිමට සැලැසුම් සකස් කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අනුග්‍රාහකත්වය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ හා පාසල් පාපන්දු සංගමය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කෙරේන අතර පාපන්දු ක්‍රීඩාවට පාසල් මට්ටමේ ජනප්‍රිය කිරිමට හා තව දුරටත් උනන්දු කිරිම උදෙසා මෙම තරගාවලිය අරම්භ කෙරේ.


දැල්පන්දුවේ නිල කාලය වසර දෙකයි

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයකින් පත් වන විධායක සභාවක නිල කාලය වසර දෙකක් ලෙස සංශෝධනය විණි. පසුගියදා මධ්‍යම කමිටු රැස්වීමකට ගෙනා යොජනාවකට අනුව එය සම්මත වී තිබේ. මෙතෙක් දැල්පන්දු සම්මේලනයේ නිල වරණයකින් පත්වන විධායක සභාවක නිල කාලය වසරකට සිමාවී තිබුණි.


බොක්සිං පුහුණුවටත් යෝග්‍යතාවක්

බොක්සිං පුහුණුකරුවන් සඳහා යෝග්‍යතා පාඨමාලාවක් ලබන මාර්තු මාසයේ දී පැවැත්විමට ශ්‍රී ලංකා බොක්සිං පුහුණුකරුවන්ගේ සංගමය කටයුතු යොදැ ඇත. දින 10 ක මෙම පුහුණු පාඨමාලාව සූම් තාක්ෂණය ඔස්සේ මෙහෙයවන්නේ දකුණු ආසියානු ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරවින්ද විජේමාන්න මහතා විසිනි. මෙම පාඨමාලාව අවසන ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන සහතික පත්‍රයක් පිරිනැමීමට නියමිතය.

Comments