ශීත ඔලිම්පික් හිම පියලි මත වැලන්ටයින් දිනයේ සදාදර සැමරුම | Page 2 | සිළුමිණ

ශීත ඔලිම්පික් හිම පියලි මත වැලන්ටයින් දිනයේ සදාදර සැමරුම

මැග්නස් නෙදර්ගොට්න් සහ ක්‍රිස්ටින් මොයින්

ටිම් කොලෙටෝ සහ මිසාටෝ කොමට්සුබාරා

මැඩිසන් චෝක් සහ ඉවාන් බේට්ස්

කොරනේලිස් ක්‍රිස්ටන් සහ එල්ලියා සේමෙඩින්

 ෂුසානා පාවුලෝවා සහ තෝමස් පෝල්

ලොව පුරා කෝටි සංඛ්‍යාත පෙම්වතුන් සහ පෙම්වතියන් පිරිසක් පසුගිය 14 වැනිදා පෙම්වතුන්ගේ දිනය සමරනු ලැබූහ. ආදර උද්‍යාන, නිවාඩු නිකේතන, වෙරළ උද්‍යාන ආදිය එදින පෙම්බර පෙම්බරියන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. ඉහත කී තැන් ප්‍රේමය සමරන සුලබ ස්ථාන වුවත් එක්තරා සුවිශේෂී කණ්ඩායමකට සිය ප්‍රේමය විශේෂ වූ ස්ථානයක සමරන්නට අවස්ථාව පසුගියදා උදා විය. එම කණ්ඩායමට හැර ලොව අන් කිසිවකුටත් එම විශේෂිත ස්ථානයෙහි පෙම්වතුන්ගේ දිනය සමරන්නට නොලැබුණු බව නම් සැබෑ ය. චීනයේ බීජිං නුවර ශීත ඔලිම්පික් ගම්මානය එම සුවිශේෂී ස්ථානය යි.

 

මෙවර ශීත ඔලිම්පික් උලෙළ උණුසුම් කළේ ලෝක පෙම්වතුන්ගේ දිනයේ දී ය. ඒ මෙවර තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ප්‍රේමණීය යුවළ කිහිපයක්ම ඔලිම්පික් ගම්මානයේ රැඳී සිටි හෙයිනි. එය ඔවුන්ට සුවිශේෂී අත්දැකීමක් මෙන් ම කිසිදා නොපැතූ අත්දැකීමක් වූයේ ය. එලෙස ශීත ඔලිම්පික් ගම්මානයේ සිට පෙම්වතුන්ගේ දිනය සැමරූවන් අතර එක්සත් රාජධානිය නියෝජනය කළ කොරනේලිස් ක්‍රිස්ටන් සහ එල්ලියා සේමෙඩින් යුවල, නෝර්වේ රාජ්‍යයේ ඇලෙක්සැන්ඩර් කිල්ඩේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ මිකේලියා ෂිෆ්රින් යුවළ, රෙඩ් ජෙරාඩ් සහ හෙයිලි ලෑන්ග්ලෑන්ඩ්, ජස්ටින් ෂෝනෙෆෙල්ඩ්, ඇෂ්ලි ක්ලැඩ්වෙල් යුවළ, බෙල්ජියමේ කිම් මයිල්මන්ස් සහ බ්‍රසීලයේ නිකෝල් සිල්වේරියා යුවළ, නෝර්වේ රාජ්‍යෙය් මැග්නස් නෙදර්ගොට්න් සහ ක්‍රිස්ටින් මොයින් යුවළ, චෙක් ජනරජයේ ෂුසානා පාවුලෝවා සහ තෝමස් පෝල් යුවළ, කැනඩාවේ රයන් සෝමර් සහ බ්ලයාරේ ටර්න්බුල් යුවළ, ජපානයේ ටිම් කොලෙටෝ සහ මිසාටෝ කොමට්සුබාරා යුවළ, ස්පාඤ්ඤයේ ඒඩ්‍රියන් ඩයස් සහ අමෙරිකාවේ මැඩිසන් හබල් යුවළ, කැනඩාවේ මාරි මිචෙල් ගැන්ගොන් සහ ට්‍රාවිස් ගැන්ගොන් යුවළ,‍ අමෙරිකාවේ එමිලි ස්විනි සහ ඉතාලියේ ඩොමිනික් ෆ්ෂ්නලර්, අ‍මෙරිකාවේ මැඩිසන් චෝක් සහ ඉවාන් බේට්ස් යුවළ ඇතුළු යුවළ රාශියක් චීනයේ ශීත ඔලිම්පික් ගම්මානය තුළ දී පෙම්වතුන්ගේ දිනය සැමරූහ. ඔවුන්ගෙන් ඇතැමෙක් සිය වැලන්ටයින් සැමරුම උත්කර්ෂයෙන් සැමරූ නමුත් සමහරෙක් හට වැලන්ටයින් සැමරීමට තබා එකිනෙකා දැක ගැනීමටවත් වරම් හිමිවූයේ නැත. ඒ ඔවුනට ඔලිම්පික් කමිටුව මගින් සම්බාධක පනවා තිබීම හේතුවෙණි.

එංගලන්ත ජාතික හිම මත ලිස්සා යෑමේ ශූරයින් වන කොරෙනේලිස් ක්‍රිස්ටන් සහ එල්ලියා සේමඩින් පෙම්වතුන්ගේ දින සැමරුම පිළිබඳ ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. “ඔලිම්පික් ගම්මානයේ පෙම්වතුන්ගේ දිනය සමරන්න ප්‍රමානවත් මුදලක් මේ මොහොතේ අපි ළඟ නෑ. අපි ඉන්නෙත් ආරක්ෂිත ජෛව බුබුළක. ඒ නිසා අපි ඔලිම්පික් ගම්මානයේ තිබෙන අවන්හලකදී පෙම්වතුන්ගේ දිනය සමරනවා.“

නමුත් නෝර්වේහි ඇලෙක්සැන්ඩර් කිල්ඩේ සහ අමෙරිකාවේ මිකේලියා ෂිෆ්රින් හට ඔලිම්පික් ගම්මානය තුළ එක්ව හිඳිමින් වැලන්ටයින් සමරන්නට අවස්ථාව සැලසුණේ නැත. ඒ ඔවුන් දෙදෙනා රටවල් දෙකක් නියෝජනය කරමින් ඔලිම්පික් උලෙළට සහභාගී වූ නිසා ය. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජෛව බුබුළු සංකල්පය අනුව රටරටවල කණ්ඩායම් වෙන් වෙන්ව තැබීමට ඔලිම්පික් කමිටුව ගෙන ඇති තීරණය නිසා ඔවුන් දෙදෙනාට වැලන්ටයින් එක්ව එක මේසයක හෝ බංකුවක හිඳ සමරන්නට අවකාශය ලැබුණේ නැත.

"එය විසුළුවක්, මම ඇයව දකිනවා. නමුත් මා හට ඇයව සිප ගන්නට තබා ස්පර්ශ කරන්නවත් බැහැ, ඇත්තටම ඇය සමඟ මොහොතක් හෝ ගත කරන්නට මට අවකාශයක් නැහැ. නමුත් ඇය මෙහි සිටීම, වරින් වර දුරින් සිට හෝ ඇයව දැක ගැනීම ගැන මා හට තියෙන්නේ සතුටක්" ඇලෙක්සැන්ඩර් එසේ පවසා සිටියේ ය.

බෙල්ජියම සහ බ්‍රසීලය නියෝජනය කරමින් ශීත ඔලිම්පික් උලෙළට සහභාගී වූ කිම් මයිල්මන්ස් සහ නිකෝල් සිල්වේරියා යුවළට අත් වූයේ ද කිල්ඩේ සහ ෂිෆ්රින්ට අත් වූ ඉරණමයි. ස්පාඤ්ඤයේ ඒඩ්‍රියන් ඩයස් සහ අමෙරිකාවේ මැඩිසන් හබල් හටත් කැනඩාවේ මාරි මිචෙල් ගැන්ගොන් සහ අමෙරිකාවේ ට්‍රාවිස් ගැන්ගොන් හටත් මෙන් ම අමෙරිකාවේ එමිලි ස්විනි සහ ඉතාලියේ ඩොමිනික් ෆ්ෂ්නලර් යුවළටත් ඔලිම්පික් කමිටුවේ ආරක්ෂිත පියවර නිසා ඔවුන්ගේ වැලන්ටයින් සැමරුම දුරකථන ඇමතුමක් හරහා සිදු කෙරෙන සුබ පැතුම් පණිවිඩයකට සීමා විය.

කෙසේ නමුත් කොවිඩ් වසංගත තත්ත්වයට පෙර වසරවල වැලන්ටයින් දිනයෙහි පැවැත්වුණු ක්‍රීඩා තරගයන්හි අපූරු වූ සුවිශේෂී සිදුවීම් රාශියක් ම සිදු වී ඇත. ඒ අතර ක්‍රීඩාංගණ තුළ ක්‍රීඩකයන් අතර සිදුවන සිප ගැනීම්, ක්‍රීඩාගාර තුළ ප්‍රේක්ෂකයන් විසින් සිය පෙම්වතාට හෝ පෙම්වතියට ආදරය ප්‍රකාශ කිරීම්, ප්‍රසිද්ධ පුද්ගලයන් සිප ගැනීම් ආදිය කැපී පෙනේ.

පසිඳු මිහිරාන් රැටියල

Comments