පරාජ සාධාරණය කිරීම නිෂ්ළුල ක්‍රියාවකි | Page 2 | සිළුමිණ

පරාජ සාධාරණය කිරීම නිෂ්ළුල ක්‍රියාවකි

ඕනෑම පුද්ගලයකු අතින් වැරදීම් සිදුවීමට ඉඩ තිබේ. බොහෝ විට වැරදි සිදුවන්නේ භාවාතිශ කරණකොට ගෙන ය. එය ඕනෑම ක්ෂේත්‍රයක තීන්දු තීරණ ගැනීමේ දී සාධාරණ කාරණයකි.

ක්‍රීඩාව පාර්ශ්වයෙන් බලන කල අධික උද්යෝගය එලෙස බොහෝ දෙනෙකුගේ මඟ වරදවන්නේ ය. එය එසේ වන්නේ තමන් කරමින් සිටි ප්‍රධාන කාර්යය අමතක කරවන්නට තරම් උද්යෝගය ඉවහල් වන්නට ඉඩ ඇති බැවිණි.

පසුගිය දා ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අත්දකින්නට සිදුවුණේ එවැන්නකි. ඒ සිදුවීමට මැදි වුණේ වඩාත් පළපුරුදු ජාත්‍යන්තර විනිසුරුවයකු වූ රොඩ් ටකර් ය. ඔහු ප්‍රධාන විනිසුරු වශයෙන් කටයුතු කළ අවසන් පන්දුවාරයේ දී පිට පන්දුවක් ලෙස සටහන් කළ යුතුව තිබූ පන්දුවකට එලෙස සංඥා නොකිරීමත් සමඟ තරග ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් විණි.

පසුව සුපිරි පන්දුවාරය දක්වා ඇදුණු එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය ලැබීමට සිදුවිය. තරග විස්තර විචාරයේ යෙදී සිටි කීපදෙනෙක් විසින්ම ටකර්ගේ විනිශ්චය විවේචනයට ලක්කරනු දක්නට ලැබිණි. කෙසේ නමුත් ක්‍රීඩාවේ දී එවැනි අත්වැරදීම් සිදුවීම අපේක්ෂා කරන්නට සිදුවන බව අප තේරුම් ගත යුතු ව ඇත. ඊට ප්‍රබලවම ඉවහල් වනුයේ තරග විනිශ්චයේ යෙදෙන බොහෝ දෙනෙක් මනුෂ්‍යයන් වන හෙයිනි.

එහෙත් මෙම පිට පන්දුව සංඥා නොකිරීමේ සිද්ධිය දිගු දුර ඇදී ගියේ එය සංඥා නොකළ විනිසුරු ටකර් ගේ මව්බිම ඔස්ට්‍රේලියාව වන හෙයිනි. එය එසේ වූවායැයි කියා

ඔහු පක්ෂග්‍රාහි තීන්දුවකට එළැඹි-යායැයි අවි අමෝරා ගන්නට කිසි-වකුටත් නොහැකි ය. ඒ රොඩ් ටකර් යනු අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය විසින් බඳවාගෙන සිටින වෘත්තීය තරග විනිසුරුවරයන් ගෙන් අයෙක් වන හෙයිනි. අයි.සී.සී. විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් අතින් විනිශ්චයේ දෝෂ මතු නොවන්නේ යැයි කියන්නට මෙහි දී අපි උත්සහ කරන්නේ නැත. එහෙත් ඔවුන් බොහෝ සෙයින් සිය වෘත්තීය භාවය ආරක්ෂා කර ගැනීමේ අභිමතයෙන් පෙළෙන්නෝ වන හෙයින් වැරදි සිදුවිය හැකි අවස්ථා අවම කර ගැනීමට ඇති ප්‍රස්ථාවන් අධික ය.

ඒ මන්දයත් ජාත්‍යන්තර තරගයක ඔවුන් ලබා දෙන විනිශ්චය නිර-තුරුව ඇගයීමට ලක්වන හෙයිනි.මේ හේතුවෙන් තමන්ගේ රටට පක්ෂග්‍රාහී වන්නෙම් යැයි කියා හිතුමතයේ තීන්දු තීරණ ලබාදීම විනිසුරුවන්ට ද අසීරු ය. එසේ පක්ෂග්‍රාහී ලෙස තීන්දු තීරණ ලබා දෙන්නේ නම් සිදුවනුයේ අයි.සී.සී. විනිසුරු මඬුල්ලෙන් ගැලවී යාමට ය.

එහෙයින් රට වෙනුවෙන් පක්ෂ-ග්‍රාහී වන්නට ගොස් තමන්ගේ පට්ටම ගලවා ගන්නට කිසිවෙක් කැමති වන්නේ නැත. එහෙයින් ඔවුහු බොහෝ විට දෙන්නේ මධ්‍යස්ථ තීන්දු පමණය.

මේ අනුව බලන කල පසුගිය සති අන්තයේ රොඩ් ටකර් ලබා දුන් පිට පන්දු තීන්දුව හිතාමතා සිදු-කරන ලද එකකැයි කියන්නට බැරිය. එහෙත් එය අප පෙර කිව්වාක් මෙන් අධික උද්යෝගය හේතුවෙන් ඔහු අතින් ගිලිහී ගිය තීන්දුවක් යැයි එය නම් කරන්නට අපට පිළිවන.

විනිසුරු තීරණ දෙස බල ජයග්‍රහණයන්, පරාජයන් හෑල්ලු කරනවාට වඩා කණ්ඩායමක් වශයෙන් තවදුරටත් සංවිධානය වන්නේ නම් හා සැලසුම් සහගත වන්නේ නම් ජයග්‍රහණ අත්පත් කර ගැනීම අසීරු නැත. එහෙයින් සිදුවිය යුත්තේ හැකි තාක් විධිමත් ආකාරයකින් ජයග්‍රහණය ඉලක්ක කර ගනිමින් කටයුතු කිරීම ය. එසේ නොමැතිව පරාජයට හේතුවන විවිධ කාරණා ඉදිරිපත් කරමින් පරාජය සාධාරණීකරණය කර ගැනීමට උත්සුක වීම නොවේ.

Comments