පරම්පරාගතව ඇවිළෙන රොනාල්ඩෝ - මෙසී සටන | සිළුමිණ

පරම්පරාගතව ඇවිළෙන රොනාල්ඩෝ - මෙසී සටන

‘දැන් රොනාල්ඩෝ හා මෙසී සටන පරම්පරාගත සටනක් වී අවසන් ය. එය කවදා කෙලෙස කවුරුන්ට ජය හිමි කර දෙමින් විසඳෙන්නේ ද යන්න කියන්නට නොහැකි ය. මේ ඒ පරම්පරා ඇවිලීම සම්බන්ධව ලියැවුණු විශේෂාංගයකි.’

කනිෂ්ඨ රොනාල්ඩෝ ද කනිෂ්ඨ මෙසී ද වඩා දක්ෂ?

 

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලියොනොල් මෙසී ගැන ලෝකයේ නොදන්නා කෙනෙක් නැත. බොහෝ දෙනෙක් ඔවුන් රුවෙන් පවා හඳුනති. රොනාල්ඩෝ ඉපැදුණේ පෘතුගාලයේ ය. ඒ 1985 පෙබරවාරි 5 වැනි දා මැඩෙයිරා හි දී ය.

ලියොනොල් මෙසී 1987 ජුනි 24 වැනි දා ආර්ජන්ටිනාවේ රොසියරියෝ හි ඉපැදුණේ ය.

රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාව සමඟ සම්බන්ධ වන විට වයස යන්තමින් අවුරුදු 8 කි.

මෙසී ක්‍රීඩාවට අත්පොත් තබා ඇත්තේ වයස අවුරුදු 5 දී ය.

දෙදෙනා දෙතැනක උපත ලැබූව ද එක ම එක දෙයකට වාසනාව මිටින් ගෙන ආ නිසා නොබෝ කලකින් ඔවුහු පාපන්දු නම් ක්‍රීඩාවේ කිරුළු පලන් රජවරුන් බවට පත් වූහ. එකිනෙකට වෙනස් මහාද්වීප දෙකක ඉපිද ඔවුන් මෙම යුගයේ පාපන්දු ක්‍රීඩාව පාලනය කරන අසිරිමත් ම ක්‍රීඩකයන් දෙදෙනා වීම සැබැවින්ම දෛවෝපගත ය.

ඕනෑ ම ඇරැඹූ දෙයක් අවසන් වීමට ද කාලයක් තිබේ. ඒ අනුව දැන් තම ජීවිතයේ තෙවැනි දසකයේ මැද භාගයේ වෙසෙන මේ අපූරු ක්‍රීඩකයන් දෙදෙනා තවත් වසර කීපයක් ඇවෑමෙන් පාපන්දු ක්‍රීඩාවෙන් සදහට ම සමුගෙන යෑමට නියමිත ය. ඒ සම්බන්ධව ලොව පුරා පාපන්දු ලෝලීන් තුළ ඇත්තේ දැඩි කනගාටුවකි.

එහෙත් දැන් එම කනගාටුව වෙනස් කරවන ප්‍රවෘත්තිවලින් රොනාල්ඩෝ හා මෙසීගේ පාපන්දු ජීවිත හැඩ වෙමින් ඇත.

මොනවද මේ සුබ පණිවුඩ

පසුගිය දා ඉන්ස්ටර්ග්‍රෑම් හා විවිධ සමාජ ජාලා වෙබ් අඩවි තුළ අපූරු ඡායාරූපයක් පළව තිබුණේ ය. ඒ පිළිබඳ විස්තර කිරීමෙන් මෙම සුබ පණිවුඩය ගැන මූලික ව අදහසක් ලබා ගැනීමට පිළිවන. ඒ ඡායාරූපයේ දැක්වුණේ කනිෂ්ඨ ක්‍රිස්ටියානෝ යනුවෙන් හැඳින්වෙන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ එකළොස් වියැති පුතු අංක හත පිටුපස සලකුණු කළ රතු පැහැති මැන්චෙස්ටර් යුනයිටඩ් ටී ෂර්ටයක් ප්‍රදර්ශනය කරමින් සිටීම ය. ඉන් හැඟවුණේ ඔහු එම ක්‍රීඩා සමාජයේ යොවුන් කණ්ඩායම සමඟ ගිවිසුම්-

ගතව ඇති බවයි. එම ඡායාරූපයේ පසෙකින් තම කුඩම්මා ද වන ජෝර්ජිනා රොඩ්රිගස් වූවා ය. ඈ ඒ ඡායාරූපය ඇගේ ඉන්සටර්ග්‍රෑම් අඩවියට එක්කරමින් මෙවැනි සටහනක් තබා තිබිණි.

‘පවුලේ සිහින සැම විට ම එකට යා වෙනවා. අම්මා වශයෙන් මට ඒ ගැන අතිශය සතුටුයි.’ යැයි පවසමිනි.

ඇය තම පියාගේ පෙම්වතිය පම-ණක් නොව අනාගතයේ තවත් අර්ධ සහෝදරයකුගේ හෝ සහෝදරියකගේ මවක වීමට නියමිතව ඇත්තේ ඈ ගැබ් ගෙන සිටින හෙයිනි. කනිෂ්ඨ ක්‍රිස්ටියානෝ මේ වන විට ලෝ ප්‍රකට ක්‍රීඩා ඇඟලුම් සන්නාමයක් වන නයිකි හා ගිවිසුම්ගතව තිබේ.

දැනටමත් යොවුන් පාපන්දු ලෝකය තුළ ඔහු දක්වන දක්ෂතා හේතුවෙන් විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් කනිෂ්ඨ ක්‍රිස්ටියානෝ වටා එක්වෙමින් ඇත. මේ වන විට ඔහු වෙනුවෙන් නිල ඉන්ස්ටර්ග්‍රෑම් අඩවියක් පවා නිර්මාණය වී ඇත්තේ එහෙයිනි.

ඊට පෙර ඔහු ජුවෙන්ටස් පාපන්දු ඇකඩමියට එක්ව ක්‍රීඩා කර ඇති අතර, තරග 23 කට ක්‍රීඩා කරමින් ගෝල 58 ක් රැස් කර තිබිණි. තවත් ගෝල 17 ක් රැස්කිරීම සඳහා ඔහු එම ඇකඩමි කණ්ඩායමේ සෙසු සගයන්ට සහය වී ඇතැයි ඔහුගේ තරග වාර්තා පිරික්සද්දී සොයාගත හැකිය.

මේ අතර තම පුතු හා පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසන්නේ මෙවැනි අදහසකි.

‘මගේ පුතාට විශිෂ්ට පාපන්දු ක්‍රීඩ-කයෙක් වෙන්න පුළුවන් හැකියාවක් තියේද කියලා බලාගෙන ඉම්මු. හැබැයි විශිෂ්ටයෙක් වෙන්න නම් ඔහු කාරණා කීපයක් ශක්තිමත් කරගත යුතුයි. ක්‍රීඩාවේදී වගේම ජීවිතයේ දී වේගය වගේම උස් පහත්වීම් සඳහා හුරු වෙන්න ඕනෑ. මම හැම වෙලාවේ ම ඔහුට කියන්නේ සාර්ථක වෙන්න නම් කැපවීමෙන් වැඩ කරන්න උවමනායි කියලයි.’

පසුගිය කාලයේ ආර්ජන්ටිනානු පාපන්දු තරුව වන ලියෝ මෙසී කීවේ තමන්ගේ පුතුන් පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ වන්නේ යැයි තමන් කිසි විටෙකත් නොසිතන බවය. එහෙත් දැන් එය ඔහු සිදු කළ පැරැණි කතාව-

ක්වී අවසන් ය. තම පුතුන් දෙදෙනා දැනට පී.එස්.ජී. නැතහොත් පැරිස් සෙන්ට් ජර්මෙන් නමැති ප්‍රංශ පාප-න්දු සමාජ ඇකඩමියට ඇතුළත් කිරී-මට ද ලියෝ ක්‍රියා කර තිබෙන්නේ රොනාල්ඩෝ අනුව ම යමිනි.

එසේම පසුගිය කාලයේ ග්‍රීෂ්ම සෘතු නිවාඩුව ගත කරමින් සිටිය දී මෙසී හා තියාගෝ මෙසී මෙන්ම මාටියෝ මෙසී ද පාපන්දු ක්‍රීඩාවේ නියැළෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ සංසරණය වෙමින් තිබිණි. ‘තියාගෝ තම පියාගෙන් තවත්

බොහෝ දේ උගත යුතුයි.’ එම වීඩියෝව නැරඹූ ඇතැමුන් පවසා තිබුණේ ය.

රොනාල්ඩෝ හා මෙසී ගේ සමානතා

මෙම රොනාල්ඩෝ හා මෙසී සටන තවත් අපූරු ආකාරයකින් පරම්පරාගත වන්නේ ඔවුන් දෙදෙනා අතර පවතින වයස් පරතරයම දරුවන් අතර ද පවත්වාගෙන යෑම නිසා ය. මේ විශි-ෂ්ටයන් දෙදෙනාගේ වයස් පරතරය දින 869 කි. කනිෂ්ඨ ක්‍රිස්ටියානෝ ඉපැදී ඇත්තේ 2010 වසරේ ජුනි 17 වැනිදා ය. තියාගෝ මෙසී නැතහොත් කනිෂ්ඨ මෙසී ඉපැදී ඇත්තේ 2012 වසරේ නොවැම්බර් 2 වැනි දා ය. ඒ දෙදෙනා අතර ඇති වයස් පරතරයද දින 869 කි. එය ද හරි අපූරු සමපාත වීමකි.

මේ අතර තමන්ගේ දරුවන් පාප-න්දු ක්‍රීඩකයන් කිරීම සම්බන්ධව රො-නාල්ඩෝ පවසා ඇත්තේ මෙලෙසිනි. ‘ඔහුට පාපන්දු ක්‍රීඩකයෙක් වෙන්න කියලා දැඩිව කියන්න, පීඩනයක් ඇති කරන්න මට කිසිම උවමනාවක් නෑ. ඒත් ඔහු පාපන්දු ක්‍රීඩකයෙක් වෙනවා නම් මම ගොඩක් කැමතියි. මොනවා වුණත් වැදගත් ම දේ තමයි ඔහු කරන දේ හරියට කරන එක. ඒක පාපන්දු ක්‍රීඩකයෙක් හරි දොස්තර කෙනෙක් හරි වෙන වෘත්තියක් කළත් කමක් නෑ. අවශ්‍ය වන්නේ කරන දේ නිවැරැදි ව, උපරිමයෙන් කරන එකයි.’ යනුවෙනි.

‘මේ අතර මෙසී කියන්නේ, ‘මට ඔහුට ක්‍රීඩා කරන්න කියලා ගොඩාක් බල කරන්න උවමනාවක් නෑ. මොකද ඔහු දැනට බෝලවලට වැඩි කැමැත්තක් නෑ.‘ කියාය.

මේ අතර රොනාල්ඩෝට හා ලියෝ මෙසී යන දෙදෙනාටම තවත් පුතකු බැගින් සිටී. ඔවුන් දෙදෙනාගේම නම එක සමාන වීම තවත් පුදුමයකි. දෙදෙනාගේම මුල් නම මාටියෝ ය. ඒ අනුව අනාගතයේ මාටියෝ මෙසී හා මාටියෝ රොනාල්ඩෝ අතර වුව පාපන්දු පිටියේ සටනක් අපේක්ෂා කළ හැකි ය.

ඒ අනුව බලන කල රොනාල්ඩෝගේ වැඩිමහල් පුත්‍රයා, බාල පුත්‍රයා මෙන්ම මෙසී ගේ පුතුන් දෙදෙනාම ජාත්‍යන්තර පාපන්දු ලෝකයට පැමිණීමට ඉඩ කඩ වැඩි ය. එය එසේ වුවහොත් මොවුන් සිව්දෙනා අතර පවතින තරගකාරිත්වය කෙසේ වේදැයි බලාගැනීමට හැකි-වන්නේ තවත් වසර හතකට පමණ පසුව ය. දැනට ඔවුන් අතරින් කනිෂ්ඨ ක්‍රිස්ටියානෝ ඉදිරියෙන් සිටියද අවසන් ජයග්‍රාහකයා කවුරුන් ද යන්න කීමට මේ කාලය නොවන බව පමණක් කිව හැකි ය.

 

 

Comments