ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවට සිව් දෙනෙක් ශ්‍රී ලංකා වාර්තා දෙකක් | සිළුමිණ

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවට සිව් දෙනෙක් ශ්‍රී ලංකා වාර්තා දෙකක්

මේ වසරට ජාතික මලල ක්‍රීඩා පිටියේ වැඩ ආරම්භ කරමින් ආසියානු ක්‍රීඩා උලෙළ සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව ඉලක්ක කර ගනිමින් පැවති පළමු තේරීම් තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අවසන් වූ අතර එහිදී වඩාත්ම අවධානය දිනා ගත් ක්‍රීඩිකාව බවට පත් වූයේ ජ්‍යෙෂ්ඨ කාන්තා දුර පැනීමේ ජාතික ශූරී සාරංගි ද සිල්වා ය. ඈ තමන්ගේම දුර පැනීම ජාතික වාර්තාව දෙවරක් බිඳ හෙළමින් ඉසව්ව ජය ගැනීමට සමත් විය. පළමු උත්සාහයෙන්ම මීටර් 6.51ක කැපී පෙනෙන දස්කමක් දක්වමින් මීට පෙර ඇය විසින් ම මීටර් 6.44ක දුරක් වාර්තා කරමින් පිහිටුවා තිබූ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර එකි තරගයේ දී ම නැවතත් මීටර් 6.65ක දුරක් වාර්තා කරමින් එම වාර්තාව ම අලුත් කිරීමට සාරංගිට හැකි වීම විශේෂත්වයකි.

මේ අතර ජ්‍යෙෂ්ඨ කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් නොනැවතුණු සචිනි පෙරේරා නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරමින් මෙවර තරගාවලියට ඉදිරිපත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර කැපී පෙනුණි. මීටර් 3.65 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් කාන්තා රිටි පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාව තමන් නමින් ලියවා ගැනීමට එහිදී සමත් වූ වා ය.

එමෙන්ම මෙකී තරගාවලියේ කනිෂ්ඨ ඉසව් කිහිපයක් නියෝජනය කරමින් ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උලළේ සුදුසුකම් සපුරාලීමට යොවුන් ක්‍රීඩකයන් සිව් දෙනෙකු සමත් වුහ.

තුන් පිම්ම ඉසව්වෙන් පසිඳු මල්ශාන් ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගත්තේ මිටර් 15.68ක දක්ෂතාවක් දක්වමින්ය. පිරිමි මීටර් 400 කඩුලු පැනීම කනිෂ්ඨ ඉසව්ව තත්පර 52.21ක දුරක් වාර්තා කළ (743)ධනුක දර්ශන සහ පිරිමි මීටර් 110 කඩුලු පැනීම කනිෂ්ඨ ඉසව්ව තත්පර 14.02ක කාලයකින් අවසන් කළ(641) කවීෂ බණ්ඩාර එලෙස සුදුසුකම් සපුරාලීමට සමත්වන විට දුර පැනීම ඉසව්වේ මීටර් 7.67ක දුරක් වාර්තා කරමින් කනිෂ්ඨ ජාතික වාර්තාව අලුත් කරන්නට(675) හිරුෂ හශේන්ට හැකි වූ අතර එම දස්කමත් සමඟින් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමේ පරිසාදන මට්ටම ඉක්මවා යෑමට සමත් වීම විශේෂත්වයකි.

එකී ඉසව්වේ දෙවැනි ස්ථානය මීටර් 7.36ක දක්ෂතාවයක් වාර්තා කළ පසිඳු මල්ෂාන්ට හිමි වූ අතර තෙවැනි ස්ථානය මීටර් 7.02ක දුරක් සටහන් කළ සඳරු නෙත්සර හට හිමි විය.

තරගාවලිය නිල වශයෙන් ආරම්භ කරමින් පැවති කාන්තා මීටර් 10,000 ඉසව්වේ ජය කාන්තා මීටර් 10,000 ඉසව්වේ ජය විනාඩි 36:35.36කින් තරගය අවසන් කළ යොවුන් ක්‍රීඩිකා චාමිනී හේරත්ට හිමි වූ අතර, එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් එස්. එන්. බණ්ඩාර (විනාඩි 37:36.98) සහ ඩබ්. එම්. හේරත් (විනාඩි 38:18.27) විසින් දිනාගත් හ.

කාගෙත් වැඩි අවධානයක් දිනාගත් ඉසව්වක් වූ මීටර් 100 ඉසව්වේ කාන්තා තරගය තියුණු සටනකින් පසුව ජය ගැනීමට ජාතික ශූරී අමාෂා ද සිල්වාට හැකි වූයේ තත්පර 11.63කටය. එකි ඉසව්ව තත්පර 11.68ක කාලයකින් අවසන් කළ කා රුමේෂිකා රත්නායක දෙවැනි තැන දිනාගනිමින් සිය නැවත පැමිණීම සටහන් කළ අතර තත්පර 11.82ක කාලයකින් තරගය නිමා කළ ෂෆියා යමික් තෙවැනි ස්ථානය දිනා ගත්තා ය.

මේ අතර රුමේෂිකා මිටර් 200 ඉසව්ව තත්.24.40කින් නිම කරමින් ජයහිමි කර ගැනීමට ද සමත් වුවා ය.

පිරිමි මීටර් 100 ඉසව්වේ ජාතික ශූර හිමාෂ ඒෂාන් තාවකාලික තරග තහනමක් නිසාවෙන් තරගාවලියට සහභාගී නොවූ අතර පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.53කින් අවසන් කරමින් එහි ජයග්‍රහණය ලැබීමට චමෝද් යෝධසිංහට හැකි වු අතර තත්පර 10.53කට ඉතා ආසන්න කාලයකින් තරගය අවසන් කළ එස්. ධර්මකීර්ති පිරිමි මීටර් 100 ඉසව්වේ දෙවැනි ස්ථානය දිනාගන්නා විට තෙවැනි තැන හිමි වුයේ තත්පර 10.54ක කාලයකින් තරගය අවසන් කළ ඩී. සංජයට ය.

කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් පළමු තැන දිනා ගැනීමට එහි ජාතික ශූරී නිලානි රත්නායක සමත් වුනේ මිනිත්තු 9:47.47ක කාලයකින් තරගය අවසන් කරමින් ය.

එකි කනිෂ්ඨ අංශයේ පිරිමි ඉසව්ව මිනිත්තු 11:09.50ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට ආර්. එල්. හේරත් සමත් විය. මිනිත්තු 11:11.24ක කාලයකින් තරගය අවසන් කළ චමිඳු මලීෂ දෙවැනි තැන හිමිකර ගැනිමට සමත්වි ය.

වැඩිම අවධානය දිනා ගත් ඉසව්වක් වූ මීටර් 200 තරගයේ කාන්තා අදියර තත්පර 24.40ක කාලයකින් අවසන් කල රුමේෂිකා රත්නායක ප්‍රථමයා වු අතර එහි දෙවැනි ස්ථානය තත්පර 24.52ක කාලයකින් ඉසව්ව අවසන් කළ එස්. එච්. ප්‍රනාන්දු විසින් දිනා ගනිද්දී, තත්පර 25.60ක කාලයකින් ඉසව්ව අවසන් කළ ජී. ඊ. ඉමේෂිකා හට හිමි වුනේ තෙවැනි ස්ථානයි.

මීටර් 200 පිරිමි ඉසව්වේ ජය හිමි වුණේ තත්පර 21.04ක කාලයකින් ඉසව්ව අවසන් කළ මොහොමඩ් සෆාන් හටයි. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ඩී. සී. පියුමාල් (තත්පර 21.37) සහ දිලීප් රුවන් (තත්පර 21.51) විසින් හිමිකර ගත්හ.

හර්ෂණ කරුණාරත්න පිරිමි මීටර් 800 තරගය ජයග්‍රහණය කරමින් සිය ආධිපත්‍ය එලෙසෙම රඳවා ගැනිමට සමත් වූයේ විනාඩි 1:53.29ක කාලයකින් තරගය අවසන් කරමින් ය.විනාඩි 1:53.77ක කාලයකින් අවසන් කළ ආර්. පී. පුෂ්පකුමාර එහි දෙවැනි ස්ථානය දිනා ගනිද්දී, විනාඩි 1:53.77ක කාලයකින් තරගය අවසන් කළ එන්. ඩී. බුලත්පිටිය තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

මීටර් 800 කාන්තා ඉසව්වේ ජයග්‍රහණය හිමි වුණේ විනාඩි 2:10.28කින් තරගය අවසන් කළ එම්. ඒ. කුමාරිටයි. එහි දෙවැනි ස්ථානය විහාරි රණසිංහ (වි. 2:13.61) විසිනුත්, තෙවැනි ස්ථානය ඩී. සඳකාන්ති (වි. 2:13.87) විසිනුත් දිනා ගැනීමට සමත් වූහ.

‌මෙකි තරගාවලියේ තවත් සුවිශේෂී අවස්ථාවක් සටහන් කරමින් කාන්තා යගුලිය දැමීම ඉසව්වේ දීර්ඝ කාලීන ශූරිය වූ තාරිකා ප්‍රනාන්දු (මීටර් 12.63) පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට යොවුන් ක්‍රීඩිකා ඔෂිනි චන්ද්‍රසේකර (මීටර් 12.67) සමත් වීම කැපී පෙනුණි.

පිරිමි මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 31:16.30ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට (223) ධනුෂ්ක සඳරුවන් සමත් වූ අතර එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් කේ. ශම්මුගේශ්වරන් (මිනිත්තු 31:19.18) සහ ඩී. සඳරුවන් (මිනිත්තු 31:53.88) විසින් දිනා ගත්තා.

කාන්තා මීටර් 1500 ඉසව්වේ සිය සුපුරුදු ආධිපත්‍ය රඳවා ගත් එහි ජාතික ශූරී(495) ගයන්තිකා අබේරත්න තරගය ජය ගැනීමට සමත් වුනේ මිනිත්තු 4:11.45ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

එම ඉසව්ව මිනිත්තු 4:37.05ක කාලයකින් අවසන් කළ එම්.ඒ. කුමාරි විසින් දෙවැනි ස්ථානය දිනා ගනිද්දී, මිනිත්තු 4:55.57ක කාලයකින් තරගය අවසන් කළ ගයනි රණසිංහ හට තෙවැනි ස්ථානය හිමි වුණා.

පිරිමි තුන් පිම්ම ඉසව්වේ ජය මීටර් 16.17ක දස්කමක් දැක්වූ (321)එල්. සී. කුමාරසිරි හිමි කර ගත් අතර එහි දෙවැනි ස්ථානය එල්. ජී. ධනංජය (මීටර් 16.15) විසින් සහ තෙවැනි ස්ථානය එස්. එස්. ජයසිංහ (මීටර් 15.65) විසින් දිනා ගත්තා.

පිරිමි මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට කාලිංග කුමාරගේට හැකි වු අතර තරග නිමි කාලය තත්පර 47:00කි. එහි දෙවැනි ස්ථානය පබසර නිකූ (තත්පර 47.17) දිනාගන්නා විට අයි. ලක්ෂාන් විසින් (තත්පර 47.63) තෙවැනි තැන දිනා ගැනීමට සමත් විය.

කාන්තා මීටර් 400 තරගය තත්පර 56.17ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වූ අතර තත්පර 57.75ක කාලයකින් අවසන් කළ එච්.එම්. ප්‍රනාන්දු දෙවැනි ස්ථානය දිනාගත්තාය. එහි තෙවැනි ස්ථානය දිනාගැනීමට තත්පර 57.91ක කාලයකින් ඉසව්ව අවසන් කළ එන්. එච්. ප්‍රනාන්දු සමත් වූවා ය.

දින තුනක් මුළුල්ලේ පැවති තරගාවලිය සාර්ථකව අවසන් වූ අතර ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා වන දෙවැනි තේරීම් තරගාවලිය මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත ය.

බන්ධුල ජයමාන්න 
ඡායාරූපය - ජගත් ඉරෝෂණ

Comments