ලෝකයාට එලෝ තරු පෙන්වමින් ඉන්දියාව දහස් වැනි එක්දින තරගයටත් | සිළුමිණ

ලෝකයාට එලෝ තරු පෙන්වමින් ඉන්දියාව දහස් වැනි එක්දින තරගයටත්

පසුගිය පෙබරවාරි 06 වැනි දින සමස්ත ඉන්දියාවට එක අතකින් සතුටත් තවත් අතකින් ශෝකයත් ගෙන දුන් දිනයකි. ඔවුනට සතුටට හේතුවක් වූයේ එදින කොදෙව් කණ්ඩායම සමඟ පැවති එක්දින තරගය ඔවුන්ගේ 1000 වැනි ජගත් එක්දින තරගය වීම හේතුවෙනි. ඒ සතුට ඉහළ දැමුණේ එම තරගයේ ජය ඉන්දියාව හිමි කරගත් හෙයිනි. එහෙත් ශෝකයට හේතු වූයේ භාරත මහා ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් එදින මෙලොවින් සමු ගැනීම ය.

ජගත් එක්දින පිටියේ තරග දහසක් ක්‍රීඩා කළ මුල් ම කණ්ඩායම වීමේ ගෞරවය ඉන්දියාව අත්කර ගත්තේ එම තරග රටාව බිහි වී වසර 51 ක ට පසු ය. එසේ වුව ද ඉන්දියාවේ එක්දින ජාත්‍යන්තර වයස අවුරුදු 47 කි. ඔවුන්ට පෙර ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, කොදෙව් හා පාකිස්තානය යන රටවල් එක්දින ජාත්‍යන්තර වරම් හිමි කරගෙන තිබිණි.

1974 අජිත් වඩේකාර්ගේ නායකත්වයෙන් එංගලන්තයේ ටෙස්ට් තරග සං-චාරයකට සහභාගී වන ඉන්දීය පිල එහිදී එක්දින ජගත් තරග දෙකකට මුහුණ දුන්නේ ලීඩ්ස් හි දී ය. මයික් ඩෙනිස්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩා-යමට එරෙහිව සහභාගී වූ මෙම මුල්ම තරගය සමස්ත එක්දින තරග ඉතිහාසයේ 12 වැනි තරගය ලෙස සටහන් විණි.

එක පිලකට පන්දු වාර 55 ක ට සීමා වූ මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 53.5ක් තුළ ලැබූ ලකුණු ගණන 265 කි. මේ වෙනුවෙන් නායක අජිත් වඩේකාර් 67, බ්‍රිජේෂ් පතිල් 82 ලෙස හොඳින් ලකුණු රැස් කළ හ. එහෙත් එම තරගයේ ජය එංගලන්තය හිමි කරගත්තේ ය.

හැත්තෑව දශකය තුළ තරග 13 ක ට මුහුණ දුන් ඉන්දියාව ජයගෙන තිබුණේ නැගෙනහිර අප්‍රිකාවට එරෙහිව හා 1976 පාකිස්තානයේ දී පැවති තරගයක් පමණි. මේ අතරින් වඩා කැපී පෙනුණේ 1979 ලෝක කුසලාන තරගාවලියේ දී එවකට ටෙස්ට් වරම් නොමැති ශ්‍රී ලංකාව ඉදිරියේ ලත් පරාජය යි.

මුල් සමයේ ඉන්දියාව සිතූයේ එක්දින තරග යනු ටෙස්ට් තරගාවලියක පෙරහුරු තරග රටාවක් ලෙසය. මෙයට වරක් එංගලන්තය රැස්කළ ලකුණු 334 හඹා ගිය ඉන්දීය පිල නියමිත පන්දුවාර 60 අවසානයේ රැස්කර තබුණේ කඩුලු තුනක් දැවී ලකුණු 132 ක් පමණි.

ආරම්භක පිතිකරු සුනිල් ගවස්කාර් පන්දුවාර 60 ම ක්‍රීඩා කරමින් ලකුණු 36 ක් රැස් කළේ පන්දු 174 ක ට මුහුණ දීමෙනි.

මුලදී මෙසේ අසාර්ථක ගමනක නිරත වූ ඉන්දීය එක්දින ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම ජයග්‍රාහී මාවතට අවතීර්ණ වන්නේ 1982-83 තරග වාරයේ සිටය. එවර මුලින්ම නායකත්වයට පත් කපිල් දේව්ගේ ආක්‍රමණශීලි නායකත්වය මෙන්ම ක්‍රිෂ්ණමචාරි ශ්‍රීකාන්ත් ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින් පන්දු යවන්නන් හට එරෙහිව වේගවත් පහරවල් එල්ල කිරීම, පන්දු රැකීමට වැඩි අවධානයක් යොමු කිරීම වැනි කරුණු ඉන්දියාව එක්දින පිටියේ මෙතෙක් ආ මාවත වෙනස් කළේ ය. 1983 ලෝක කුසලාන ජයග්‍රහණය මෙහි උච්චතම අවස්ථාව ය.

එතැන් සිට මේ දක්වා ඔවුන් ලෝක කුසලාන දෙකක් (1983, 2011) විස්සයි විස්ස කුසලාන, යොවුන් ලෝක කුසලාන වැනි ප්‍රමුඛ පෙළේ තරගමාලා ජයගෙන ඇත. එමෙන්ම එක්දින පිටියේ කිසිදා නොබිඳෙන වාර්තා රැසක්ද බිහිකර තිබේ. ඒ අතර සචින් ටෙන්ඩුල්කාර් එක්දින ශතක 49 ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 96 ක් සමඟ ය. ඔහු ලබා ඇති මුළු එක්දින ලකුණු සංඛ්‍යාව 18426 කි. ඒ තරග 463ක දී ය.

එක්දින තරගයක ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා ගෙන ඇත්තේ රෝහිත් ෂර්මාය. ඒ ලකුණු 264 කි. එක්දින තරග දහසක් ක්‍රීඩ කළ ඉන්දියාව ඉන් තරග 519 ක් ජයගෙන තිබේ. පරාජය වූ ගණන 431 කි. ඉන්දියාවට කලින් එක්දින තරගවලට මුහුණ දුන් එංගලන්තය තවමත් ක්‍රීඩා කර ඇත්තේ තරග 761 කි. ඔස්ට්‍රේලියාව තරග 958 කි. පාකිස්ථානය 936 කි. නවසීලන්තය 775 හා කොදෙව්වන් 835 කි.

අද වන විට ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩකයන් තනන කර්මාන්තශාලාවකි. එහෙයින් එක්දින හා විස්සයි විස්ස තරග සම්බන්ධයෙන් ඉන්දියාව තරම් උනන්දුවක් දක්වන වෙනත් රටක් තිබේද යන්න පවා සැක සහිත වී ඇත. ඇතැම් විට ඉදිරියේ දී එක්දින තරග පරයා විස්සයි විස්ස තරග මේ ගෞරවය අත්පත් කර ගන්නේ නම් එහි ප්‍රමුඛත්වය ද නිසැකව ම ඉන්දියාව හිමි කරගන්නා බව පමණක් පිළිගත හැකි ය.

 

Comments