මාලිංගගේ දීප්තිය ඉහළ නැංවූ හෝල්ඩරය | Page 2 | සිළුමිණ

මාලිංගගේ දීප්තිය ඉහළ නැංවූ හෝල්ඩරය

 

ලසිත් මාලිංග යනු මුහුදු රළක් වැනි ය. නිසල ව නික්ම ගිය ද යළි මතකයට එන්නේ අසුරු වේගයකිනි. ඔහු දේශීය ක්‍රිකට් ලෝලීන්ට එසේ සිහිපත් වීම අරුමයක් නොවේ. එහෙත් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ මතකය තුළට ඇතුළුවී ම අපූරු විභවතාවයකි. පසුගියදා ඔහු යළි ක්‍රිකට් ලොවේ මතක අතරට රැගෙන ආවේ ශ්‍රී ලංකාව වැනි ම කොදෙව් රාජ්‍යයක් වන බටහිර ඉන්දීය කොදෙව්වේ අපූරු ක්‍රීඩකයකු වන ජේසන් හෝල්ඩර් විසිනි. ලසිත් මාලිංග ඔහු දක්වා ඇති දක්ෂතා අනුව දීප්තිමත් බල්බයක් නම් ජේසන් හෝල්ඩර් යනු ඒ දීප්තිය ප්‍රති දීප්තිමත් කළ බල්බය රඳවන්නක් නැතහොත් ඉංග්‍රීසි භාෂාවට අනුව නම් ‘හෝල්ඩරයක‘ ට සමාන කළ හැකි ය. මේ ඒ කතාවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වී ඇති වාර්තා ගණන විශාල ය. එවැනි වාර්තා අතරින් ඇතැම් ඒවා වසර සිය ගණන් පැරැණි ය. නමුත් ඇතැම් වාර්තා බිඳ වැටෙන්නේ අසුරු සැණිනි. පසුගිය දා එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී ද එවන් සුවිශේෂී විස්සයි20 ක්‍රීඩක වාර්තාවක් සම කරන්නට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නකු වන ජේසන් හෝල්ඩර් සමත් විණි. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පිට පිට පන්දු හතරක දී කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වීමත් සමඟ ය. ඇෆ්ගනිස්ථා-නයේ රෂීඩ් ඛාන්, ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් විසින් මීට පෙර එම දස්කම දක්වා තිමිණි.

මෙම තරගයේ පළමු ව පිතිහරඹය ඇරැඹූ බටහිර ඉන්දිය කොදෙව්වන් කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් රැස් කළේය. එම තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 180 ක ඉලක්කයක් හඹා යා යුතු වූ අතර අවසන් පන්දු වාරයේ දී රැස්කර ගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 20 ක් විණි. තීරණාත්මක අවසන් පන්දු වාරය යැවීමේ වගකීම පැවරී තිබුණේ ජේසන් හෝල්ඩර්ට ය.

එහි පළමු පන්දුව නිපන්දුවක් විය. ඉන්පසුව යැවූ පන්දුව නිලකුණු පන්දුවක් වූ අතර, දෙවැනි පන්දුවේ දී ලකුණු 7 ක් ලබා සිටි ක්‍රිස් ජෝර්ඩාන් දැවී ගියේ උඩ පන්දුවක් ලබා දෙමිනි. ඉන්පසුව තෙවැනි පන්දුවේ දී එංගලන්ත ජයග්‍රහණයේ ප්‍රධාන බලාපොරොත්තුව වූ සෑම් බිලින්ග්ස් දැවී ගියේ ය. සිව් වැනි පන්දුවේ දී ලකුණු නොලබාම අදිල් රෂීඩ් දැවී ගියේ හෝල්ඩර්ට කඩුලු ත්‍රිත්වයක ආස්වාදය ලබා දෙමිනි.

එම කඩුලු ත්‍රිත්වය බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෙක් ලබා ගත් පළමු විස්සයි20 කඩුලු ත්‍රිත්වය විය. හෝල්ඩර්ගේ කඩුලු ත්‍රිත්වයත් සමඟ තරගයේ මෙන්ම තරගාවලියේ ද ජය බටහිර ඉන්දීය කොදෙව් පිලට ලැබී තිබිය දී තරගයේ අවසන් පන්දුවේ දී පන්දුව යාන්තම් කඩුල්ලේ ස්පර්ශ වූයෙන් එංගලන්ත කණ්ඩායමේ අව-සන් කඩුල්ල ලෙස අකීබ් මහමුද් දැවී ගියේ ය. විස්සයි20 තරගයක අවසන් පන්දුවාරයේ දී මෙම දස්කම පෑ ලොව පළමු වැන්නා වූයේ ද හෝල්ඩර් ය.

මීට වසර තුනකට පමණ පෙර 2019 දී මෙම දස්කම පෑ පළමු ක්‍රීඩකයා වූයේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන් ය. 2019 වසරේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව රෂීඩ් මෙම දස්කම් පෑවේ ඉනිමේ 16 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී සහ 18 වැනි පන්දුවාරයේ පළමු පන්දු ත්‍රිත්වයේ දී ය. එහිදී කෙවින් ඔබ්‍රේන්, ජෝර්ජ් ඩොක්‍රෙල්, ෂේන් ගෙට්කේට් සහ සිමි සින්ග් යන පිතිකරුවෝ රෂීඩ්ගේ ග්‍රහණයට නතු වූහ.

2019 වසරේ දී ම රෂීඩ්ගේ එම වාර්තාව ශ්‍රී ලාංකික සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග අතින් බිඳ හෙළිණි. නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි20 තරගයක දී නවසීලන්තයේ පළමු කඩුලු 4 බිඳ හෙළමින් මාලිංග මෙම දස්කම දැක්වීය. කොලීන් මොන්රෝ, හමීෂ් රදර්ෆඩ්, කොලීන් ග්‍රෑන්ඩ්හෝම් සහ රොස් ටේලර් යන නවසීලන්ත සුපිරි පිතිකරුවන් එහි දී මාලිංගට ගොදුරු විණි.

2021 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙහි සුදුසුකම් ලැබීමේ වටයේ දී රෂීඩ් සහ මාලිංගගේ මෙම වාර්තාව සම කරන්නට අයර්ලන්තයේ කර්ටිස් කැම්පර්ට හැකියාව ලැබිණි. අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණ‍යේදී නෙදර් ලන්ත කණ්ඩායමට එරෙහිව ඔහු මෙම දස්කම පෑවේය. එහිදී නෙදර්ලන්ත කණ්ඩායමේ ඇකර් මන්, රයන් ටෙන්, ස්කොට් එඩ්වඩ්ස්, වැන් ඩර් මර් වේ යන ක්‍රීඩකයන් සිව් දෙනා කැම්පර් හට ගොදුරු වූහ.

 

 

Comments