සංවිධානය විමධ්‍යගත කිරීම සුවිශේෂී විජයග්‍රහණයකි | සිළුමිණ

සංවිධානය විමධ්‍යගත කිරීම සුවිශේෂී විජයග්‍රහණයකි

මෙවර ජාතික මහා ක්‍රීඩා උලෙළ නිසැකවම සංවිධානය කරන බවත් එය පළාත් මට්ටමින් පැවැත්වෙන තරගාවලියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය දා නිවේදනය කළේ ය. ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් හා පළාත් ක්‍රීඩා බලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.

ඒ අනුව එක් එක් පළාත් මඟින් තම ප්‍රදේශය තුළ වඩාත් ප්‍රකට

ක්‍රීඩාව සංවිධානය කරමින් ජාතික මහා ක්‍රීඩා උලෙළ සංවිධානය වෙනුවෙන් දායක වනු ඇත. එය සැබැවින්ම යහපත් තීරණයකි. කොවිඩ් වැනි වසංගත රෝග තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින සමයක වෙසෙසින්ම එය වැදගත් තීරණයකි. අප එය එසේ කියන්නේ එවිට එක් ස්ථානයකට රැස්වන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ගේ සංඛ්‍යාව බොහෝ සෙයින් අඩුවීමට එය ඉවහල් වන හෙයිනි.

අනික් අතට විවිධ පළාත්වල

ක්‍රීඩා සංවිධානය කිරීම මගින් අදාළ ක්‍රීඩා ඉසව්ව කෙරේ ඇති ජන ආකර්ශනය ඉහළ නංවා ගැනීමට හැකියාව ඇත. එක් එක් ක්‍රීඩාවේ ජාතික ශූරයන් හා ඉදිරියෙන්ම සිටින විශිෂ්ටයන් එක ක්‍රීඩාංගණයක් තුළ ක්‍රීඩා කරනු දැකීමට ලැබීම අදාළ ක්‍රීඩාව කෙරේ යොවුන් ක්‍රීඩකයන් තුළ ආකර්ශනය වැඩිදියුණු කිරීම සඳහා බොහෝ දුරට ඉඩ ඇත. හුදෙකලාව කොළඹ දී හෝ වෙනයම් ප්‍රදේශයක සංවිධානය කර තරගාවලියට සහභාගි වන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පමණක් එහි නරඹන්නන් බවට පත්වීම වූ කලි ක්‍රීඩාව පැත්-තෙන් බලන කල දීර්ඝ කාලීන ආයෝජනයක් වන්නේ නැත. එහෙත් එය පළාත් මට්ටමින් විමධ්‍යගත තරගාවලියක් වශයෙන් පැවැත්වීම වූ කලී වඩාත් ප්‍රතිඵල හිමිවෙතැයි අපේක්ෂා කළ හැකි තත්ත්වයකි.

මෙහි ඇති අනික් කාරණය වනුයේ අදාළ තරග සංවිධානය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පළාත් ක්‍රීඩා බලධාරීන් වෙත ලබාදීමයි. එහෙත් මෙතැන දී කිව යුතු දෙයක් තිබේ. ඒ මුදල් ලැබෙන්නේ යැයි කියා අනවශ්‍ය වියදම් සිදුකරමින් හෝ අඩුවෙන් මුදල් වැය කරමින් තමන්ගේ මල්ල තර කර ගැනීමේ අරමුණින් බාල ලෙස තරගාවලිය සංවිධානය නො-කිරීමට පළාත් බලධාරීන් උත්-සුක නොවිය යුතු බව ය. ලැබෙන මුදලට අතිරේකව ප්‍රාදේශීය වශයෙන් අනුග්‍රාහකයන් සොයා ගනිමින් තරගාවලිය තවදුරටත් පෝෂණය කරන්නට, පළාත් ක්‍රීඩා අරමුදල් වෙනුවෙන් මුදල් සොයාගන්නට මෙය අවස්ථාවක් කර ගත හැකි ය. ඒ වෙනුවෙන් නිර්මාණශීලි වීම සියලු පළාත් ක්‍රීඩා බලධරයන්ගේ ද යුතුකමකි. එහෙයින් මේ ලැබෙන නව අවස්ථාව ක්‍රීඩාවේ ප්‍රවර්ධනය පිණිස නිවැරැදි ආකාරයෙන් උප-යෝගී කර ගන්නට සියල්ලෝ ම උත්සුක විය යුතු ව ඇත.

Comments