ලෝකය දකි­න්නට නෙත් දෙන්න පෙළ ගැසෙන පරි­ත්‍යා­ග­ශී­ලියෝ | Page 3 | සිළුමිණ

ලෝකය දකි­න්නට නෙත් දෙන්න පෙළ ගැසෙන පරි­ත්‍යා­ග­ශී­ලියෝ

මේ ජීවිතයේදී තමාට වැඩිපුරම වටිනා දේවල් අප බොහෝ දෙනකු අගයන්නේ “ඇස්දෙක වගේ” කියාය. ඒ නිසාම ඒ වටිනා දේවල් ඇස්දෙක වගේ රකින්නට ද අපි පොරොන්දු දෙන්නෙමු. වටිනාකම කෙතරම් ද යන්න ඒ වදන්වලින්ම පැහැදිලි වේ. දෑසින් අප ලෝකයක් දකිනා විට ඇස් පෙනීමේ දුර්වලතා ඇති බිලියන 2.2කට අධික පිරිසක් මේ මිහිතලය මත ජීවත් වෙති.

 

මෙරට දෘෂ්‍යාබාධිත ජනගහනය 996,937ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2012දී ඉදිරිපත් කළ වාර්තාවෙහි සඳහන් අතර, සෑම පුද්ගලයන් 1,000කින් 87දෙනකු දෘෂ්‍යාබාධවලින් පෙළෙන බවත් ඒ අතරින් සැලකිය යුතු පිරිසක් සම්පූර්ණයෙන්ම දෑස් නොපෙනෙන පුද්ගලයන් බවත් පැවසේ.

“ලංකාවේ ජනගහනයෙන් සියයට 8.7ක ප්‍රමාණයක්, ඒ කියන්නේ ලක්ෂ දාහතක ප්‍රමාණයක් තමයි ආබාධ සහිත ප්‍රජාව විදිහට අඳුරගන්නේ. මහා සමාජයේ දෘශ්‍යාබාධිත නැහැ, කථන ආබාධ නැහැ, ශ්‍රවණාබාධ නැහැ කියලා හිතන මහා සමාජයෙන් මම කැමතියි ඉල්ලීමක් කරන්න. අපේ ගෝත්‍රිකභාවය ප්‍රදර්ශනය කරන සමහර කාරණා තිබෙනවා. මාධ්‍ය භාවිතයේදී සංස්කෘතික කටයුතුවලදී දෘශ්‍යාබාධිත දරුවන් ඉන්න පාසලට කියන්නේ අන්ධ විද්‍යාලය කියලා. විද්‍යාලය අන්ධ වෙන්නේ කොහොමද? ඒ විද්‍යාල තියෙන නගරය, හන්දියට කියන්නේ ගොළු මඩම හන්දිය කියා. මේ විසි එක්වැනි ශත වර්ෂයේ තුන්වැනි දශකයේ ගොළුමඩම හන්දිය කියල අපි කියන්නේ. එහෙම දේවල් අසභ්‍යයි;අශීලාචාරයි. මේ වචන භාවිතයෙන් ආබාධ සහිත ප්‍රජාවගේ හිත රිදෙයි කියා අපට එහෙම හැඟීමක්, දැනීමක් එනවද?

......මං එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ලෝකේ හිටපු ආබාධ සහිත විශිෂ්ටයන්ගේ චරිත කතා. ස්ටීව වොන්ඩර්ව අපි මේ මොහොතේත් විඳ ගත්ත. රේ චාල්ස් ගැන අපි දැක්ක අන්ද්‍රියාර් බර්ශර්ලි ගැන අපි විඳගෙන තියෙනවා. ඔහුගේ නිර්මාණ අපි විඳලා තියෙනවා. ඒවගේම එලියට් ඔඩිසි මහා කාව්‍ය රචනා කරපු හොර්මර් දෘශ්‍යාබාධිතයෙක් කියලා අපි දැනගෙන තියෙනවා. මේ විශිෂ්ටයන් අන්තර්ජාතික වුණේ කොහොමද? මේ හැම හැකියාවක්ම තිබෙන හේමපාල පෙරේරා කලාකරුවා ශ්‍රී ලාංකික වෙලා රේ චාල්ස් අන්තර්ජාතික වුණේ කොහොමද? ස්ටීව් වොන්ඩර් අන්තර්ජාතික වුණේ කොහොමද? මම විශ්වාස කරන්නේ එහෙම වෙන්නේ අපේ සමාජය අපේ රාජ්‍ය ආබාධ සහිත ප්‍රජාව සම්බන්ධයෙන් අර තිබෙන දර්ශකවල ගැටලුවක් නිසා කියල.

පසුගිය සාමාන්‍ය පෙළ විභාගෙන් විෂයයන් නවයටම ඒ සාමාර්ථ නවයක් ගත්ත දුවෙක් සහ පුතෙක් මට හමු වුණා. එක්කෙනෙක් මගේ අල්ලපු ගමේ රත්මලේ නෙත්මී රාජපක්ෂ දියණිය. අනෙක් පුතා මට්ටක්කුලියේ බ්‍රයන් කින්ස්ටන්. මම මේ ගෙවල් දෙකටම ගියා. මුළු ජීවිතේම නෙත්මි ඉන්නේ රෝද පුටුවේ. බ්‍රයන් උපතින්ම දෘශ්‍යාබාධිතයි. බ්‍රයන්ගේ අම්මගේ මල්ලිගේ ගෙදර පුංචි කාමරේක මුළු පවුලම ජීවත් වෙන්නේ. මම ඇහුව බ්‍රයන්ගෙන් පුතේ ඒ නවය ගන්නකොට ඔයාට මේක බාධාවක් වුණේ නැද්ද කියලා. නෑ සර්. මට අම්ම ඔක්කොම කියවනවා කියල කිව්වා. මං දන්නේ නැහැ ඔබ දන්නවද කියල අපේ විභාග ක්‍රම ඇතුළේ දෘශ්‍යාබාධිත පුතෙක්ට දුවෙක්ට බ්‍රේල්වලින් ප්‍රශ්න පත්‍රයක් දෙන්න තවම ශීලාචාර වෙලා නැහැ. බ්‍රයන්ගෙන් මම ඇහුව ශිෂ්‍යත්ව විභාගයට ලකුණු කීයක් ගත්ත ද කියා. එකසිය පනස් හතක් ගත්ත කිව්වා. ඔබ දන්නේ නැතිව ඇති සමහර වෙලාවට ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හතළිහක්ම තියෙන්නේ රූපවලින් ලකුණු ගන්න ඒවා. බ්‍රයන් පුතාට ඒ ලකුණු හතළිහම නැහැ. ඔහුට එය අත්පත් කරගන්න හැකියාවක් නැහැ. එතකොට එකසිය හැටෙන් එකසිය පනස් හතක්. හැබැයි ඔහුට උසස්පෙළ කරන්න විද්‍යාලයක් නැහැ. රත්මලානේ දෘශ්‍යාබාධිත විද්‍යාලයෙත් උසස්පෙළ නැහැ. කොළඹ පාසල් දෙකක විතරයි ගුරුවරු හිටියේ. මම මගේ අතින් අල්ලාගෙන මමත් අකුරු කරපු පාසල ආනන්දෙට ගිහිල්ලා ආනන්දෙට බ්‍රයන් පුතාව භාර දුන්නා. මගේ පුතා ඇරෙන්න මම ආනන්දෙට අතින් අල්ලාගෙන ගිය දෙවැනි පුතා බ්‍රයන්. දැන් ඔහු ලෝකය ජයග්‍රහණය කරන්න බලාගෙන. ඔහුගේ අභිප්‍රාය නීතිඥයෙක් වෙන්න. ආනන්දෙ අකුරු කරනවා. මේ දරුවන්ට තිබෙන බාධාවන් දිහා බලන්න. ඒකයි මම අර දර්ශකයෙන් අපිව මැන ගන්න කියා ඉල්ලීමක් කළේ.” දෙනෙතින් ලොව දුටුවද හදවතින් ලොව නොදකින මිනිසුන්ගේ හදවතට එලෙස ආමන්ත්‍රණය කළේ මෙරට ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම ය.

ඒ, ඉකුත් 9 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 06 වැනි මැදිරියේදී පැවති ‘දිවිසැරියට සැරයටියක්’ නම් වූ සුදු සැරයටි දහසක් දානය කිරීම හා ශරීර අවයව දන් දීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි. ආබාධ සහිත තැනැත්තන් සඳහා ජාතික සභාව සහ ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ සහාය ඇතිව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ‘කණ්ණාඩිය’ වැඩසටහන එය සංවිධානය කර තිබූ අතර, එහිදී ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම සිය දෙනෙත් දන්දීම සඳහා කැමත්ත පළ කරමින් පොරොන්දු පත්‍රයට අත්සන් තැබීය. රූපවාහිනි සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන, රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් සහ ප්‍රවීණ මලල ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ ද එහිදී තම දෙනෙත් දන්දීමට කැමැත්ත පළකළහ.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට සිය දෙනෙත් දන් දුන් 18,58,109 වැනි පරිත්‍යාගශීලියා වන්නේ ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම ය. පරිත්‍යාගශීලීන් විසින් එසේ දන් දෙනු ලබන ඇස්වලින් අක්ෂිකාච බද්ධ කිරීමේ ඉතිහාසය මේ වන විට අඩ සියවස ද ඉක්මවා ඇත. මේ වනවිට ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිතයන් 56,119 ක් අක්ෂි කුණිත බද්ධ කිරීමෙන් සුවය ලබා ඇත.

එපමණක් ද නොවේ එදා මෙදාතුර ලෝකයේ රටවල් 57 ක, නගර 117ක දෘශ්‍යාබාධිතයන් සුවපත් කිරීමට ඉතා හොඳ තත්ත්වයේ අක්ෂි කුණිත 83,994ක් ශ්‍රී ලංකාවෙන් පරිත්‍යාග කර තිබීම සුවිශේෂී කරුණකි. ඊට අමතරව පරීක්ෂණ කටයුතු සඳහා ද ඇස් 43,538ක් ලබා දී ඇත. ඉකුත් පෙබරවාරි 10 වැනිදා වන විට සිය ඇස් දන් දීම සඳහා ලියාපදිංචි වී ඇති පරිත්‍යාගශීලීන් සංඛ්‍යාව 2,009, 124කි. එයින් 18,58,800ක් ඍජුවව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ලියාපදිංචි වී ඇති අතර, 1,50,324ක් අන්තර්ජාලය මඟින් ලියාපදිංචි වී ඇත. මේ සද් කාර්යයට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයයි.

දිවංගත වෛද්‍ය දේශබන්ධු හඩ්සන් සිල්වා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ නිර්මාතෘවරයාය. 1961 ජුනි 11 දින නිල වශයෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජාත්‍යන්තර ඇස් බැංකුව, ආදර්ශ මිනිස් පටක බැංකුව, ඇස් රෝහල හා සිවිකාච අංශය යන අංශවලින් ශ්‍රී ලංකාවට මෙන්ම විදේශ රටවලට ද ඉමහත් සේවයක් ඉටුවේ.

මේ වන විට එම සංගමයේ ක්‍රියාකාරී ශාඛා දිවයින පුරා ස්ථාපිත කොට ඇත. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජාත්‍යන්තර ඇස් බැංකුවේ ‍ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනත් සමන් මාතරආරච්චිගෙන් අප ඒ පිළිබඳ වැඩි විස්තර විමසුවෙමු.

“මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක්. ඇසක් සංරක්ෂණය කරන්න රුපියල් 25,000 - 30,000 අතර මුදලක් වැයවුණත් ඒ වියදම අක්ෂිදාන සංගමය විසින් දරාගනිමින් රෝගීන්ට නොමිලේ සේවය සලසනවා.

එවැනි විශාල අක්ෂි බද්ධ කිරීම් සංඛ්‍යාවක් සිදු කිරීමට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට අවස්ථාව ලැබී තිබෙන්නේ මෙරට සියලුම අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරුන් ගේ දායක්තවය නිසයි. ඔවුන් විසින් පෙනීමේ දුර්වලතා සහිත රෝගීන් හඳුනාගත් වහාම අප වෙත යොමු කිරීම ඊට හේතුවයි. ඒ වගේම මේ අවස්ථාවේදී ඇස් දන් දීමට බලාපොරොත්තුවෙන් සිටින පරිත්‍යාගශීලීන්ටත් යම් පණිවිඩයක් දිය යුතුයි. ඔබේ දෑස්වල කිසියම් රෝගී තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් ළඟම තියෙන රෝහලේ අක්ෂි රෝග සායනය වෙත යොමු වී වහාම ප්‍රතිකාර ලබාගන්න.

අක්ෂි බද්ධයක් අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයා මාර්ගයෙන් ඒ සඳහා කටයුතු සිදුකර දීමට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය දවසේ පැය 24 පුරාම සූදානමින් සිටිනවා.” ඇස් සහ පටක දන්දීම සඳහා අන්තර් ජාලය ඔස්සේ ද ලියාපදිංචි විය හැකි අතර, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, මිනිස් පටක බැංකුව සහ eChannelling සමාජ සත්කාර ව්‍යාපෘතිය මඟින් එය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව www.echannelling.com වෙබ් අඩවිය වෙත පිවිසෙන ඕනෑම අයෙකුට ඇස් සහ පටක දන්දීම සඳහා ලියාපදිංචි විය හැකිය. කෙනකු මියයෑමෙන් පසු ලබා ගන්නා ඇස් සහ පටක අසරණ රෝගීන්ට නොමිලයේ ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

කොළඹ 07, විද්‍යා මාවතේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පිහිටා ඇති අතර පැය විසි හතර පුරාම ක්‍රියාත්මක 0112 698 040 ,0112 692 051 සහ 0112 696 109 දුරකථන අංක මඟින් ඇස් සහ පටක දන්දීම පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

ඡායාරූප- සුදත් මලවීර

Comments