අයිස් බ්‍රේකර් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය | සිළුමිණ

අයිස් බ්‍රේකර් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය

 

උෂාන් පෙරේරා දක්ෂත ම රියැදුරා ලෙස 2022 අයිස් බ්‍රේකර් ධාවන තරගයේ දී කුසලානය හිමි කර ගනිද්දී ජාක් ගුණවර්ධන දක්ෂත ම ධාවකයා ලෙස සියලු ගෞරව තමන් සතු කර ගැනීමට පසුගිය දා සමත් විය.

ශ්‍රී ලංකා ඔටෝස්පෝර්ට් ඩයිවර්ස් ඇසෝසියසන් (Sri Lanka Autosport Drivers association – SLADA) සංවිධානය කළ වසරේ ආරම්භක මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මෙය විය.

අනුරා‍ෙපුර සාලිපුර ගජබා රෙජි-මේන්තු මූලස්ථානයේ ගජබා ධානව පථයේ දී පැවැති මෙම තරගාවලියට මෝටර් රථ හා යතුරුපැදි තරග ඉසව් 10 ක් ඇතුළත් ව තිබිණි.

එස්.එල්./ජී.ටී. 3500 සී.සී තරගා-වලියේ වේගවත්ම මෝටර් රථ තරග ඉසව්ව හා දක්ෂත ම රියැදුරා තෝරා ගැනෙන තරග ඉසව්වේ පළමු තරගයෙන් අති දක්ෂ ධාවන ශූර අශාන් සිල්වා ජයගත්තේ අරම්භක සංඥාවේ සිට ම පෙරමුණ ගනිමිනි. නමුත් දෙවැනි තරග ඉසව්වේ දී ද ඔහු සුපුරුදු ලෙස පෙරමුණ ගෙන තරගය ආරම්භ කළත් තරගයේ රැඳෙමින් ප්‍රථමයා වීමට හැකියාව නොලැබිණි. ඒ ඔහුගේ රථයේ හටගත් කාර්මික දෝෂයක් නිසා ය. එහෙත් එස්.එල්. ජි.ටී. දෙවැනි තරගයෙන් දෙවැන්නා ලෙස තරගය අවසන් කළේ ය.

පළමු තරගයෙන් දෙවැන්නා වූ උෂාන් දෙවැනි තරග ඉසව්වෙන් ප්‍රථමයා වෙමින් දිනයේ වේගවත් ම තරග ඉසව්වෙන් ජය ගැනීමට සමත් විය. ප්‍රථම එස්.එල්./ජී.ටී. තරග ඉසව්-වෙන් ඉෂාක් වහාබ් තෙවැන්නා වූ අතර, දෙවැනි එස්.එල්./ජී.ටී. තරග ඉසව්වෙන් ප්‍රවීණ ධාවක ගජබා ධාවන පථයේ ජයග්‍රණ 10කට හිමිකම් කියන අරවින්ද ප්‍රේමදාස තෙවැන්නා විය.

තරගාවලියේ දෙවැනි වේගවත්ම මෝටර් රථ තරග ඉසව්ව වූ එස්.එල්./එච් 1600 සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් ඉර්ෆාන් ෆූවාඩ් ජය ගත් අතර, දෙවැන්නා ලෙස ඉර්ෂාඩ් ෆාර්ම් තරගය අවසන් කළේ ය. යොවුන් ධාවක මෙන් ම යොවුන් රියැදුරු කේෂර ගොඩගේ තෙවැන්නා විය. ඔහු මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග ඉසව් ද නියෝජනය කළ එකම තරගකරුවා

විය. සමස්ත තරගාවලිය ම නියෝජ-නයට කළ එක ම කාන්තා නියෝජනය වූයේ ශෙහාරා ජයවර්ධනයි. ඇය එස්.එල්./එච් තරග ඉසව්ව නියෝජනය කළ ද ජයග්‍රහණයක් හිමි කර ගැනීමට අපොහොසත් විය.

එස්.එල්./ඊ. 1300 සී.සී. ෆොඩ් ලේසර් /මැස්ඩා තරග ඉසව්ව දිනයේ කාගේත් අවධානය දිනා ගත් තරග ඉසව්ව විය. තිළිණ මලීෂ එම තරග ඉසව්වෙන් ජය ගත් අතර, ශෙහාන් ඩී. සිල්වා දෙවැන්නා විය. සෆ්රාස් අසීන්ට හිමි වූයේ තෙවැනි ස්ථානය යි.

තිණුක ලියනාරච්චි එස්.එල්./ඊ 1000 සී.සී. නිසාන් මාච් තරග ඉසව්වෙන් ජයගනිද්දී එස්.එල්./එච් 1275 මීනි තරග ඉසව්වේ ජය හිමිවුණේ සඳරු වීරසිංහට ය.

ලලින් කිරින්දේ එස්.එල්./එන්. 1300 සී.සී. ෆොඩ් ලේසර් /මැස්ඩා තරග ඉසව්වෙන් ජය ගැනීමට සමත් වූ අතර එස්.එල්./එන්. 1500 සී.සී. ෆොඩ් ලේසර් /මැස්ඩා තරග ඉසව්වෙන් ලලින්ට හිමි වූයේ තෙවැනි ස්ථානය යි. තරිඳ ධර්මරත්න එම ඉසව්වෙන් ජය ගත් අතර තෙවැන්නා ලෙස දෙවින් සේරසිංහ තරගය නිමා කළේ ය.

2000 සී.සී. සුභාරු ලෙගසී තරග ඉසව්වෙන් මලින්ද ගුණසේකර ජය ගනිද්දී ට්‍රක් හා ජීප් රථ තරග ඉසව්වෙන් ජය හිමි වූයේ බුද්ධික රුක්ලන්තටයි. ප්‍රවීණ ට්‍රක් හා ජිප් රථ ධාවක මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන්ගේ පුත් චමෝද් සමරකොන් ට්‍රක් හා ජීප් රථ තරග ඉසව්වෙන් දෙවැන්නා විණි. රුෂ්ති ඔමාර් තෙවැන්නා විය. අශාන්, උෂාන්, බුද්දික, ලලින්, ඉර්ෆාන්, මලින්ද, තනුක, තිළිණ, සඳරු හා තරිඳු මෝටර් රථ තරග ඉසව් ජය ගත් අතර, යතුරු පැදි තරග ඉසව්වලින් සමීර, ෂාකීබ්, ඉවෝන්, බුද්ධික, යමික, දිනෙත් හා ජාකි ජය ගැනීමට සමත් විය.

දිනයේ ආරම්භක තරග ඉසව්ව වූ එම්. කාණ්ඩයේ 100 – 125 සී.සී. ස්ට්‍රේල් ට්‍රෙල් තරග ඉසව්වේ ජය හිමි වූයේ සමීර ප්‍රේමරත්නට ය. එම්.එක්ස්. 125 සී.සී. රේසිං තරග ඉසව්වෙන් ද ඔහු ජය ලැබුවේ ය.

ෂකීබ් අහාමඩ් ජේ. කාණ්ඩයේ එම්.එස්. 65 – 85 සී.සී. වයස අවුරුදු 12න් පහළ තරග ඉසව්වෙන් ජය ගත් අතර එම කාණ්ඩයේ ම 50 සී.සී. වයස අවුරුදු 9 න් පහළ තරග ඉසව්වෙන් යමික කිමීර ජයරත්න ජය ගත්තේ ය. ජේ. කාණ්ඩයේම එම්.එක්ස්. 85 සී.සී. 2ටී/ 100 – 125 සී.සී. 4ටී. තරග ඉසව්වෙන් දිනෙත් මිහිරංග ජයගැනීමට සමත් විය.

එම්. කාණ්ඩයේ ස්ට්‍රේල් ට්‍රේල් 175 -250 සී.සී. තරග ඉසව්වෙන් ඉවෝන් බියාජී ගුරුසිංහ ජය ගත් අතර, එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් තරග ඉසව්වෙන් හා විවෘත සුපර් මෝටාඩ් තරග ඉසව්වෙන් ජය ලැබූයේ බුද්ධික දිනේෂ් ය. ඉසුරු මධුරංග තරග ඉසව් දෙකෙන්ම දෙවැන්නා විය.

එම්.එක්ස්. 100 – 125 සී.සී. 2ටී./ 175 – 250 සී.සී. 4ටී. රේසිං යතුරුපැදි තරග ඉසව් දෙකෙන් ම ජාක් ගුණවර්ධන ජය ගැනීමට සමත් වූ අතර පළමු තර-ගයෙන් ඉවෝන් බියාජී ගුරුසිංහ ජය ගත් අතර, දෙවන තරගයෙන් කේෂර ගොඩගේ දෙවැන්නා විය.

ඡායාරූපය - ගීෂා මුණසිංහ

Comments