සිවු දෙන­කුට මරු කැඳවූ බූස්ස අන­තුරේ නිවැ­සි­යන් සොයා ගිය ගමන | Page 2 | සිළුමිණ

සිවු දෙන­කුට මරු කැඳවූ බූස්ස අන­තුරේ නිවැ­සි­යන් සොයා ගිය ගමන

බුස්ස පරණවත්ත ප්‍රදේශයේ පදිංචි කාලිංග සුනිමල් (45) ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියේය.

හේ බූස්ස පරණවත්ත ගම්මානයේ ජනතාව සමඟ ඉතා සුහදව කටයුතු කළ අයෙකි. සුනිමල් කාටත් උදව්පදව් කරමින් දැහැමි දිවිපෙවතක් ගත කළේය.

 

සුනිමල්ගේ පියා කාලිංග ජිනදාස අසුහය හැවිරිදිවියේ පසුවිය. ඔහු ගිංතොට තුනී ලෑලි සංස්ථාවේ සේවය කළ අයෙකි. සුනිමල් තම පියාට දැඩි ලෙස ආදරය කළේය. සුනිමල්ගේ පවුලේ සාමාජිකාවක් වූ මෙරින්ජි ලසිතා කුමාරි මෙන්ඩිස් (49) එක්දරු මවකි. ඇයගේ දියණිය 25 හැවිරිදි වියේ පසුවූවාය. මනිමේල් තවුලිස්හාමි (84) ලසිතා කුමාරිගේ මවය. ඇය විශ්‍රාම වැටුප් ලබන්නියකි. සැමියාගේ වියෝවෙන් පසු විශ්‍රාම වැටුප ඇයට හිමිවි තිබුණි.

දිනය ඉකුත් 01 වැනිදාය. විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ලේඛනයකට අත්සන් ලබා ගැනීම සඳහා වැල්ලබඩ වසමේ ග්‍රාම නිලධාරිනිය හමුවීම සඳහා මොවුන් සිවුදෙනා ග්‍රාම නිලධාරි කාර්යාලය වෙත ගියහ. ත්‍රිරෝද රථය පදවනු ලැබුවේ සුනිමල්ය. මේ ගමන යාම සඳහා තම ඥාති පුත්‍රයකු වන කාලිංග විරාජ් ගීතිකගෙන් සුනිමල් ත්‍රිරෝද රථය ඉල්ලා ගෙන තිබුණි. ග්‍රාම නිලධාරිනිය හමුවී විශ්‍රාම වැටුප් සම්බන්ධ ලිපියට අත්සන් ලබාගැනීමෙන් පසු යළි නිවෙස බලා යාම සඳහා මොවුහු පිටත් වූහ. තමන් මේ යන අවසන් ගමන බව මොවුන් සිහිනෙකින්වත් නොසිතන්ට ඇත. වැල්ලබඩ දුම්රිය මාර්ගය පීත්ත පටියක් සේ දිවෙන්නේය. රජරට රැජනි දුම්රිය මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබුණි. රජරට රැජනි එක හැල්මේ දිව යන්නීය. ඕ අදටත් දුම්රිය ධාවනයේ රැජනකි. දැන් රජරට රැජනියගේ වයස අවුරුදු 54කි. ඇය එකපිම්මේ කිලෝමිටර් හාරසියගණනක් එක දිනකදී දිව යන්නිය. වේලාව පෙරවරු 10.50 පමණ වන්නට ඇත. රජරට රැජනි නලා හඬ නංවමින් රත්ගම රිල්ලඹ දුම්රිය හරස් මාර්ගය පසුකරමින් ධාවනය වන්නට විය. ගතවූයේ නිමේෂයෙකි. සුනිමල්ලා පැමිණි ත්‍රිරෝද රථයට රිල්ලඹ දුම්රිය හරස් මාර්ගය හරහා යාමට හැකිවූයේ නැත. ත්‍රිරෝද රථයේ පිටුපස දුම්රියේ ගැටුණි. ඒ සමඟ ත්‍රිරෝද රථය විසිවී ගොස් මාර්ගය අසල තිබූ හතරැස් වර්ගයේ කොන්ක්‍රිට් කණුවක වැදී නතර විය. ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිවු දෙනා ත්‍රිරෝද රථයෙන් ඉවතට විසි වූහ.

මේ සමඟ ප්‍රදේශවාසීහූ අනතුර වූ ස්ථානයට එක්රොක් වන්නට වුහ. ඒ වනවිට ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිවුදෙනා බරපතළ තුවාල ලබා සිටියහ. ප්‍රදේශවාසීන් එක්වී මොවුන් සිවුදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගිය ද රෝහලට ඇතුළත් කරනවිට ඉන් තිදෙනකු මියගොස් සිටියහ. ලසිතා කුමාරි මෙන්ඩිස් රෝහලට ඇතුළත් කර ටික වේලාවකට පසුව මිය ගියාය.

‘දුම්රියේ නලාව අධික ශබ්දයක් නංවමින් නොකඩවා නාද වුණා. ඒ සමඟ ශබ්දයක් ඇසුණා. අපි එතනට ගිහින් බලනවිට ගැහැනු කෙනෙක් තාප්පයෙන් ඇතුළු පැත්තට විසිවෙලා හිටියා. අනික් තුන්දෙනාගෙන් අම්මයි තාත්තයි බදාගෙන වැටී සිටියා. අධික ශබ්දයත් සමඟ අපි එතනට බලන්න ගියා. ත්‍රිරෝද රථයේ පිටුපස කොච්චිය හැපිලා තිබුණා. හතරැස් වගේ පෙට්ටියක වගේ කණුවක ත්‍රිරෝද රථය වැදි උඩු අතට පෙරළී තිබුණා. ඉන් ගැහැනු කෙනෙක් තාප්පයෙන් ඇතුළු පැත්තට විසිවෙලා තිබුණා. පිරිමි අයෙක් ගුලි වෙලා හිටියා. ඔහු ගෝනියක දමාගෙන ඔසවාගෙන ගියා. තුවාලකරුවන් වාහනවලින් රැගෙන ගියා. දුම්රිය සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ත්‍රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය හරහා දමා තියෙනවා’ යැයි අනතුර පිළිබඳ අදහස් දක්වමින් අසල්වැසියකු වන ඒ ආරියපාල නැමැත්තා පැවසුවේය.

රජරට රැජන විසින් එක ම පවුලේ සිවු දෙනෙකු බිලිගෙන තිබුණි. සිවු දෙනකුට මරුකැඳ වූ මෙම ඛේදවාචකයෙන් බූස්ස පරණවත්ත ප්‍රදේශය ශෝකයෙන් ඇළලී ගොස් ඇත්තේය. මෙකී දුක්මුසු පුවත ලැව් ගින්නක් සේ පැතිරී යන්නට වැඩිවෙලාවක් ගත නොවීය. දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටී එකම පවුලේ සිවුදෙනකු මිය ගිහින් යන ආරංචිය ඇසූ සියලු දෙනාගේ මුවින් පිටවූයේ අනේ අපොයි යන්නයි. අනේ අපොයි මොකක්ද මේ අපේ පවුලට වුණේ. දැනට මාස කිහිපයක සිට කරදරපිට කරදර ආවා. අන්තිමට පවුලේ හතර දෙනකු යළි නොඑන ගමනක් ගියා. දියණිය තනි වුණා. අනේ සුනිමල් පුතේ උඹ විහිළුවෙන් තහළුවෙන් තමයි නිතරම හිටියේ... ඥාති කාන්තාවක් හඩා වැළපෙමින් එසේ කියන්නීය. මියගිය සිවුදෙනාගේ මෘතදේහ නිවෙසේ සාලයේ එකපෙළට තැන්පතේ කොට ඇත්තේය. මෙම දසුන් පෙළ දකින ඕනෑම අයකුගේ හිතට දැනෙන්නේ දැඩි වේදනාවකි. එකම පවුලේ සාමාජිකයින් සිවුදෙනාගේ හදිසි වියෝවයෙන් පවුලේ ඥාතින්ද දැඩි කම්පනයට පත්ව සිටිති.

මියගිය අයගේ ඥාති පුත්‍රයකු වන කාලිංග විරාජ් ගීතික (34) නැමැත්තා මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් මෙසේ කිවේය.

දුම්රිය හරස් මාර්ගයේ හරියට ගෙට්ටුවක් නැහැ. සිග්නල් හරියට වැඩ කරන්නේ නැහ. සුනිමල් අයියා දුම්රිය දැකලා නැතිව තමයි ත්‍රිරෝද රථය දමලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ. මා ධීවර රැකියාවේ නිරතව සිටිනවා. මියගොස් සිටින හතර දෙනාම මගේ ඥාතින් වෙනවා. මියගිය කාලිංග ජිනදාස මගේ තාත්තාගේ පැත්තෙන් මට බාප්පා වෙනවා. බාප්පා විශ්‍රාමිකයෙක්. ලසිතා කුමාරි මාගේ අම්මාගේ නංගි. ලසිතාගේ අම්මාත් විශ්‍රාමිකයෙක්. මට අයිති ත්‍රිරෝද රථයෙන් සුනිමල් අයියාත් එක්ක මොවුන් දෙදෙනා හා ලසිතා කුමාරි ග්‍රාම නිලධාරිනිය හමුවීමට ගියා. වැල්ලබඩ ග්‍රාම නිලධාරිනිය හමුවෙලා එන අතරතුර තමයි රත්ගම රිල්ලඹ හන්දියේ දී මෙම අනතුර සිදුවෙලා තියෙන්නේ. මාතර සිට වවුනියාව බලා යන දුම්රියේ ගැටිලා කියලා තමයි මට දැන ගන්නට ලැබුණේ. මේ සිද්ධිය වන අවස්ථාවේ මම හිටියේ ගාල්ලේ. මගේ මිතුරෙක් තමයි මට කිව්වේ මේ අය දුම්රියක හැපි ඇති බව. ගමේ අය එකතු වෙලා වාහනවල දමාගෙන විත් කරාපිටිය රෝහලට රැගෙනවිත් තියෙන්නේ. විරාජ් ගිතික කීවේය.

විතානගේ රුවන් චලන පෙරේරා (39) මියගිය අයගේ ඥාතියෙති. ඔහු කිවේ මෙවැන්නකි.

‘මා හෝටල් සේවකයකු ලෙස රැකියාව කරනවා. මියගොස් සිටින තවුලිස්හාමි මගේ ආච්චි. ලසිතා කුමාරි මගේ පුංචි අම්මා. මේ අය වැල්ලබඩ ග්‍රාම නිලධාරිනිය හමුවෙලා විශ්‍රාම වැටුපට අදාළ ලේඛණයට අත්සනක් ලබා ගැනීම සඳහා තමයි ගිහින් තියෙන්නේ. මාතර සිට වවුනියාව බලා ධාවනය වන දුම්රියේ ගැටී ඇති බව දැනගත්තා. මෙම සිද්ධිය වන අවස්ථාවේ මම හිටියේ අහංගම. ලසිතා පුංචිගේ දුව මට කතා කරලා කිව්වා අයියේ කරදරයක් වෙලා එන්න කියලා. මා කරාපිටිය රෝහලට ආවා. නංගි මගේ ඉදිරියට දිවගෙන ඇවිත් කිව්වා අම්මලා නැතිවෙලා කියලා. මම මෘතදේහ බලන්න ගියේ නැහැ. ඒ අයත් එක්ක ගෙදර ගියා. පසුව පොලිසියට ගිහින් අවශ්‍ය කටයුතු කළා. සුනිමල් බාප්පා ත්‍රිරෝද රථය දමලා තියෙන්නේ කොච්චිය නොදැක කියා තමයි මට හිතෙන්නේ යැයි රුවන් චලන කීවේය.

මෙම අනතුරත් සමඟ ප්‍රදේශවාසීන් මෙම ස්ථානයට එක්රැස් වන විට එහි සිටි සුනිමල්ගේ මිතුරකු සුනිමල්ට දුරකථන ඇමතුමක් ගත්තේය. ඒ මෙම අනතුර පිළිබඳ ඔහුට දැනුම් දීම සඳහාය. මේ අනතුරත් සමඟ මා මෙම ස්ථානයට පැමිණියා. අනතුරට ලක්වෙලා ඉන්නේ සුනිමල්ගේ ඥාතීන් බව දැන ගත්තා. මා මේ බව සුනිමල්ට දැනුම්දීම සඳහා දුරකථන ඇමතුමක් ගත්තා. සුනිමල්ද අනතුරට ලක්වෙලා ඇති බව පසුව තමයි දැන ගත්තේ. සුනිමල්ගේ මිතුරකු කීවේය. ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ සමාජිකයන් වන කාලිංග සුනිමල් (45), මෙරින්ජි ලසිතා කුමාරි මෙන්ඩිස් (49) , කාලිංග ජිනදාස (86), මනිමේල් තවුලිස්හාමි (84) යන අය මෙම අනතුරෙන් මිය ගියහ. මියගිය සිවුදෙනාගේ හදිසි මරණ පරික්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක සාගරිකා නිල්මිණි විසින් පෙරේදා (01) පස්වරුවේ දී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබුවාය. පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර විසින් සිදුකරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරිය දුම්රිය අනතුරෙන් වූ බහුවිධ තුවාල හා මොලයේ අභ්‍යයන්තර රුධිරවහනය නිසා මරණය වි ඇති බවට තීන්දු කළාය.

මෙකී දුම්රිය හරස් මාර්ගයේ ගෙට්ටුවක් නොතිබූ බවට මියගිය අයගේ ඥාතීන් චෝදනා කරති. ඒ විතරක් නොව දුම්රිය සංඥා පද්ධතිය හරිහැටි ක්‍රියාත්මක නොවන බවට දුම්රිය දෙපාර්තමේන්තුවට එල්ල වන චෝදනාවකි. දුම්රිය දෙපාර්තමෙන්තුව පවසන්නේ මේ හරස් මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය නිසි අයුරින් ක්‍රියාත්මකව තිබූ බවය. මෙරට ගතවූ දින 28ක කාලය තුළ මාර්ග අනතුරුවලින් 196 දෙනකු මියගොස් ඇත. දුම්රිය අනතුරුවලින්ද සැලකිය යුතු පිරිසක් මිය යති. මෙරට ඉතිහාසය තුළ බිහිසුණුම බස්රිය දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17 දා අහුන්ගල්ලේදී ය. ඉන් පාසැල් සිසු සිසුවියන් 38 දෙනෙකු ඇතුළු 40 දෙනෙකු මරුමුවට පත්වූහ. මෑත ඉතිහාසයේ කුමන හෝ වර්ගයක වාහනයක් දුම්රියක ගැටීමෙන් වැඩිම පිරිසක් මිය ගියේ මෙම අනතුරෙනි.

මෙරට දෛනිකව මාර්ග අනතුරු 100ක් පමණ සිදුවන අතර ඉන් පුද්ගලයන් හයක් අටක් අතර සංඛ්‍යාවක් මිය යති. මාර්ග අනතුරුවලින් සිදුවන සමාජිය හා ආර්ථික බලපෑම ද සුළුපටු නොවේ. පසුගිය වර්ෂවල සිදුවු මාරක අනතුරුවලදි වැඩි ම අනතුරු සංඛ්‍යාවක් වී ඇත්තේ යතුරුපැදි අනතුරුය. ත්‍රිරෝද රථ, පෙෳද්ගලික බස්රථ, ලොරි රථ,වෑන් හා මෝටර් රථ එසේ වැඩි අනතුරු සංඛ්‍යාවක් ඇතිකරන අනෙකුත් රථවාහන බවට හඳුනාගෙන ඇත. සුළු අතපසුවීමකින් මහත් විනාශයක් සිදුවිය හැකිය. වර්ෂ 2016 -2025 ජාතික සෞඛ්‍ය උපායමාර්ගික සැලැස්මේ සදහන්ව ඇති පරිදි මෙරට රථවාහන අනතුරුවලට ලක්වන අයගෙන් වැඩිම පිරිසක් වයස අවුරුදු 30- 40ත් යන වයස් කාණ්ඩවල පසුවන තරුණ පිරිස්ය. ඒ අප රටේ ඵලදායි තරුණ මානව සම්පතය. මේ නිසා අනතුරු වළක්වා ගැනීමට කටයුතු කිරීම අපි සියලු දෙනාගේ වගකීමකි.

Comments