ශ්‍රවණ සහ කථන විද්‍යා උපාධිධාරීන්ට පත්වීම් අකැපද? | Page 2 | සිළුමිණ

ශ්‍රවණ සහ කථන විද්‍යා උපාධිධාරීන්ට පත්වීම් අකැපද?

විශේෂ විද්‍යා උපාධියක් වශයෙන් කැලණි විශ්වවිද්‍යාලය අලුතින් ආරම්භ කරන ලද ශ්‍රවණ හා කථන විද්‍යා විශේෂ උපාධි පාඨමාලාව සඳහා රාගම වෛද්‍ය පීඨයට මේ වන විට කණ්ඩායම් 12ක් බඳවාගෙන ඇත. ඉන් කණ්ඩායම් 4කට පත්වීම් ලබා දී ඇත. නමුත් මේ වන විට උපාධිය ලබා පිටව ගොස් සිටින 2011-2012, 2012-2013, 2013-2014 යන 5, 6, සහ 7 කණ්ඩායම්වලට තවමත් පත්වීම් ලබාදීමක් සිදුව නොමැත. පස්වැනි කණ්ඩායම උපාධිය ලබා වසර 04ක්ද, හයවැනි කණ්ඩායම වසර 02ක්ද හත්වැනි කණ්ඩායම වසරක කාලයක් ද නිවෙස්වලටම වී සිටිති.

මෙකී කණ්ඩායම්වලින් ද හය සහ හත කණ්ඩායම් සඳහා මෙතෙක් උපාධි සහතික පිරිනැමීමක් ද සිදු කර නැත.

2020 වසරේ ජනවාරි මස රාගම ඉදිකරන ලද ‘ආයති’මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙත එදින මේ ගැන ලිඛිතව සඳහන් ලිපියක් බාර දීමට ද කටයුතු කෙරිණි. මෑතකදී උපාධිධාරින්ට පත්වීම් ලබාදීමේදී ද මෙම දරුවන් පිරිස අතහැර දැමීම ඉතාම කනගාටුදායකය. මෙකී දරුවන්ගේ විවාහ වීමේ වයස් සීමාවන් ද, රැකියා අයදුම් කිරීමේ වයස් සීමාවන් ද ඉක්මවා ගොස් තිබීම ඛේදනීය තත්ත්වයකි. විශ්වවිද්‍යාලයට දරුවන්ට ඇතුළුවීමට මොනතරම් කැපවීමක් හා මුදල් වියදමක් දරුවන් හා දෙමාපියන් දරනවාද යන්න බලධාරින්ට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

200ක් පමණ වන මෙම විශේෂ උපාධිධාරීන් දහසකුත් අපේක්ෂාවන් මල්ඵල ගන්වා ජීවිතය සාර්ථක කරගනිමින්, දෙමාපිය යුතුකම් ඉටුකරලීමට බොහෝ කාලයක් බලා සිටින බැවින්, මෙකී අහිංසක දරුවන්ට ප්‍රමුඛතාව දී කඩිනමින් උපාධි ප්‍රදානෝත්සවය පවත්වා පත්වීම් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

ශ්‍රවණ හා කථන විද්‍යා උපාධිධාරින්ගේ දෙමාපියන්

Comments