සිරි­කොත අලුත් පෙරළියක | Page 2 | සිළුමිණ

සිරි­කොත අලුත් පෙරළියක

ලුත් අලුත් සිදුවීම්වලින් දේශපාලන ක්ෂේත්‍රය හැමවිටම උණුසුම් වෙමින් අලුත් වන අතර පසුගිය සතියේ වැඩිම අවධානයක් ලක් වූ සිදුවීම් දෙකක් වූයේ කළගෙඩිහේනේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක ඉලක්ක කරගෙන බිත්තර ප්‍රහාරයක් එල්ලවීමයි. අනෙක් සිදුවීම රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමයි.

 

කළගෙඩිහේනේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පැමිණෙන්නේ එම රැස්වීම තිබුණු ශාලාවේ ප්‍රධාන දොරටුවෙන් නොවේ.

 

ජවිපෙට කුණු බිත්තර ප්‍රහාරයක්

ජයසිරිට අයත් රථයකින් අනුර කුමාර දිසානායකගේ රූපයට සමාන පුද්ගලයා පැමිණ ඇති අතර මෙම බිත්තර ප්‍රහාරය එල්ල වී ඇත්තේ අනුර කුමාරගේ ඩමිය පැමිණි ජයසිරිට අයත් රථයටය.

බිත්තර සිද්ධිය ගැන ඇමති ප්‍රසන්න දැනගත්තේ නාමල්ගෙනි.

දඹුල්ලේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගීව සිටි ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාට පසුගිය ඉරිදා දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙනි.

" බිත්තර කේස් එක දන්නෙ නැද්ද"

"ඒ මොකක්ද"

"අද කළගෙඩිහේනේ ජේ.වී.පී. මීටින් එකකට බිත්තර ගහලලු"

"බිත්තර ගහලා... කාටද"

"සෝශල් මීඩියාවලින් එක එක දේවල් කියනවා. අනුර කුමාරට ගැහුවාලු. වාහනේට ගහලාලු. මීටින් එකට ගහලාලු. දෙන්නෙක්ව අල්ලගෙන"

"කියනකල් මම දන්නෙ නැහැනේ."

දුරකතන සංවාදය අවසන් වූ වහාම ඇමතිවරයා සමාජ මාධ්‍යවල පල වී තිබූ සිද්ධියට අදාළ තොරතුරු කියෙව්වේය.

"මමවත් නොදැන මම කරලා තියෙන දෙයක්" කී ඇමතිවරයා නැවත දුරකතනය ගෙන ගම්පහ බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇමතිතුමක් ගත්තේය.

"නියෝජ්‍ය පොලිස්පතිතුමා, කළගෙඩිහේනේ මොකක්ද වෙලා තියෙන්නේ"

පොලීසියට වාර්තා වූ තොරතුරු හා සැකකරුවන් දෙදෙනෙක් හසුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විස්තර කළේය.

"ඔය සිද්ධියේ ඇත්ත හොයා ගන්න. නැත්නම් අපේ නම් කැත වෙන්නේ. පරීක්ෂණයක් කරලා සිද්ධියට සම්බන්ධ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මම ඔබතුමාට මේකට මගේ සම්පූර්ණ සහාය දෙනවා. මට ඔයවගේ දෙකයි පනහේ වැඩ කරන්න වුවමනාවක් නෑ." යි ඇමැතිවරයා කීවේය.

සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් අවසන් වූ විගස ප්‍රසන්න රණතුංග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට දුරකතන ඇමතුමක් ගත්තේය.

"සර්, කළගෙඩිහේනේ සිද්ධිය ගැන දන්නවාද?"

"ඔව්.ප්‍රසන්න මට ඒ ගැන ආරංචි"

"මගේ නමත් ගෑවිලාලු"

"කලබල වෙන්න එපා. මම දැනටමත් පොලිස්පතිවරයාට කිව්වා විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා." ජනාධිපතිවරයා කීවේය.

 

කොඩි කණුත් නොමිලේ දී බැනුම් ඇසීම

මේ අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා ද ඇමතිවරයාට කතා කළේය.

"ඇමතිතුමා"

"ඔව් සභාපතිතුමා, කළගෙඩිහේනේ සිද්ධිය ගැන අහන්නද ගත්තේ"

"නෑ නෑ සිද්ධියට සම්බන්ධ වෙන කාරණයක් කියන්න"

"ඒ මොකක්ද"

"ඔය රැස්වීමට දුන්නේ අපේ කොඩිකණු ටික"

"ඔයාල ද කොඩිකණු දුන්නේ"

"සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරිය අපෙන් කණු ටික ඉල්ලුවා. අපි නොමිලෙමයි කණු දුන්නේ"

"කොඩි කණු ටිකත් දීලා, බිත්තර ගැහුවා කියලා අහගත්ත" කියමින් ඇමතිවරයා සිනාසුණේය.

"ඔය වැඩෙන් වුණේ කළගෙඩිහේනේ රැස්වීමට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබුණ එකයි." ඔය 3% කට්ටිය අපිට අභියෝගයක් නෙමෙයි. ඇමතිවරයා නැවතත් කීය.

"ඇමතිතුමා තවත් හොඳ කතාවක් තියෙනවා." සභාපතිවරයා කීවේය.

"ඒ මොකක්ද" "ඔය ජවිපෙ රැස්වීමට දුන්න කණු බැසිල් මහත්තයා ආර්ථික සංවර්ධන ඇමති විදිහට ප්‍රාදේශීය සභාවලට දුන්නු ඒවා. ඔය කණු දුන්නට බැසිල් මහත්තයට නඩුත් දැම්මා. ජේ.වී.පී. කට්ටිය සෑහෙන්න දොස් කිව්වා. අද ඒ අයටත් රැස්වීමක් තියන්න ඒ කණු ටික නැතුව බෑ." සභාපතිවරයා කීවේය.

බූස්ටරයේ බොරු ප්‍රචාර ගැන ජනපති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ වැඩ පටන් ගත්තේ තුන් වන මාත්‍රාව එන්නත් කිරීම වේගවත් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය එක්ව ගෙන යන වැඩසටහන පිළිබඳව අවධානය යොමු කරමිනි.

"සංචරණ සීමා පනවලා මිනිස්සුන්ට නිදහසේ ගමන් බිමන් යාමට ඇති අවස්ථා පාලනය කරලා මිනිස්සුන්ගේ හැසිරීම් පාලනය කරලා ජනතාව කෙරෙහි දැඩි නීතිරීති පනවලා කොරෝනා පාලනය කිරීම අසාර්ථක බව මුළු ලෝකෙන්ම ඔප්පු වෙලා තියෙනවා. අද ලෝකයේ වඩාත් සාර්ථක වුණු පිළියම තමයි එන්නත්කරණය. දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට එහා ගිය පූර්ණ එන්නත්කරණයක් ලබා ගැනීමට හැකි වන්නේ "බූස්ටරය" ගත්තට පස්සේ. ඒක නිසා අපි රජය හැටියට බූස්ටරය සඳහා ෆයිසර් එන්නත ගෙනල්ලා ජනතාවට එය ලබා ගන්න පහසුකම් සලසලා තිබියදීත් ජනතාව ඒ සඳහා දක්වන උනන්දුව අඩුවෙලා තියෙනවා.

"ඇතැම් දේශපාලන පක්ෂ, ඇතැම් සංවිධාන පටු දේශපාලන වාසි තකාගෙන බූස්ටරය ගසා ගැනීම වළක්වමින් ජනතාව තව තවත් අපහසුතාවට පත් කරවමින් ජනතාව අතර ආණ්ඩුව කලකිරීමට පත් කරවන්න ව්‍යාපෘති ක්‍රියාත්මක කර තියෙන බව පේනවා. ඒවා අපි හොඳින් තේරුම් ගන්න ඕන. ඒ තමයි අපේ කලාපයේ රටවල දේශපාලනයේ හැටි. හැබැයි ජනතාවට ඒ සත්‍යය පැහැදිලි කරදීම සඳහා රජය ජනමාධ්‍යවල සහයෝගයත් අරගෙන අපේ රටේ ආගමික නායකතුමන්ලාගේ සහයෝගයක් අරගෙන වැඩ පිළිවෙළක් සකස් කරන්න ඕන. විපක්ෂයත් එක්ක රණ්ඩු වෙනවා වෙනුවට අපි මේ වෙලාවේ ඒක තමයි කළ යුතු වන්නේ." ජනාධිපතිවරයා මෙසේ කියමින් පසුගිය සෙනසුරාදා එන්නත්කරණය වේගවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කළ ව්‍යාපෘති කෙරෙහි සිය දැඩි අවධානය යොමු කර සිටියේය.

 

පුනර්ජනනීය ව්‍යාපෘති නවත්වන්නේ කවුද

මේ වන විට රටේ විදුලිය අඛණ්ඩව සැපයීම කෙරෙහි තිබෙන ගැටලුව ගැන ජනාධිපතිවරයා මෙහිදී මූලික අවධානය යොමු කළේය. රට තුළ ඉහළ යන විදුලිබල ඉල්ලුමට අනුව විදුලිබල සැපයුම වේගවත් කිරීමට ඒ ඒ ආණ්ඩු තව තමන්ගේ කාලවලදී අවශ්‍ය විසඳුම් ඉදිරිපත් කළ යුතු වුවත් 2015 - 2019 සමයේ ආණ්ඩු බලයේ සිටි පාර්ශ්වය කිසිදු අලුත් විදුලි බල නිෂ්පාදන ව්‍යාපෘතියක් රටට හඳුන්වා නොදීම තුළ වර්තමානයේ මතු වී තිබෙන අර්බුදය ජනාධිපතිවරයා හොඳින් අධ්‍යයනය කළේය.

"අපට මේ තියෙන බලාගාරවලින් විතරක් ඉදිරියේ දී වැඩි වන සාමාන්‍ය විදුලි අවශ්‍යතාවන්ට විසඳුම් හොයන්න බෑ. ඒ වගේම ඒ සඳහා ඒකකයක් රුපියල් 75 - 80 - 100 වගේ මිල ගණන්වලට පෞද්ගලික අංශයෙන් හදිසි විදුලිය ගන්නත් බෑ. ඒකයි මම ප්‍රතිපත්තියක් විදියට පුනර්ජනනීය බලශක්තිය රටේ ප්‍රචලිත කරන්න යෝජනා ගෙන ආවේ.

පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට පහුගිය කාලයේ රජය සහ පෞද්ගලික අංශ ගෙනාපු යෝජනා අතරින් වැඩි කොටසක් මේ වන විට විදුලි බලධාරීන් අනුමැතිය නොදී නවත්තගෙන ඉන්නවා. මේවා සිද්ධ කරන්නේ ඇයි කියන එක ගැන අපි හොඳ අවධානයෙන් ඉන්නේ. මේ ගැන අපි පුළුල් වශයෙන් සාකච්ඡා කරලා විසඳුමක් ගන්න අවශ්‍යයි."

විදුලිබල ක්ෂේත්‍රයේ දැනට තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා වහාම සාකච්ඡාවක් කැඳවන්නැයි විදුලිබල ඇමතිවරයාට හා අදාළ නිලධාරින්ට නියෝග කළේ පසුගිය සති අන්තයේය.

ඒ අනුව පසුගිය 31 සදුදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා විදුලිබල ඇමතිවරයා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, විදුලිබල මණ්ඩලයේ ඉල්ලා අස්වූ සභාපති, අලුත් සාමාන්‍යාධිකාරි, අමාත්‍යංශ ලේකම්වරු, විදුලිබල වෘත්තිය සමිති හා සේවක සමිති සියල්ලම කැඳවන්නට ජනාධිපතිවරයා උපදෙස් දී තිබිණි. ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩුගේ වෘත්තිය සමිති ද මේ සඳහා පැමිණ සිටියේය.

31 වන සදුදා උදේ 11.00 ට මෙම රැස්වීම ආරම්භ කළේය.

ජනාධිපති ඉතා ප්‍රසන්න ලෙස මෙම සාකච්ඡාවට සහභාගී වූයේ ය.

"ඇත්තටම මම ඔයගොල්ලන් එක්ක මේ සාකච්ඡාව කැඳෙව්වේ මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න මඟහරවා ගන්න අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරමු කියලා ආරාධනාව කරන්න."

"මම කිව්වේ දැන් බලන්න මේ තියෙන අර්බුද ගැන එක එක්කෙනා එක එක කතා කියනවා. ඇමතිතුමා එකක් කියනවා; විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා තව එකක් කියනවා; ඒ අතරේ අදාළ නැති වෙන වෙන ඇමතිලත් එක එක ඒව කියනවා; ඒ අතරේ වෘත්තිය සමිති තව එකක් කියනවා. මම කියන්නේ එහෙම නැතුව අපි ඕගොල්ලන්ට මේ බාර දීල තියෙන්නෙ වගකීමක්නේ. ඔයාලා ඒ වගකීම තේරුම් අරගෙන වගකීම බාරගෙන ඒක ඉටු කරන්න. එක එක්කෙනා පත්තරවලට ලිපි ලියනවා; ටීවීවලට වොයිස් කට් දෙනවා; එක එක කතා තමයි කියන්නේ. එහෙම නැතුව හැමෝම සාකච්ඡා කරලා තීන්දුවක් අරගෙන එක අදහසක් ජනතාවට යන විදියට කතා කරන්න පුරුදු වෙන්න. නැත්තම් හැමදාම වෙන්නේ රටේ ජනතාව අනවශ්‍ය විදිහට බය වෙන එක."

 

රන්ජන් සජිත්ට කීවේ මොනවාද?

"අනිත් එක මේ උගතුන්, මේ නිලධාරීන් ජනතා සේවයට කැප වූ ජනතා මුදලින් වේතන ලබන අය.

ඒ නිසා ජනතාවගේ පැත්තෙන් බලලා ප්‍රශ්නවලට උත්තර හොයන්න. ජනතාවට විශ්වාසයක් ඇති වෙන විදිහට කතා කරන්න. බය කරන්න එපා. අපි ඉන්නේ ලයිට් දෙන්න මිස ලයිට් කපන්න නෙවෙයි."

ඉන්පසුව සාම්පූර් වැනි විශාල බලාගාර පටන් නොගැනීම ගැන ද කතා බහක් ඇති විය.

"ඒක නවත්වන්න තීන්දු කළේ මම නෙවෙයි. කලින් තිබුණු රජය. මම ඒව ගැන නෙවෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ පුනර්ජනනීය බලශක්තිය ගැන. දැනට පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කරන්න නිවාස මට්ටමින් ගෙනාපු සූර්යබල ව්‍යාපෘති 5000 ගණනක් නතර කරල තියෙනවා. ඇයි ඒවට අනුමැතිය නොදෙන්නේ." "අනුමත කරපු සූර්ය බලශක්ති ව්‍යාපෘති ගෙගාවොට් 40 ක් තියෙනවො. ඒක ඉස්සරවෙලා පටන්ගන්න."

සති දෙකක් ඇතුළත එම ගෙගාවොට් 40 ජාතික පද්ධතියට එකතු කරගන්නට නිලධාරීහු එකගත්වය පළ කළහ. මේ අතර දුමින්ද දිසානායක තරමක් දැඩි ස්වරයෙන් කතා කළේ නිලධාරි මාෆියාවේ හා ඉංජිනේරු මාෆියාවේ වැඩ නිසා දැනට නතර වී ඇති ජාතික විදුලිබල ව්‍යාපෘති ගැන කරුණු දක්වමිනි. සිරගතව සිටින රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට පසුගිය දා (03) පෙරවරුවේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගියේය. එ් වනවිට රන්ජන් නිදහස් කර ගැනීමේ අරගලයට සමගි ජන බලවේගය අවශ්‍ය සියලු පිඹුරුපත් සකසමින් සිටියේය. කෙසේ වෙතත් නිදහස් දිනය දවසේ රන්ජන් නිදහස් කරතැයි ඇතැමුන්ගේ අපේක්ෂාව විය. අන් කාටත් වඩා ඒ පිළිබඳව දැඩි අපේක්ෂාවක් තිබුණේ රන්ජන්ටය.

"මං හිතනවා මාව නිදහස් කරයි කියලා"

රන්ජන් සජිත් සමඟ කියා තිබුණේය. රන්ජන්ගෙගේ සුව දුක් බැලූ සජිත් පිටතට පැමිණ නැවත වතාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ රන්ජන් නිදහස් කරන ලෙසය.

 

රහස් සාකච්ඡා පැවැත් වූ බංගලාවට රනිල් යයි?

එජාප නායක රනිල් වික්‍රමසිංහ ද ඉකුත් සති අන්තයේ හදිසියේම පුත්තලම බලා පිටත්ව ගියේය. ඒ සමාජ ක්‍රියාකාරීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවීමටය. එම හමුව පැවැතියේ බෙතනි බංගලාව නම් ස්ථානයේය. සුදු ජාතිකයන් විසින් ඉදිකරනු ලැබූ මෙම බංගලාවට දේශපාලන ඉතිහාසයක් ද තිබේ.

සුදු අධිරාජ්‍යවාදීන් ඉදිකළ මෙම බංගලාව පසු කලෙක හිමිවූවේ බදියුදීන් මුහමද් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ සිටි අධ්‍යාපන ඇමතිවරයාටය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනයකයන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීම සම්බන්ධයෙන් වූ අභ්‍යන්තර රහස් සාකච්ඡා ගණනාවක් පවත්වා තිබුණේ ද මෙම බෙතනි නිවස්නයේය.

රනිල් වික්‍රමසිංහ ද සිය ඊළඟ දේශපාලන බලපෙරළිය වෙනුවෙන් කතිකා කර ගැන්මට මෙම ස්ථානය යොදා ගැනීම ද විශේෂත්වයකි.

එහිදි නායකයාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුවක් ද පැවැති අතර සමාජ නිර්මාණවේදීන්ගේ කණ්ඩායම නමින් එම කණ්ඩායම නම් කෙරුණි. අනතුරුව පක්ෂය ජනතාව අතරට ගෙන යාම සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙළ ගැන මෙහිදි සැලසුම් රැසක් සකස් කෙරිණි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ඉකුත් සතියේ පැමිණියේ එක් දිනයක් පමණි. ඊට හේතුව වූවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මේ දිනවල සිදුවෙන ප්‍රතිසංස්කරණ කටයුතු නිසාවෙනි. පක්ෂයේ උප සභාපති සාගල රත්නායක විසින් මෙම කටයුතු සැලසුම් කරන ලද අතර නායකයාගේ උපදෙස් මත එම කටයුතු ඉදිරියට ගෙන යනු ලැබීය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර ඇතුළු ජ්‍යේෂ්ඨයන්ගේ සහාය එයට ලැබී තිබුණි.

රනිල් වික්‍රමසිංහගේ මීළඟ බල පෙරළිය වෙනුවෙන් එම පක්ෂ මූලාස්ථානය වන සිරිකොතේ ද ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකෙරෙමින් පවතින බව සිරිකොත ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

 

නව සාමාජිකයන් බඳවා ගැනීමට වජිර බරටම වැඩ

එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කාර්යාංශයේ විශේෂ රැස්වීමක් නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා සවස සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සැලසුම් කිරීම සම්බන්ධව පැවැති මෙම සාකච්ඡාවට වජිර, අකිල, රංගේ, සාගල, ශමල් ඇතුළු මධ්‍යම කාර්යාංශයේ නිලධාරීහු සහභාගී වූහ. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම සඳහා බිම් මට්ටමේ සිට ක්‍රියාවට නංවා තිබෙන තවත් වේගවත් ලෙස ඉදිරියට ගෙන යා යුතු බවත් ඒ ගමනේ දී පක්ෂයේ මූල්‍ය තත්ත්වය ඉහළ නංවා ගැනීම කෙරෙහිද අවධාණය යොමු කළ යුතු බවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට නව සමාජිකයන් බඳවා ගැනීම සඳහා රට පුරා සිදු කරගෙන වැඩසටහන්වල ප්‍රගතිය එම පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම බඳවා ගැනීමේ වැඩසටහන්වල සැලකිය යුතු ප්‍රගතියක් තිබෙන බවත් ඉදිරියට එම කටයුතු තවත් පුළුල් කරමින් ක්‍රියාවට නැංවීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද වජිර අබේවර්ධන රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයට දැනුම් දී තිබුණි.

එක්සත් ජාතික පක්ෂය හැරගිය පිරිස් නැවත පක්ෂයට සම්බන්ධ වීම සඳහා දැඩි උනන්දුවක් පවතින බව ද වජිර අබේවර්ධන විසින් රනිල් වික්‍රමසිංහට දැනුම් දෙන ලදී.

 

කෝච්චි ප්‍රමාදයෙන් ඕලන්ද ඇළේ බෝට්ටු පැද්ද නාමල්

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සමඟ ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් තරුණ තරුණියන් සමඟ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ගමන් කිරීමට ජාතික තරුණ සේවා සභාව මඟින් සැලසුම් කර තිබුණි. එම ගමන යෑමට සැලසුම් කර තිබුණේ දුම්රියෙනි. දෙවුන්දරින් ජාතික තරුණ සේවා සභාවේ පිරිස දුම්රියට ගොඩ වූ අතර දැඩි කාර්යබහුලත්වය නිසා නාමල් දුම්රියට ගොඩවීමට සැලසුම් කර තිබුණේ කොළඹිනි.

තෛපොංගල් සැමරුම් උත්සවයක් වෙනුවෙන් මෙම දුම්රිය ගමන සැලසුම් කර තිබුණේ දකුණේ සිට උතුරට නෑගම් යන පරිද්දෙනි. තවත් අත්‍යවශ්‍ය රාජකාරියකට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට හලාවතට යාමට නියමිතව තිබූ නිසා මෙම දුම්රියට ගොඩවීමට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සැලසුම් කර තිබුණේ හලාවත, කාක්කපල්ලිය දුම්රිය ස්ථානයෙනි.

එදින සවස 3.00 ට කාක්කපල්ලිය දුම්රිය ස්ථානයට දුම්රිය පැමිණීමට නියමිතව තිබුණු අතර නාමල් හවස 3.00 ට පෙරම දුම්රිය ස්ථානයට ගොස් සිටියේ කන්කසන්තුරේ දක්වා ගමන් කරන දුම්රිය පැමිණෙන තුරුය. දුම්රිය ප්‍රමාදය ගැන විමසූ විට දැන ගැනීමට ලැබුණේ එම දුම්රිය සවස 6.30 ට පමණ කාක්කපල්ලියට ළඟාවීමට නියමිත බවයි.

දුම්රිය ප්‍රමාදය නිසා නාමල් රාජපක්ෂ කාක්කපල්ලිය දුම්රිය ස්ථානයේ රැඳී සිටින බව දැනගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එම ස්ථානයට පැමිණියේය.

ළඟ තිබෙන කඩයකට ගොස් කෝපි එකක් බොමුයි කියා සනත් නිශාන්ත කළ ආරාධනාව පිළිගත් නාමල් ඔහු සමඟ ගොස් කෝපි එකක් බොමින් කතාබස් කරමින් සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වයයි.

ඒ කඩය අසලින් ගලාබසින ඕලන්ද ඇළෙහි බෝට්ටු පැදීමට සනත් නිශාන්ත, නාමල්ට ආරාධනා කළේ ඔය අතරතුරදීය. සනත් නිශාන්ත සමඟ ඕලන්ද ඇළේ බෝට්ටු සවාරිය යන අතරතුර නාමල්ට එකපාරටම මතක් වෙන්නේ මෙම බෝට්ටු සවාරිය අනුව එම ප්‍රදේශය සංචාරක පාරාදීසයක් බවට පත්කිරීමට හැකි බවයි.

ඕලන්ද ඇළෙහි බෝට්ටු සවාරි මඟින් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි නව වැඩ පිළිවෙළක් සකස් කිරීමට තමා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ කතාබහ කර කඩිනමින් ඒ සඳහා මැදිහත් වන බව නාමල් රාජපක්ෂ, සනත් නිශාන්තට කීවේය.

Comments