ලොවෙන් ම ප්‍රථමයා වූ අවුරුදු 17 පශ්චාත් උපාධිධාරී වශින්‍යා | Page 2 | සිළුමිණ

ලොවෙන් ම ප්‍රථමයා වූ අවුරුදු 17 පශ්චාත් උපාධිධාරී වශින්‍යා

MBA උපා­ධිය ලබා­ගත් අව­ස්ථාව

මෙළොව එළිය දැක අවුරුදු තුනක් ගත වෙත්දී ඇය තනිව තමන්ටම කියා විද්යුත් ලිපිනයක් සකස් කර ගත්තාය. යම්තම් වයස අවුරුදු අට සපිරෙද්දී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයයට 2010 වසරේදී පෙනී සිටි ඇය ඉන් A සමාර්ථ­්‍යක් ලබා ගැනීමට සමත් වූවාය. ඉන් නොනැවතී අවුරුදු නවයේදී තනිව වෙබ් අඩවියක් නිර්මාණය කළ ඇය ලොවම මවිත කරමින් වයස අවුරුදු 11 දී තොරතුරු තාක්ෂණය පිළිබඳ බී.සී.එස් උපාධිය සමත්වූයේ එම වයසේදී එවැනි දස්කමක් දැක්වූ ලොව ප්‍රථමයා බවට පත්වෙමිනි. 

තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍යය පරිගණක සංගමයේ සහතික ලත් උපාධිය (BCS IT Degree) වයස අවුරුදු 09 සිට වසර 2 1/2 ක කාලයක් හැදෑරූ ඇය ඉන් සමත්වූයේ උපන්දා සිට තමන් ලත් ජයග්‍රහණ ගොන්නට තවත් මිල කළ නොහැකි ජයග්‍රහණයක් එක්කර ගනිමිනි.

මෙලෙස අධ්‍යාපන ගමන් මගේ කඩඉම් නියමිත කාලයටත් පෙර පසුකළ වශින්‍යා ප්‍රේමානන්ද් වයස අවුරුදු 17 දී එක්සත් රාජධානියේ වෙස්ට් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය Master of Business Administration දිනා ගත්තේ එම වයසේදී එවැනි දස්කමක් කළ ලොව ප්‍රථමයා බවට පත්වෙමිනි.

වශින්‍යා විසින් බිඳ හෙළනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ Harrison Shaw විසින් අවුරුදු 20 දී එම උපාධිය ලබා ගනිමින් 2020 වසරේදී තැබූ වාර්තාවයි. සමස්ත ලෝකයේම අවධානය දිනා ගනිමින් ඒ සඳහා වන උපාධි සහතිකය වශින්‍යා ලබා ගත්තේ පසුගිය 21 දා බණ්ඩාරනායක ජත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.

කලක් ජාත්‍යන්තර පාසැලක පරිගණක උපදේශීකාවකවූ වශින්‍යාගේ මව ලක්ෂි ප්‍රේමානන්ද් ශක්තිවේල්ගේ මඟපෙන්වීම යටතේ පරිගණක විෂය පිළිබඳ පුළුල් දැනුමක් ලද ඇය වයස 09 ලබන්නටත් පෙර තනිව වෙබ් අඩවියක් නිර්මාණය කළාය.

එම දස්කමෙන් ඇය ලෝකයෙන්ම දෙවැනි වූයේ අට හැවිරිදි වියේදී එම දස්කම කළ ඉන්දියානු දරුවකුට පමණි. දසවැනි විය සපිරීමට පෙර විශින්‍යා ඊ කොමර්ස් හා වෙබ් ඉංජිනේරු ඩිප්ලෝමාවද අන්තර්ජාතික පරිගණක බලපත්‍රයද (International Computer Driving Licence ) ලබා ගත්තාය.

දුව පුංචි කාලේ ඉඳලා යමක් ඉගෙන ගන්න ආසයි. එයා ගෙදර කොම්පියුටර් එක නිතර අල්ලනවා; අතපත ගානව. මම එයා කැමැති දේ‍ට ඉඩ දුන්නා. අපි කරන දේවල් බලාගෙන ඉඳලා එයත් ඒ විදිහටම ඒවා කරන්න ගත්තා. මට තේරුණා පුංචි වුණාට මෙයාට පරිගණකය ගැන අවබෝධයක් තිබෙනවා කියලා. ඒ විදිහට තමයි තනියම වසය අවුරුදු 03 දී ඊ මේල් ඇඩ්‍රස් එකක් දුව හැදුවේ. පුංචි කාලේ ඉඳන් මෙයා බෝනික්කන්ට වඩා ආදරය කළේ පරිගණකයටයි. ලක්ෂි ප්‍රේමානන්ද් තම දියණියගේ අතීත ක්‍රියාකාරකම් විස්තර කළේ එසේය..

වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන එම්.ප්‍රේමානන්ද් නඩරාජා හා ලක්ෂි ප්‍රේමානන්ද් දෙපළගේ එකම දරුවා වන වශින්‍යා මෙළොව එළිය දැක ඇත්තේ වසර 2002 මැයි මස 13 දිනය.

කුරුණෑගලදී උපත ලද ඇය යුනික් ජාත්‍යන්තර පාසලට වයස අවුරුදු 03 සම්පූර්ණ වෙත්දී ඇතුළු කිරීමට මව සහ පියා පියවර ගත්හ. වසර දෙකක කාලයක් තම දියණිය පෙර පාසල් අධ්‍යාපනය ලැබිය යුතු බවට ඔවුන් කල්පනා කළත් කල්තියා පෙර පාසැලට ඇතුළු කිරීමෙන් සිදුවූයේ ඔවුන් කිසිවිටකත් අපේක්ෂා නොකළ දෙයකි. 

වසරකදී ඇය පෙර පාසලේ දෙවසරක වැඩ නිම කළේ ඉහළ බුද්ධියක් තමන් සතු බව මුල් වරට ඉඟි කරමිනි. ඒ අනුව වයස අවුරුදු 05 සම්පූර්ණ වත්දී ඇයව මහනුවර පිහිටි කොළඹ ජත්‍යන්තර පාසලට (Colombo International School) ඇතුළත් කිරීමට මවුපිය යුවළ පියවර ගත්හ.

පළමු පන්තියේ ඉගෙන ගන්නකොට වශින්‍යාට දෙවැනි පන්තියේ ළමයින්ටත් වඩා වැඩි දැනුමක් තිබුණා. ඒ නිසා එයාව ඩබල් ප්‍රමෝෂන් දීලා තුනේ පන්තියට දැම්මා.හතරේ පන්තියේදී ආයෙත් ඩබල් ප්‍රමෝෂන් ලබාගෙන හයේ පන්තියට යන්න එයාට පුළුවන් වුණා. දෙපාරක්ම මේ විදිහට ඩබල් ප්‍රමෝෂන් ලබපු නිසා දුව අවුරුදු 13 දී සාමාන්‍ය පෙළ කළා.

එහිදී විෂයයන් නවයටම A සමාර්ථ්‍යය ගත්තා. උසස් පෙළට විද්‍යා අංශයෙන් පෙනී සිට සමත් වූ ඇය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය අවුරුදු 15 දී හදාරන්න පටන් ගත්තා. 

ඉගෙනීමට පමණක් යොමුවීමෙන් විභාග ඉහළ ලෙස සමත් වූවන් බොහෝ දෙනෙක් බාහිර ක්‍රියාකාරකම්වලින් ඈත්වීම අද සමාජයේ පවතින ගැටලුවකි. මේ නිසා ජය පරාජය දරාගන්නට නොහැකියාව, ආත්මාර්ථකාමී හැඟීමෙන් ක්‍රියාකර ජීවිතය අවුල් කරගන්නා පිරිස් පිළිබඳ නිතර අසන්න‍ට දකින්නට ලැබෙයි.

පොතපතේ දැනුම පමණක් ඇතිව ප්‍රශ්නවලදී අසාර්ථක වන දරුවන් සමාජයට වැඩක් නැත. වශින්‍යාගේ පියා එය හොඳින් තේරුම්ගත් අයෙකි. ඔහු තම දරුවාට අධ්‍යාපනය සමඟ බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන්නට ද අවස්ථාව ලබා දෙන්නට අමතක නොකළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වශින්‍යා පියානෝ වාදනයට මෙන්ම ගිටාර් වාදනයටද දක්වන්නේ ඉහළ දක්ෂතාවකි. පියානෝ සහ ඕගන් වාදනයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා සිටින ඇය දක්ෂ මිනි ටෙනිස් ක්‍රීඩිකාවකි.

මව පියා හැරුණු විට වශින්‍යාගේ හොඳම මිතුරා ෂූර් නැමැති බල්ලාය. අධ්‍යාපන වැඩකටයුතු සිදු කරන අවස්ථාවේ ඇගේ තනි නොතනියට සිටින්නේ ෂූර්ය. වයස අවුරුදු හතක් වන ෂූර් නින්දට යන්නේ වශින්‍යාට පසුවය. උදේ වශින්‍යා අවදි කරන්නේද ෂූර්ය.

ඉංග්‍රීසි, දෙමළ, සිංහල, ජර්මන්, චීන හා ප්‍රංස බස ලියන්නට හා කතා කරන්නට වශින්‍යාට හැකිය. මේ අතරින් විශේෂයෙන් ඉංග්‍රීසි හා ප්‍රංස භාෂා ලියන්නට,කියවන්නට මෙන්ම කතාකරන්නට ද ඇයට හැකිය. 

කොළඹ මහාධිකරණයේ කලක් සංඥා භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ තම නැන්දා වන ස්වෙන්දනීගෙන් වශින්‍යා සංඥා භාෂාව ද උගෙන අද එයින්ද ප්‍රවීණත්වයට පත්ව සිටින්නීය. වශින්‍යාගේ අධ්‍යාපන හා බාහිර කුසලතා අගයමින් 2013 දී මධ්‍යම පළාත් සභාව ඇයට මැද රට අභිමානි සම්මානය පුද කළේය. මම හැම වෙලාවකම වැඩ කළේ ඉලක්කයක් ඇතුවයි. ඒ ඉලක්කය ජයගන්න මම හීන දැක්කා. ඉලක්ක තිබුණට වැඩක් නැහැ ඒවා ජයගන්න අවශ්‍යය කැපවීම නැත්නම්.ඉලක්කයක් කියන්නෙම අභියෝගයක්. ඒ නිසා ඉලක්ක හඹා යනකොට නොහිතන අභියෝග අපිට එනවා. ඒවා ඉදිරියේ සැලුණොත් ජයග්‍රහණය කරන්නේ අභියෝග කරන අයයි. මේ පුංචි රට ජත්‍යන්තර වශයෙන් අවධානයට ලක්කරන්න පුළුවන් ආකාරයේ ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වීම ගැන ඇත්තට ම මට සතුටුයි.ජනාධිපතිතුමා හමුවී කතා කරන්න මම ආසයි. රටෙන් ගත්ත දේට වඩා යමක් අපි රටට දෙන්න ඕන. තාත්තා නිතරම කියන්නේ ඒකයි. මමත් වැඩ කරන්නේ ඒක හිතේ තියාගෙනයි. වශින්‍යා එසේ පවසන්නේ අපට අප පිළිබඳවම යමක් සිතන්නට ඉතිරි කරමිනි.

වශින්‍යාගේ හොඳම මිතුරන් මව හා පියාය. දියණිය අධ්‍යාපනයට දක්වන ලැදියාව හා කැපවීමට දිරිදීම සඳහා ඔවුන් දෙදෙනාද වැඩිදුර අධ්‍යාපනය ලබන්නට පෙලඹුණහ. ඒ අනුව 2020 වසරේදී මව ලක්ෂි ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත්තාය. පියා ආනන්ද් එම උපාධිය ලැබුවේ පසුගිය 23 දාය. දැන් වශින්‍යාගේ කැදැල්ලේ හැමෝම පශ්චාත් උපාධිධාරීන්ය.

මව හා පියා තරම් ජීවිතයේ නිවැරදි මඟ දරුවකුට කියාදෙන වෙනත් කිසිවකුත් නොමැති බව වශින්‍යා අත්දැකීමෙන් දනී. මව ඇගේ සෙවණැල්ල මෙන් ළඟ සිටිත්දී පියා ඔවුන්ගේ ජීවිත ආදරයෙන් පුරවාලයි. ඊට කෘතගුණ දක්වමින් වශින්‍යයා ඔවුන්ගේ ජිවිතවලට අද අභිමානයක් ‍එක්කර දී තිබේ. දැන් ඇය සූදානම් වන්නේ ජීවිතයේ ඊළඟ කඩඉම වන ආචාර්ය උපාධිය සඳහාය.

වයස අවුරුදු නවයේදී වශින්‍යා ලෝකයේම එක් අයකුට පමණක් දෙවැනි වෙමින් නිර්මාණය කළ www.remokiyalubrica.com වෙබ් අඩවිය ඔස්සේ ඇය පිළිබඳ තවත් තොරතුරු ඔබට දැනගත හැකිය.

Comments