ලැබූ නිදහස සැබෑ නිදහසක් ද සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | Page 2 | සිළුමිණ

ලැබූ නිදහස සැබෑ නිදහසක් ද සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1 බ්‍රිතාන්‍යයන්ගෙන් රට මුදාගැනීමෙන් පසුව ලැබූ නිදහස යථාර්ථයක් බවට පත්ව තිබේද? 
2 මෙරටට දේශපාලනික නිදහස ලැබුණත් ආර්ථිකමය වශයෙන් නිදහසක් ලැබුණාද යන්න ගැන ඔබේ අදහස? 
3 නිදහස යථාර්ථයක් බවට පත්කිරීමට නම්, සමාජ අභ්‍යන්තරයේ නවීකරණයක් ඇති කළ යුතු ද? 
4 ජන විඥානය තුළ ස්වාධීන චින්තනයක් ගොඩනැඟීමට සාහිත්‍යමය සංවාදයක් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යද? 
5 රට ස්වයංපෝෂිත කිරීමට කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනස් විය යුත්තේ කෙසේද? 

නිදහස යනු සදාතනිකව පවතින අනවරත අරගලයක්
- පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත

1 නිදහස ක්‍රමිකව ලබාගත යුතු දෙයක්. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීම එක් අවස්ථාවක් පමණයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලද නිදහසට වඩා අර්ථාවින්ත නිදහසක් කරා ගෙන ගියේ. ජනතාවගේ පරමාධිපත්‍ය නිදහස වෙනුවෙන් දිගින් දිගටම අරගල ඇතිවුණා. එය සදාතනික පවතින අනවරත අරගලයක්. මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතිවාසිකම් හිමි වුණා; අවුරුදු 30ක සිවිල් යුද්ධය ජයග්‍රහණය කරන තුරු. ඒ කාලවකවානුවේ ජනතාවගේ නිදහස අවහිර වුණා. මෑතකාලීනව කොවිඩ් වසංගය සම්බන්ධයෙන් එන්නත් කිරීමෙන් අනතුරුව අපි සවි බලගැන්වීමක් සිදු කළා. එයත් යම් නිදහසක්. අපි රෝගයෙන් නිදහස් වීමෙන් පසුව රට විවෘත කිරීමත් ලබාගත් එක්තරා නිදහසක්. එවැනි කරුණු සම්බන්ධයෙන් අපි සතුටු විය යුතුයි. නිදහස කියන්නේ එක් ක්ෂණයකින් මොහොතකින් ලැබෙන දෙයක් නොවෙයි. එය අනවරත දෙයක්. දිගින් දිගටම යම්යම් සටන් මඟින් දිනාගත යුතු දෙයක්.

2 අපි නිදහස ලබපු කාලයේ සිංගප්පුරුව කිව්වේ ඒ අයටත් ශ්‍රී ලංකාවක් විය යුතුයි කියලා. එකල කලාපයේ අපේ රට ප්‍රබල ආර්ථික තත්ත්වයක සිටියා. එතැනින් එහාට ගියාම දිගට ම 1970 -77 යුගවල විශේෂයෙන්ම ස්යවංපෝෂිත ආර්ථික ක්‍රමයකට යන්න පාලකයෝ බලාපොරොත්තු වුණා. එයත් කාබනික පොහොර විප්ලවය වගේ ජනතාවට සැරවැඩි වුණා.එය අසාර්ථක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ 1977පසු හයෙන් පහක බලයක් සමඟ ජේ ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වුණා; ඉන්පසුව 1983 ජූලි කලබල ඇති වුණා. ජනවාර්ගික ගැටුම් ඇති වුණා. දේශපාලනික වශයෙන් 1987 -88 කාලයේ රාජ්‍ය දේපොළ විශාල වශයෙන් අහිමි වුණා. මේ සියලු දේශපාලනික බලවේග විනාශ කළ දේපොළ නැවත ගොඩ නඟන්නට ණය ගැනීමට සිදුවුණා. අතීතයේ අපි කලට වේලාවට ණය ගෙව්ව රටක්. අපිට දිගටම ණය ගන්න වුණා. මේ සඳහා ජනතාවගේ මුදල් තමයි වැය වුණේ. විදෙස් ආධාර ගන්න වුණා. ක්‍රමිකව අපේ රට ණය වුණා. උද්ධමනය වැඩි වුණා. වර්තමානයේදී කොවිඩ් වැනි වසංගතය නිසා අපේ විදෙස් ආදායම අහිමි වුණා. පසුගිය ආණ්ඩුව විකුණුවා වගේ අපේ ආණ්ඩුව රට විකුණන්නේ නැහැ. යම් ගැටලු සහගත තත්ත්වයක් පරිභෝජන ආර්ථික නිදහස සම්බන්ධයෙන් තිබුණත් එය යථාර්ථය වුවත් අපි දේශිය සම්පත් විකුණන්නේ නැහැ. යම් ප්‍රශ්න වැඩිවෙලා තියෙනවා. දේශීය සම්පත් විකුණලා මේ ආණ්ඩුවටත් තිබුණා ඩොලර්වලින් ප්‍රශ්න විසඳන්න. ඒත් ආර්ථිකය ගොඩනැඟීමට සාධනීය ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තියෙනවා.

3 ඒ සඳහා අවශ්‍ය මූලික රාමු අපි හදලා තියනවා. මේ රටේ 2 /3 බලය දුන්නේ එක රටක් එක නීතියක් යන සංකල්පය ඇති කරන්නයි. ආගමික ප්‍රාදේශීය ජාතීන් වශයෙන් එක් එක් නීති බල පැවැත්වෙන කොට අපි ඉබේම වෙන් වෙනවා. හුදෙක් ආගමික සංකල්ප රාජ්‍ය තුළින් ඉවත් කරලා ආණ්ඩුව සහ නීතියෙන් ආගම වෙන් කරලා ගමන් කිරීමකදි වඩා පුළුල් ලිබරල් නිදහසක් බිහිකරන්න පුළුවන් වෙනවා. ආගම කියන්නේ නිදහස සංකෝචනය කරන දෙයක්. ආගම් ජාති කුලමල ඉවත දාලා එක රටක් එක නීතීයක් සකස් කළ යුතුයි.

4 පැහැදිලිවම තරගකාරී අධ්‍යාපනය තුළ පොතපත කියවන්න, අගයන්න සාහිත්‍ය කලාව, රසාස්වාදය, සිනමා කෘතියක් අගයන්න, සංගීතය රස විඳින්න හැකිවන නිදහස අද අහිමි වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය නිදහස ඒ අයට ලබාදීමට නම් තරගකාරී අධ්‍යාපනික රටාවෙන් ඔබ්බට ගිහිල්ලා හැකියාවට වෘත්තීය පුහුණුව ලබාදෙන අධ්‍යාපන ක්ෂේත්‍රයක් නිර්මාණය කළ යුතුයි. විවිධ ක්ෂේත්‍රවලට නිපුණතා දක්වන අයට එම නිපුණතා ගොඩනඟා ගැනීම සඳහා උපකාරී වන ලෙස අධ්‍යාපනයක් ඇති කළ යුතුයි. සිංහල දෙමළ ඉංග්‍රීසි දැනුම සියලු දරුවන්ට ලබා දෙන්න අවශ්‍යයි. අන්‍ය මතයට ගරු කරන්න පුළුවන් දරුපරපුරක් ඒ අනුව බිහි වෙයි.

5 කාබනික පොහොරවලට අපි යොමුවීමේ අවශ්‍යතාවක් තියෙනවා. මහා පරිමාණයේ බෝග වගා කරන අයට එක එල්ලේ කඩිනමින් මේ ක්‍රමවේදයන් හඳුන්වාදීමෙන් යම් ගැටලු තියනවා. පොහොර ලබාදීමේදී කාර්යක්ෂම පරිපාලනයක් දේශපාලනික යාන්ත්‍රණයක් අවශ්‍යයි. මේ ක්ෂේත්‍රවල යම් යම් අඩුපාඩු තියෙනවා. නමුත් අපි කාබනික පොහොර වගාවට අනිවාර්යෙන් යා යුතුයි.

අපිට ගැළපෙන බීජ පොහොර කෘෂිනාෂක නිර්මාණය කරගත යුතුයි. දිර්ඝකාලීන පර්යේෂණයන් අනුව කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි.

අදාළ ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තය තුළ මේ පෙරළිය කළ හැකියි. අපි යම් කාලයක් පර්යේෂණ කරමින් කාලීනව මනා සැලසුමකින් යුතුව වගා කිරීම් ආරම්භ කළ යුතුයි.

තිරසාර ප්‍රතිපත්ති නොතිබීම අපේ රටේ පසුබෑමට හේතුවක්
- සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තිියාස් බාකිර් මාකර්

1මෙරටට 1948දී නිදහස ලැබීමෙන් පසුව ලැබූ එම නිදහස යථාර්ථයක් බවට පත්වී තිබෙනවාද යන ප්‍රශ්නය මතු වෙනවා. මේ සඳහා ඔව් හෝ නැහැ යන පිළිතුරු දෙකෙන් එකක් භාවිත කිරීම උචිත නැහැ. මෙය දේශපාලනික, ආර්ථික, සමාජීය යන අංශවලින් කතා කළ යුතුයි. මේ ක්ෂේත්‍රයන්වල පසුබෑම් මෙන්ම ඉදිරිගාමී පියවරයන් තියෙනවා. දේශපාලනය වශයෙන් අපිට ආණ්ඩු පෙරළීමට ලේ හැලීම් වලට නොයා; අපිට අවශ්‍ය පාලකයෙක් තෝරාගන්න නිදහස තියෙනවා; අපිට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මේ රටේ ඉන්න සියලුම ජනවර්ග රාජ්‍ය පාලනයට සමාන විදියට හවුල් කරගන්න අපි පොහොසත් වෙලා තියෙනවා ද යන කාරණාවේදි එය ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා තියනවා. නමුත් අපිට ඒ නිදහස ලබා ගැනීමේදී ඒ අරගලයට නායකත්වය දුන්න නායකයෝ හිටියා. සමඟි සම්පන්න ජාතියක් ඇති කිරීමට ඒ අපේ මුතුන් මිත්තෝ සිහින මැව්වා. ජාතිය භාෂාව කුමක් වුවත් එය ශ්‍රී ලාංකිය ජාතියක් විය යුතුයි යන සිහිනයක් ඒ අය ළඟ තිබුණා. එය අද යථාර්ථයක් වෙලා තියෙනවාද? එයත් ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා තියෙනවා .

2 ආර්ථික වශයෙන් ගත් විටත් පසුබෑම් මෙන්ම ඉදිරිගාමී පියවරයන්ද තියනවා. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සය අවුරුදු සැලැස්මක් ආර්ථිකයට ගෙනාවා. වෙළෙඳපොළ බලවේගවලට ඉඩ නොදී සුබසාධනයට ජනතාවගේ යහපත ගැන එදා එම නායකයන් සැලකිලිමත් වුණා. එදා එවැනි ආර්ථික ප්‍රතිපත්තියකට අපේ රට ගිහින් තිබුණා. එමෙන්ම නිදහස් අධ්‍යපනය සෞඛ්‍ය වඩාත් පුළුල් කිරීමක් සිදු කළා. සමාජයේ දිළිඳු පවුල්වලින් පිරිසක් අධ්‍යාපනික වශයෙන් ඉදිරියට ආවා. 1948දී පරමායුෂ 48ක් වූ අතර ඉන්පසුව ආයුකාලය අවුරුදු 78ක් දක්වා වැඩිවෙලා තියෙනවා. එසේ වුණේ නිදහස් සෞඛ්‍යය ව්‍යාපාරය නිසා. එදා අපි සහලින් ස්වයං පෝෂිත වුණා. අපිට තියෙන්නේ සීමිත භූමි ප්‍රමාණයක්. අපි කෘෂිකර්මය ඉදිරියට ගෙනයන්න ඕන.

එවැනි ක්ෂේත්‍රවල තීන්දු ගැනීමේදී විශාරදයන්ගේ සහ ගොවීන්ගේ උපදෙස් ගත යුතුයි. දඩි බිඩි තීන්දුවලින් අනිසි විපාකවලට විඳින්න වෙනවා. ආර්ථික වශයෙන් ගත්විට අපි අද විනිමය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මෙයට හේතුව හරි දැක්මක් නොතිබීමයි. මේ කලාපයේ අනෙක් රටවල්වල් අද වනවිට ඍජු ආයෝජනයන් හරහා විදෙස් සංචිත වැඩිකරගෙන තියෙනවා. ඒ රටවල් නිසි කළමනාකරණයක් කරගෙන තියෙනවා. අපේ රටේ ධනපතීන්ගෙන් බදු කපා හැරීම නිසා බිලියන 1200ක් මේ වසර දෙක තුළ ආණ්ඩුව නැති කරගෙන තියෙනවා. නමුත් දුප්පත් මිනිසුන්ට බදු බර දීලා තියෙනවා. මේ රටේ එදා ඉදලා පැවත එන නිදහස් අධ්‍යාපන සෞඛ්‍ය, ආර්ථිකය අපි අගය කරන්න ඕන. නිදහස් පසුව අපි නව ව්‍යාපාර අංශ ලෙස ඇඟලුම් විදෙස් රැකියා නව තාක්ෂණික සේවා සැපැයීම් සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර ගණනාවක් ගොඩනැඟුණා. එදා තේ පොල් රබර්වලින් ලැබුණ ආදායමට වඩා අද නව කර්මාන්තවලින් ලැබුණා. අපි ඉදිරි ගමන් ලකුණු කරගෙන තිබුණත් මේ දේවල් තාවකාලිකව හෝ බිඳවැටීම්වලට හේතුව ස්ථාවර ප්‍රතිපත්ති නොතිබීමයි. මේ සමාජයේ ඇතැම් වෛරී දේශපාලනික කාරණා අපි දැකලා තියෙනවා. ධනපති පන්තිය භංග වේවා කියලා නිර්ධන පන්තියට වෛරයක් ඇති කරලා තියෙනවා. පටු ආකල්පමය මතවාද නිසා වෛරය සමාජයේ වැපිරුණා. ඒ දේවල්වලින් ඇති වුණේ දේපොළ විනාශ වීම පමණයි. තිරසාර ප්‍රතිපත්ති නොතිබීමත් අපේ රටේ පසුබෑමට හේතුවක්.

3 රටේ පුළුල් අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි. සන්නිවේදනය මඟින් ඒ නවීකරණයට මඟ පාදන්න ඕන. එදා අපේ උගත්කම මැන්නේ අකුරු සාක්ෂරතාවයෙන්. අපි කලාපීයව එදා ඉහළ හිටියා. ඒ තත්ත්වය අද වෙනස් වෙලා. අද වලංගු වෙලා තියෙන්නේ පරිගණක සාක්ෂරතාවයි. වැඩි ආයෝජනයක් කිරීමෙන් නවීන යුගයට ඔබින අධ්‍යාපනයක් ලබාදීමට හැකියි. නවීන තාක්ෂණය ගමට නැහැ. ඒ වගේම මේ නව උපාංග නිසා දරුවන්ට හානි වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයි. ලිදේ ඉන්න මැඩියෝ වගේ ඉන්න බැහැ; පරිගණකයන් ළමයිට ලබාදිය යුතුයි. අපි ලෝකයත් සමඟ යෑමට නවීකරණය විය යුතුයි. එකිනෙකාගෙන් ඉගෙනගත යුතුයි. අද තියෙන්නේ එදා තිබුණ රටවල් නොවෙයි. අද තියෙන්නේ නව න්‍යාය ධර්ම තුළින් ප්‍රායෝගිකත්වයත් සමඟ ඉදිරියට යන ගමනක්. අදහපු න්‍යාය ධර්මයන් ප්‍රායෝගිකත්වත් සමඟ සන්සන්දනය කරලා බලා වෙනස් වෙමින් යන ගමනක් අද තියෙන්නේ. ආර්ථික අතින් සහ තාක්ෂණික අතින් පෙළහර පාන යුගයක් අද තියෙන්නේ. චීනය ඉන්දියාව වියට්නාමයේ ඇතිවෙලා තියන වෙනස්කම් අපි දකිනවා. අපේ අධ්‍යාපනය වෙනස් වෙන්න අවශ්‍යයි. අද විශ්වවිද්‍යාල විශාල සංඛ්‍යාවක් තියනවා. ඒවා නවීකරණය විය යුතුයි. හැමදාම සටන් පාඨවල න්‍යායධර්ම වල එල්ලිලා ඉන්න හොඳ නැහැ. ලෝකයත් සමඟ ඉදිරියට යායුතු වෙනවා.

4 අනිවාර්යෙන්ම ඇති විය යුතුයි. එක් එක් කුලකවල එක් එක් කඳවුරුවල ඉන්නේ නැතුව විවෘත මනසින් ලෝකය දිහා බලන්න අවශ්‍යයි. ස්වාධීන චින්තනයක් කරා යන්න අපි මඟ පෙන්වන්න අවශ්‍යයි. අපේ මාධ්‍යයක්, අපේ සාහිත්‍යයක් ගොඩනැඟිය යුතුයි. ඉදිරි සියවසට ගැළපෙන නායකත්වයක් අපි ගොඩනැඟිය යුතුයි.

අද වනවිට ළමයිට කැමැති විෂයයක් තෝරගන්න අයිතියක් නැහැ. කැමැති විශ්වවිද්‍යාල, තෝරගන්න අවකාශ නැහැ. අධ්‍යාපන බලධාරීන් අවශ්‍ය ඉඩකඩවලට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නේ නැතිව දරුවාට කැමැති විෂයක් අනුව අධ්‍යාපනය හැදෑරීමට අවසර දිය යුතුයි. එවිට තරගය නැතිවී මේ තත්ත්වයන් වෙනස් වේවි. ළමයින්ට ආකර්ෂණය වන විදිහට අධ්‍යාපනය සකස් විය යුතුයි. අපි අලුත් වෙන්න ඕන.

5 එදා අතීතයේ අපේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වී තිබුණා. අද දේශීය නිෂ්පාදනය අඩු වෙලා. අපේ රටේ ජනගහනයෙන් 27% කෘෂිකර්මාන්තයේ නිරත වී ඉන්නේ. ජීවන උපාය නැතිවෙලා. අද ඒ අයගේ ජීවන මට්ටම මොකද වෙලා තියෙන්නේ. අද දේශපාලඥයන් ගත්ත තීන්දු නිසා ඒ ගොවීන්ගේ ආදායම අඩුවෙලා තියනවා. ජීවන තත්ත්වය ආදායම නැතිවෙලා තියෙනවා. අපනයන ආදායම අඩුවෙලා තියෙනවා. කෘෂි කර්මාන්තය දියුණු කරන්න නම් ඒ ක්ෂේත්‍රවල නිරත වෙලා ඉන්න අයගේ අදහස්වලට ප්‍රමුඛ ව සැලකිල්ලක් යොමු කරන්න අවශ්‍යයි. ඒ ක්ෂේත්‍රවල ඉන්න ප්‍රවීණයන්ගේ අදහස්වලට ගරු කරන්න අවශ්‍යයි. දේශපාලඥයන් තමයි ඔක්කොම දන්නේ කියලා හිතලා තීන්දු තීරණ ගත්තාම විපාක විඳින්න වෙන්නේ ජනතාවටයි.

කළු සුද්දන්ගෙන් ගැලවෙන්න නම් නව පන්නයේ ජාතික විමුක්ති අරගලයක් අවශ්‍යයි
- ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

1අපිට ලැබුණේ නිදහසක් නොවෙයි. නිදහස අපි නැවත ලබාගත යුතුයි; නිදහස ලැබුණේ බ්‍රිතාන්‍ය කළු සුද්දන්නටයි; ශ්‍රී ලාංකිකයන්ට නොවෙයි. නිදහස දිගටම ලබාගෙන ඇත්තේ ඒ කළු සුද්දන්ගේ පරම්පරාවේ පිරිසයි. ජාත්‍යන්තරව සහ ජාතික වශයෙන් අපේ භූ දේශපාලනික සාධකයන් ගොදුරුක් බවටපත් කරගැනීමට මේ කළු සුද්දන් දායක වී තියෙනවා. විශේෂයෙන් අපිට ආර්ථික දේශපාලනික නිදහසක් නැහැ. අපිට ආර්ථික නිදහසක් තිබුණා නම් අද අපි ණය ගන්න රටක් නොවෙයි; එසේ නම් අපි ණය දෙන රටක් බවට පත් විය යුතුයි. අපි ස්වාධින ස්වෛරී රටක් බවට පත්විය යුතුයි; අපි නිදහස ලබාගත යුතුයි; අපි මේ රටේ සිටින කළු සුද්දන්ගෙන් නිදහස් විය යුතුයි; අපි තවමත් යුරෝපීයන්ට ආකල්පමය වශයෙන් ඉන්නේ යටත්වෙලා. අපිට ආකල්පමය වශයෙන් නිදහසකුත් ලැබිලා නැහැ.

2 දේශපාලනිකවත් අපි නිදහස් ලබා නැහැ. වෙස්මිනිස්ට ක්‍රමවේදයෙන් වුණත් මේ වගේ ඒකාධිපති ක්‍රමයක් හදලා දීලා නැහැ. ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවෙන් කොටසක් අරගෙන ඒකාධිපති ව්‍යාස්ථාවක් හදාගෙන තියෙනවා. ඒ තුළ අපි හිරවෙලා ඉන්නේ සුද්දෝ අපේ රට යටත් විජිත රාජ්‍ය බවට පත් කරගෙන තියනවා. නමුත් ආර්ථික වශයෙන් එක් රටක් බවට කර ගත්තාට දේශපාලන වශයෙන් අපිට එක් රටක් හදන්න දුන්නේ නැහැ. ඒ නිසයි සිංහල, දෙමළ හා මුස්ලිම් කියලා බෙදලා වෙන්කරලා දැම්මා. මේ රටේ උතුරු නැඟෙනහිර යුද්ධයක් ඇති වූණේ ඒ නිසයි. මේ අය කළේ කතා කරන භාෂාවන්ගෙන් අපේ ජාති වෙන් කරලා ආර්ථික වශයෙන් එක් රටක් ගොඩනැඟීමයි. ආර්ථික, දේශපාලනික වශයෙන් අපි වෙනස් වෙන්න අවශ්‍යයයි. සමානාත්මතාවන් ඇති කරමින් සියලුදෙනාම ශ්‍රී ලාංකේය ජාතිය ලෙස ගොඩනැඟෙන්නට සියලු වාද භේද නැති කරගෙන එක රටක් එක ජාතියක් ලෙස වෙනස් විය යුතුයි. ජාතිවාදය ආගම් කුළ බලය වැනි භේද දුරු කර ගෝත්‍රීක අදහස් දුරස් කළ යුතුයි.

3 ඒ සඳහා මේ දේශපාලනික ක්‍රමවේදය වෙනස් විය යුතුයි. නවීන තාක්ෂණය, නවීනත්වය අලුත් පරපුර භුක්ති විඳින්න අවශ්‍යයි. ධනවාදී සමාජයේ තියෙන සංවර්ධනය අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එවැනි සංවර්ධනයක් අපේ රටේ ඇති කර ගන්න නොහැකිවෙලා තියෙන්නේ මේ පාලකයන්ගේ නොහැකියාව නිසයි. සංවර්ධනය සඳහා ඉටු නොකරන ලද කාර්යයන් විශාල ලෙස තියනවා. යුරෝපියන්ට යටත් වුණ හැම රාජ්‍යයකම මේ ගැටලුව තියනවා. ඒ නිසා මේ සඳහා නව යටත් විජිත විරෝධී ජාතික විමුක්ති අරගලයක් අවශ්‍යයි. ඒ ජාතික විමුක්ති අරගලය නවීනත්වය සහිත තාක්ෂණය සහිත ක්‍රියාදාමයක් විය යුතුයි. අපි අපේ පාලනයකදී ඒ දේවල් ඉටු කිරීමට බාර ගන්නවා.

4 අත්‍යවශ්‍යයි. ආත්මාර්ථකාමීයෙක් බිහි කරන අධ්‍යාපනයක් අද තියෙන්නේ. සමාජයේ පුරුෂාර්ථ බිඳ දමන කලාව සාහිත්‍ය රසවින්ඳනය අද නැති කරලා තියෙනවා. මේ අධ්‍යාපන රටාවත් සමඟ බිහිවන්නේ ආත්මාර්ථකාමි මිනිසකුයි. අද කලාව සාහිත්‍ය සැබෑ ලෙස විඳින්න කිසිදු මාධ්‍යයක් නැහැ .

අද මාධ්‍යයේ අපේ සංස්කෘතිකාංගවලින් ඉවත් වෙලා විජාතික ගැති මාධ්‍ය බිහිවෙමින් පවතිනවා. අපේ දේවල්වලට ඉඩක් නැහැ. අපේ සංස්කෘතිය සාරගර්භ හඳුනාගන්න දරුවකුට අවකාශ නැහැ. ඒ නිසා අක්මුල් නැති ජාතියක් අද අධ්‍යාපනයෙන් බිහි කරන්නේ. කසිකබල් සංස්කෘතියක් අද නිර්මාණය කරලා තියෙනවා. කුඩු මත්ද්‍රව්‍ය ගණිකා ව්‍යාපාර වැඩිවෙලා තියෙනවා. කාන්තාවට නිසි ගෞරවයක් නැහැ. මේ නව සංස්කෘතිය ඇතුළේ කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙලා තියෙනවා. මේ නව සංස්කෘතියත් සමඟ මානවවාදී බැඳීම් විනාශ වෙලා; විනාශ වූ මේ සංස්කෘතිකමය ආකල්ප නැවත ගොඩනැඟිය හැක්කේ අපට ගැළපෙන නවීන සාහිත්‍යයත් සමඟයි. නිවැරදි දැක්මක් අපේ සංස්කෘතියක් සමඟ ගොඩනැඟිය යුතුයි. සමාජයට අධ්‍යාපනය තුළින් ගොඩනඟන්න අවශ්‍ය වෙන්නේ හොඳ මිනිහෙක්. අධ්‍යාපනයෙන් මිනිහෙක් ගොඩනැඟුවාම ඒ මිනිහා තමන් යන්න අවශ්‍ය පාර කුමක්ද කියලා එතැන් සිට තීරණය කරයි. රැකියාවට අධ්‍යාපනයක් කියන්නේ ජිවිතේ එක් කොටසක් විතරයි. ඒත් අධ්‍යාපනය හදාරා අවසන් වුණාම රැකියාවක් ලැබෙනවා කියලා හිතුවත් අද එයත් නැහැ. සියලු අංශයේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුයි.

5 අද කෘෂිකර්මාන්තය කොම්පොස්ට් කරලා තියන්නේ. අපේ රටේ සංස්කෘතිය ගැට ගැසිලා තියෙන්නේ මේ කෘෂිකර්මාන්තයත් සමඟයි. අපිට ඉතිහාසයේ සිට ගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්පයක් තිබුණේ ඒ නිසයි. ඒ සියල්ල අපේ සංස්කෘතිය සමඟ ගැට ගැසුණ දේවල්. අනුරාධපුර රාජධානිය දුටුගැමුණු රජතුමා හැදුවා කියන දේ අපි මතු කරන විට අපි මේ රටේ දියුණු වරායන් තිබුණා කියලා පිළිගන්න ඕන. අපේ වාරි තාක්ෂණය ගැන අපි හිතන්න අවශ්‍යයි.

අනුරාධපුර රාජධානිය ගැන කතා කරන කොට, අපේ මේ දියුණු සංස්කෘතිය ගැන කතා කරන විට කොළඹ හම්බන්තොට ත්‍රිකුණාමල වරායන් ඒ කාලයෙත් තිබුණ බව අපි පිළිගත යුතුයි. ඒ කාලේ අන්තර්ජාතික සම්බන්ධතා තිබුණා කියලා විදෙස් වෙළෙඳාම තිබුණා කියලා අපිට හිතන්න පුළුවන් දියුණු සංස්කෘතියක් තිබුණ බවට අපිට සාධක තියෙනවා. එදා අපි ස්වයං පෝෂිත වුණ ජාතියක්.

Comments