
වසර 30කට ආසන්න කාලයක් මෙරට ජනතාව භීතියෙන් ඇලළී සිටි ත්‍රස්තවාදී යුද්ධය 2009 වසරේ මැයි 19 වැනිදා නිමාවට පත්විය. යුද්ධය නිමාවීමට ආසන්නයේදී එනම් අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකා හමුදාවෝ අවසන් මානුෂීය මෙහෙයුමේ නිරත වී සිටියහ. කොටි ත්‍රස්තවාදීන් විසින් තම ආරක්ෂාව පිණිස මිනිස් පවුරක් යොදාගෙන තිබූ අතර එයින් මිදී පලා යාමට තැත් කළ ජනතාවට කොටි ත්‍රස්තවාදීහු වෙඩි තැබූහ.
එමෙන්ම ක්‍රියාකාරී එල්ටීටීඊ සාමාජිකයෝ රැසක් හමුදාවට බාර වූහ. ඒ අතර සිටි ප්‍රබලයෙක් වූයේ එල්ටීටීඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ වේලායුධන් දයානිදි නොහොත් “දයා මාස්ටර්” ය.
පසුව කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හරහා දයා මාස්ටර්ට එරෙහිව නඩු පැවරුණු අතර එයින් ඔහු නිදොස් කොට නිදහස් කෙරිණි. චෝදනාව වූයේ අවසන් මානුෂීය සටනේදී එල්ටීටීඊය මිනිස් පලිහක් ලෙස යොදාගත් ජනතාවට එයින් මිදීමට අවස්ථාව නොදී එල්ටීටීඊ යේ සහායකයකු වීමයි. නිසි පරිදි සාක්ෂි ගොනු නොවීමෙන් ඔහු නිදහස් විය.
එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත යුතු බව දකුණේ බොහෝ සංවිධාන විසින් සාක්ෂි සහිතවම පෙන්වා දෙන ලදී. ඒ අනුව විවිධ පාර්ශ්ව විසින් ගොනුකළ කරුණු අනුව අවසානයේ නීතිපතිවරයා විසින් ඔහුට නඩු පවරන ලදී. ඒ 2018 වසරේදීය. ඔහුට නඩු පැවරීම සිදු කෙළේ වවුනියාව අධිකරණයේදීය.
නිතිපතිවරයා විසින් දයා මාස්ටර් ට එරෙහිව අධි චෝදනා නඟන ලැබ තිබුණේ 2009 වසරේ පෙබරවාරි මස සිට 2009 මැයි මස 18 වැනිදා දක්වා වූ කාලය තුළදී එල් ටී ටී ඊ සංවිධානය යටතේ පැවැති පෙදෙස්වල සිවිල් ජනයා යුද හමුදාව විසින් මුදා ගත් ප්‍රදේශ කෙරෙහි ගමන් කිරිම වළක්වාලමින් ඔවුන් එල් ටී ටී ඊ සංවිධානයේ වාසිය සහ ආරක්ෂාව පිණීස මානුෂීය පලිහක් බවට පත් කිරීමට එකී සංවිධානයේ නායකයකු වූ ඉලම්බරදීන් සහ තිලක යන අය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙනි.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇප පිට නිදහස් කළද ඇප කොන්දේසි සපුරාලන්නට නොහැකි විය. එමනිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
රුපියල් පන්ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් රාජ්‍ය නිලධාරීන් සිවු දෙනකු ඇප දිය යුතු බවට මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරන ලද ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම නිසා ඔහු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එක් දිනක් පමණි. ඒ වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සෂිමහේන්ද්‍රන් විසින් දුන් නියෝගයකට අනුවය. එමෙන්ම ඔහුට උතුරු පළාතෙන් පිටවීමට අවසර නොදෙන ලද අතර යාපනය මූලස්ථාන පොලිසියේ පෙනී සිටිමින් අත්සන් කරන ලෙසට නියෝගයක්ද පැනවිණි.
දයා මාස්ටර්ට විරුද්ධ නඩුව එතැන් සිට මේ දක්වා වවුනියාව අධිකරණයේ විභාග විය. ඔහු වෙනුවෙන් ආරම්භයේදී නීතිඥ ඇන්ටන් පුනිදනායගම් පෙනී සිටි අතර පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිලති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්ද එක් විය. එතැන් සිට ඔහුගේ ප්‍රධාන නීතිඥයා වූයේ සුමන්තිරන්ය.
වසර 4කට ආසන්න කාලයක් විභාග වූ නඩුවේ තීන්දුව පසුගිය 26 වැනිදා ලබා දුන්නේ වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් විසිනි. ඒ අනුව “දයා මාස්ටර්” ට වසර දෙකක සිරදඩුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකට අත්හිටුවීය.
දයාමාස්ටර් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නිතීඥ එම්. ඒ. සුමන්තිරන් සඳහන් කර සිටියේ තම සේවාදායකයා එවකට මාසික වැටුපකට එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළ බවට මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේද පිළිගැනීම සිදුකළ බවයි. එමෙන්ම එල්ටීටීඊ සංවිධානයේ බලකිරීම් හමුවේ ඔහුට වෙනත් සිදු කළ හැක්කක් නොතිබූ බවද ඔහු පෙන්වා දුන් අතර ඔහු යුද හමුදාවට බාර වූ අයෙක් බවද පෙන්වා දුන්නේය. එමෙන්ම ඔහු මේ වන විට යාපනයේ මාධ්‍ය ආයතනයක කිසිදු ආකාරයක පාක්ෂික භාවයකින් තොරව ඔහු කටයුතු කරමින් සිටින බවද සුමන්තිරන් විසින් පෙන්වා දී තිබුණි. එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විසින් අදාළ තීන්දුව ලබා දුන්නේය.
ඒ අධිකරණයේ නඩු තීන්දුව වශයෙන් ලබා දුන් කතාවයි.
දයා මාස්ටර් යනු කවුරුන්ද ඔහු විසින් සිදු කළ දේ මොනවාද යන්න ගැන අප දැන් විමසා බැලිය යුතුය.
1954 වසරේ මාර්තු 3 වැනිදා කිළිනොච්චියේදී උපත ලබා ඇති වේලායුධන් දයානිදි නම් වන ඔහු ‘දයා මාස්ටර්‘ නමින් හැඳින්වෙන්නේ උපකාරක පන්ති ගුරුවරයකු වූ නිසාය. ඔහුගේ පදිංචිය වූයේ පේදුරුතුඩුවේ තම්බසිඩ්ඩිය.
ඉන්දීය සාම සාධක හමුදාව උතුරුකරයේ මෙහෙයුම් කරන විට ඊළාම් මහජන විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF) එල්ටීටීඊයට සහය වීම නිසා දයා මාස්ටර් අත්අඩංගුවට ගෙන සාම සාධක හමුදාවෙන් ඔහුට වද හිංසා පමුණුවා තිබේ.
ඔහු සත්‍ය වශයෙන්ම එල්ටීටීඊයට සම්බන්ධ වන්නේ 1990 වකවානුවේය. 1994 වසරේ සාම ක්‍රියාවලියේදී උතුරේ සංචාරය කළ දෙස් විදෙස් නායකයන්ද හමු වී සාකච්ඡා කරන්නට ඔහු පැමිණියේය. ඒ අතර මුහුදු කොටි නායකයා වූ කර්නල් සූසෙයිගේ යෝජනාවෙන් ඔහු එල්ටීටීඊයේ මාධ්‍ය ප්‍රකාශකයා විය. පසුව ඔහු එල්ටීටීඊයේ මහජන සම්බන්ධතා පුද්ගලයා ලෙස ඔහු පත් විය.
ඒ අතර 1996 වසරේදී පාසල් ගුරුවරියක වූ පැරැණි පෙම්වතිය සමඟ ඔහු විවාහ විය. ඔහුට එක් දියණියකගේ පියෙකි.
2006 වසරේ ජූලි මාසයේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් දයා මාස්ටර් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර එහිදී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස සිවිල් සංවිධාන කිහිපයක් රජයට බල කළද ඔහු නිරුපද්‍රිතව නැවත කිලිනොච්චියට පැමිණියේය. මානුෂීය යුද මෙහෙයුමේදී දයා මාස්ටර් සහ අනෙක් භාෂා පරිවර්තකයා වූ ජෝර්ජ් මාස්ටර් 2009 අප්‍රේල් 20 වැනි දින පුදුමාතලන්හිදී ශ්‍රී ලංකා හමුදාවට බාර විය. ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමටත් පෙර ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට රැගෙන යන ලදී.
2009 මැයි 19 වැනිදා එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ සිරුර හඳුනා ගැනීම සඳහා යුද හමුදාව විසින් දයා මාස්ටර් සහ කරුණා අම්මාන් පුදුමාතලන් වෙත කැඳවා ගෙන යන ලදී.
දයා මාස්ටර් සහ ජෝර්ජ් මාස්ටර් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නමුත් ඔවුන්ට චෝදනා එල්ල නොවීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම පුද්ගලයින් දෙදෙනාට එරෙහිව නඩු පැවරීමට සාක්ෂියක් නොමැති බව රහස් පොලිසිය ප්‍රකාශ කිරීමෙන් පසු 2009 සැප්තැම්බර් මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි විසින් ඔවුන් ඇප මත මුදා හරින ලදී. එක් ඇප කොන්දේසියක් වූයේ ඔවුන් දෙදෙනාම මසකට වරක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණිය යුතු බවයි. පසුව ඔවුන් විසින් කළ ඉල්ලීම් හමුවේ 2010 පෙබරවාරි මාසයේදී එම කොන්දේසිය ලිහිල් කිරීමෙන් පසුව ඔවුන්ට වාර්තා කිරීමට සිදු වූයේ යාපනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට පමණි.
ඔහු හමුදාවට බාරවීමෙන් පසුව දීර්ඝ ලෙසින් ඔහුගෙන් විස්තර ලබාගත් අතර එම විස්තරවලදී ඔහු පවසා තිබුණේ තමන් කිසිදු විටක කැමැත්තෙන් එම සංවිධානයට නොබැඳුණු බවයි. අවසානයේ සංවිධානයට නොව වැටුපක් ලබා දෙන රැකියාවක් ලෙස ඔහු සංවිධානයට බැඳුණු බව ඔහු පවසා සිටියේය. එසේ හෝ නොබැඳුණේ නම් තමන්ට මෙන්ම තම ඥාතීන්ට අත්වන ඉරණම ගැනද ඔහු පැහැදිලි කර තිබුණි.
කොළඹ මහාධිකරණයේ නඩුවෙන් නිදහස් වූ පසු ඔහු සාමාන්‍ය සිවිල් වැසියකු සේ දිවි ගෙවූ අතර ඔහු යාපනයේ ඩෑන් ටී.වී ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරයි.
ඒ අතර ඔහුගේ ඩෑන් ටී.වී. ආයතනයට පහර දීමක්ද වසර කිහිපයකට පෙර සිදු විය. ඒ ගැන කළ විමර්ශනයේදී හෙළි වූයේ එය ව්‍යාපාර ප්‍රශ්නයක් පමණක් බවයි.
දයා මාස්ටර් ප්‍රකට ඉංග්‍රීසි ගුරුවරයකු වූ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ ආරාධනය ඔහු එම සංවිධානයට එක්ව මුලින්ම භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කළේය. පසුව එල්.ටී.ටී.ඊ.සංවිධානයේ මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරියා වශයෙන් කටයුතු කොට අවසානයේදී මාධ්‍ය ප්‍රකාශකයා බවට පත් විය. ඔහු එරික් සොල්හයිම් ඇතුළු සාම නියෝජිතයන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අයෙකි.
අවස්ථා ගණනාවකදී මාධ්‍ය ප්‍රකාශක වශයෙන් දෙස් විදෙස් මාධ්‍යවලට ඔහු ප්‍රකාශ ලබා දුන්නේය. ඒ අතර ඔහු ශ්‍රී ලංකා හමුදාව උතුරෙන් ඉවත් විය යුතුය යන්න ගැන තදින්ම අදහස් දැරූවකු වුවත් කොළඹ පෞද්ගලික රෝහලට පැමිණ ආපසු උතුරට යාමට හමුදා අනුග්‍රහය ලැබීමෙන් පසුව එවැනි ප්‍රකාශ කළේ නැත.
යුද්ධයේ අවසන් වකවානුවේදී එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් සාධාරණය කළා විනා හමුදාවේ ක්‍රියාකාරකම් ගැන වැඩි දෝෂාරෝපණයක්ද කළේ නැත. එහෙත් අවසන් මානුෂීය මෙහෙයුමේදී සිවිල් පාලන පෙදෙස්වලට පැමිණීමට ආ ජනයාට බාධා එල්ල කිරීම් සම්බන්ධව ඔහුට පසුකාලීනව යාපනයේ දෙමළ මාධ්‍ය පුවත්පත්වලින් පවා දොස් නඟා තිබුණි. ඒ ජනතාව අමාරුවේ දමා තමන් ගැළවෙන්නට හමුදාවට බාර වූ බව පවසමිනි.