රටට කිරි බෙදන කිරි ගොවියන්ගේ ශෝකාන්තය | සිළුමිණ

රටට කිරි බෙදන කිරි ගොවියන්ගේ ශෝකාන්තය

  • වියදමට සරිලන ආදායමක් ලැබෙනවා නම් කිරි ගව පාලනය හොඳ ව්‍යාපාරයක්
  • කිරි ලීටරයකට රුපියල් 97ක් ගෙවනවා. පුන්නක්කු රුපියල් 1,500 සිට රුපියල් 2,300 දක්වා වැඩි වුණා

ආනයනික කිරිපිටි මිල ඉහළ යෑම හමුවේ බොහෝ දෙනකුට දැන් දේශීය කිරි කර්මාන්තයේ අගය වැටහෙන්නට පටන් ගෙන ඇත. රජය ද දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට වූයේ එවැනි පසුබිමක් තුළය. මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් 2021 වර්ෂය සඳහා අයවැය මඟින් කිරි ගොවින්ට සහන ලබාදෙන බවට යෝජනාවක් ඉදිරිපත් කළේ මෙරට කිරි ගොවින්ගේ සිත් තුළ දහසක් බලාපොරොත්තු ඇති කරමිනි. කිරිපිටි ආනයනය වෙනුවෙන් වාර්ෂිකව පිටරටට ඇදී යන රුපියල් බිලියන 55 කට අධික මුදල අවම කර ගැනීමේ අරමුණින් දියර කිරි ආශ්‍රිතව ගොවීන්ට සහන සැලසීමට එයින් යෝජනා කෙරිණ. ඒ යටතේ කිරි ගව මඩු සකස් කරගැනීම හා උපකරණ මිලදී ගැනීමට සියයට 7.5 ක වාර්ෂික පොළියක් යටතේ රුපියල් ලක්ෂ 5 ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද එහිදී අගමැතිවරයා යෝජනා කළේය.

මේ වන විට වෙළෙඳ පොළේ ආනයනික කිරිපිටි තොග මිල වැඩි වීමේ පසුබිමක් තුළ දේශීය කිරි ගොවියාගේ නිෂ්පාදන සඳහා යහපත් වෙළෙඳ පොළක් සකස් වෙමින් තිබෙනු දැකිය හැකිය. දියර කිරි ලීටරයක් රුපියල් 97ක්, 105ක් වැනි මුදලකට පාරිභෝගිකයාට ලබා ගැනීමට හැකියාව තිබුණද එය තමාට ප්‍රමාණවත් නොවන බව කිරි ගොවියන්ගේ අදහසයි. ඊට හේතුව පාරිභෝගිකයා අතට පත්වන කිරි නිෂ්පාදනය වෙළෙඳපොළ වෙත ඒමට පෙර කිරි ගොවියන් ඒ සඳහා දක්වන දායකත්වය සුළුපටු නොවන නිසාය. කිරි ගවයන් නඩත්තු කිරීමේදී සාන්ද්‍ර ආහාර මිල , ඛනිජ ද්‍රව්‍ය, සේවක වියදම, වැඩිවීමත් සමඟ කිරි ලීටරයක් සඳහා රජයේ පාලන මිල ප්‍රමාණවත් නොවන බව ගොවීන්ගේ අදහසයි. රටටම කිරි ලබා දුන්නත් කිරි ගොවියන්ගේ ජීවිත කිරියෙන් ඉතිරෙන්නක් නොවේ.

ගව පාලනය පිළිබඳව වසර පහක අත්දැකීම් ඇති මාවතගම, කෝන්ගස්වල ප්‍රදේශයේ එන්. ඩ්බ්.පී. සෝමපාල සිළුමිණට අදහස් දක්වමින් ඔවුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් ගැන පැවසීය. කිරි ගවයන් නඩත්තු කිරීමේදී ඒ සතුන් වෙනුවෙන් ගොවියාට වැය කිරීමට සිදු වන්නේ පැය අටක නවයක කාලයක් නොවේ. දවසේ පැය 24ම ඒ සඳහා වෙන් කළ යුතු බවත් එම ශ්‍රමය නොසලකා වියදමට සරිලන ආදායමක් ලැබෙනවා නම් කිරි ගව පාලනය හොඳ ව්‍යාපාරයක් බවත් ඔහු අප සමඟ කීවේය. එහෙත් මේ වන විට සමහර ආයතන කිරි වෙනුවෙන් ගොවින්ට ගෙවන්නේ රජයේ පාලන මිලටත් වඩා අඩු මුදලක් බව ද ඔහු සඳහන් කළේය.

“කිරි ලීටරයකට දැන් රුපියල් අනූ හතක් ගෙවනවා. රුපියල් 90ට තිබුණු කිරි ලීටරය රුපියල් 7කින් වැඩි වුණා. පුන්නක්කු මිල රුපියල් 1,500 සිට රුපියල් 2,300 දක්වා වැඩි වුණා. මගෙ ළඟ සතුන් හතර දෙනෙක් ඉන්නවා. එයින් කිරිදෙනුන් දෙන්නෙක් ඉන්නවා. මගේ ශ්‍රමය නැතුව දවස් 15 කට ඒ සතුන්ට විතරක් යන වියදම රුපියල් 6,000ක් පමණ වෙනවා. රජයෙන් ආධාර දෙන බව කිව්වත් අපිට කිසිම දෙයක් ලැබිලා නැහැ. මට හොඳ ගව ගාලක් හදාගන්නවත් කිසිම ආධාරයක් ලැබිලා නැහැ. ඒ සම්බන්ධව කතා කරන්න නිලධාරියෙක්වත් නෑ. සතුන්ගේ කෑම සහ බෙහෙත් මිල අධිකයි. අපි මාවතගම කිරි සමිතියට බැඳිලා හිටියත් කිසිම සහනාධාරයක් හෝ ණය මුදලක් ලැබිලා නැහැ“.

පල්ලේගම අලුත්ගම ප්‍රදේශයේ පදිංචි කේ.ජී.කේ.ඩබ්. සේනානායක කිරි හරක් තිස් දෙනකු යොදාගෙන කිරි ගව පාලනයේ නියැළී සිටින්නෙකි. කිරි ලීටරයකට ලැබෙන මුදලකට වඩා ඒ සඳහා දැරීමට සිදුවන වියදම වැඩි බව ඔහු ද අප සමඟ පැවසුවේය. සත්ත්ව ආහාර සකස් කරගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල, ඛනිජ ලවණ මෙන්ම විදුලි බිල ද ඉතා අධික වීම නිසා ඊට සාපේක්ෂව කිරි මිල සාධාරණ නොවන බව ඔහුගේ අදහසයි.

“අපිට ලාභයක් ලබන්න නම් ඒ සාන්ද්‍ර මිල පහළ දැමිය යුතුයි. නැතිනම් කිරි ලීටරයකට ගෙවන මිල ඉහළ දැමිය යුතුයි. සත්තු ටිකක් වැඩිපුර ඉන්න නිසා අපි සත්ත්ව ආහාර සෘජුවම ගන්නවා අඩුයි. නමුත් අමුද්‍රව්‍ය ලබාගෙන අපි ආහාර සකස් කර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය බඩඉරිගු පිටි සහ හාල් කුඩුවල මිල අධික. මේ ආහාර වලට අමතරව සතුන්ට තණකොළ දිය යුතුයි. මම දිනකට මගේ සතුන්ට ආහාර කිලෝ එකසිය අටක් ලබා දෙනවා. එක කිලෝ එකක වියදම රුපියල් හැට පහක්. එක දවසක ආහාර වියදම විතරක් රුපියල් හත්දහසක් වෙනවා. ලයිට් බිල්, ඛනිජ, සේවක වැටුපත් එක්ක දෛනිකව රුපියල් 5,000කට වැඩිය වැය වෙනවා. මගේ දෛනික කිරි ආදායම 12,600යි. දවසකට අතේ ඉතුරු වෙන්නේ රුපියල් 1,000 - 1500ක් විතර මුදලක්. මං මේ ව්‍යාපාරය ආරම්භ කළේ ලක්ෂ සීයක් විතර වියදම් කරලයි. ඒ වෙනකොට කිසිම බැංකුවකටවත් ණය වෙලා තිබුණෙ නෑ. නමුත් දැන් මම ණයකාරයෙක් බවට පත්වෙලා. මේ වෙද්දි මිල්කෝ ආයතනයෙන් කිරි ලීටරයකට රුපියල් 105ක් වගේ මුදලක් ලබා දෙනවා. අපේ වියදම ටිකක් හරි පාලනය වෙන්නෙ දැන් ගොමවලට හොඳ මිලක් ඇවිත් තියන නිසයි. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ පවතින තත්ත්වය එක්ක කිරි ආනයනය අඩු කරලා අපේ මේ කර්මාන්තය දියුණු කරන්න උදව් කරන්න කියලයි.“

කුරුණෑගල, හිරිපිටිය ප්‍රදේශයේ රංජිත් දේවප්‍රිය ද ගවයන් විසි පස් දෙනෙකු හිමි කිරි ගොවියෙකි. ඔහු 2017 දී කිරි ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ රුපියල් කෝටි හතරක පමණ පිරිවැයක් දරමිනි. එහෙත් එයින් ඔහු බලාපොරොත්තු වූ ආදායමක් නොලැබූ බැවින් තම දේපළ බැංකුව මඟින් වෙන්දේසි කරන තත්ත්වයට පත්වූ බව ඔහු අප සමඟ කීවේ සිත් තැවුලෙනි.

“පහුගිය දවස් ටිකේ වෙළෙඳපොලේ ආනයනික කිරි නැති වෙද්දි අපි හිතුවා අපේ කිරිවලට මිලක් ලැබෙයි කියලා. ඒත් නැවත වරක් ආනයනික කිරි පිටි බද්ද ඉවත් කිරීම නිසා අපි නැවත කබලෙන් ලිපට වැටෙනවා. 2017දී මම මිලට ගත් ආනයනික කිරි ගවයන්ගෙන් ගොඩක් සත්තු මැරුණා. දැන් ඉන්නේ විසි පස් දෙනයි. කිරි ගන්න දෙනුන් ඉන්නේ නව දෙනයි. එක් කිරි ගවයකුගෙන් කිරි ලීටර් හතරක්, පහක් වගේ ප්‍රමාණයක් තමයි දවසකට ගන්න පුළුවන්. කිරි ගවයෙක් ලක්ෂ පහමාරක් වෙනවා කියලයි දුන්නෙ. අපි ලක්ෂ දෙකක් වියදම් කළා. රජයෙන් ලක්ෂ තුනහමාරක් එක කිරි ගවයකුට වියදම් කළාලු. නමුත් මේ කිරි ගවයෙක් ලක්ෂ එකහමාරක්වත් වටින්නේ නෑ. ඒ වුණත් මට මේ සතුන් මැරෙන්න අරින්න බෑ. ඔවුන්ට නිසි පරිදි කෑම බීම, ඛනිජ සහ ඖෂධ සියල්ල ලබා දෙනවා. මම සේවකයෝ දෙන්නෙක් යොදාගෙන වැඩ කරගෙන යනවා. අපි ලබා දෙන කිරි ටිකටවත් සාධාරණ මිලක් අපිට ලැබෙනවා නම් හොඳයි. මේ වෙද්දි අපි විශාල ණය කාරයෝ බවට පත් වෙලා. මම බැංකුවට විතරක් රුපියල් කෝටි දෙකහමාරක ණයක් තියෙනවා. මේ පිළිබඳව අපි චමල් රාජපක්ෂ කෘෂිකර්ම අැමැතිතුමාට කිව්වාම එතුමා කිව්වා අපිව මේ ණයෙන් නිදහස් කර දෙන්නම් කියලා. නමුත් ඊටපෙර අමාත්‍යාංශය මාරුවුණා. ඊට පස්සේ ආව මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගෙන් මේ පිළිබඳව ඉල්ලීමක් කළාම එතුමා කිව්වා ණය ගෙවීම අවුරුදු දහයක් පස්සට දාලා දෙන්නම් කියලා. බැසිල් රාජපක්ෂ මහත්මයා ආර්ථික සංවර්ධන ඇමති වෙලා සිටි කාලෙදි තමයි අපි මේ ව්‍යාපාරයට යොමු වුණේ.“

කිරි ගොවියන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති සුසන්ත කුමාර නවරත්න සිය අදහස් පළ කළේ මෙලෙසිනි.

“අපේ රටේ ලක්ෂ 4 කට වැඩි කිරි ගොවියන් පිරිසක් ජීවත් වෙනවා. දැනට සියයට අසූවක් පමණ පිටරටින් කිරිපිටි ආනයනය කරනවා. මේ සඳහා විශාල මුදලක් රජය වැය කරනවා. ඒ ප්‍රමාණය අඩු කර කිරි ගොවියා නඟා සිටුවනවා නම් මේ රටේ ජනතාවට ආදායමක් ලැබෙනවා විතරක් නෙවෙයි, ගුණාත්මක කිරි පරිභෝජනයට ජනතාවටත් අවස්ථාවක් සැලසෙනවා. මහා පරිමාණ වයාපාරිකයන්ට ණය සහ ණය සහන දෙනවා වගේ අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගම්වල ඉන්න කුඩා පරිමාණයේ කිරි ගොවියන් ආරක්ෂා කරන්නත් පියවර ගන්න කියලයි“.

මේ පිළිබඳව අප වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ඩී.සී.එස්. පෙරේරාගෙන් විමසීමක් කළෙමු. ඔහු පැවසුවේ දැනට කිරි නිෂ්පාදනයෙන් දෙවැනි ස්ථානයේ පසුවන්නේ වයඹ පළාත බවයි. සුළු පරිමාණයේ කිරි ගොවියන් විශාල සංඛ්‍යාවක් වයඹ පළාතේ සිටින අතර එය ලංකාවේ වැඩිම නියෝජනයක් බවද අධ්‍යක්ෂවරයා පැවසීය. අඹේවෙල වැනි විශාල ව්‍යාපෘති තිබෙන නිසා කිරි සැපයීමෙන් මධ්‍යම පළාත ප්‍රථම ස්ථානයේ සිටියද වයඹ පළාතේ සත්ත්ව නිෂ්පාදන අංශයට වැඩිම ගොවියන් සංඛ්‍යාවක් එක්වෙමින් දේශීය ආර්ථිකයට මහත් සහයෝගයක් ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.

“වයඹ පළාත තුළ කිරි ගවයන් 57,000 ක් පමණ සිටිනවා. දැනට කිරි ලීටරයකට රුපියල් 90ක සම්මත මිලක් පාරිභෝගිකයන්ට ලැබීම ඉතාමත් වැදගත්. නමුත් අපි දන්නා ආකාරයට විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන මිල ගණන් යටතේ අපේ කිරි ලබාදීමේ හැකියාවක් නැහැ. මොකද කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක් නිෂ්පාදනය කිය කරන්න දියර කිරි ලීටර් 8 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් අද තියෙන මිලත් සමඟ කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 570ක වගේ මුදලක් වැය වෙනවා. නමුත් විදේශීය කිරිපිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් හාරසියයක් 450 ක් වගේ මුදලකට බදු ඉවත් කළාම ලබා ගන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ රටවල නිෂ්පාදන වියදම ඉතාමත් අඩු නිසයි. අපේ රටේ කිරි ගොවියාගේ මිල ඉහළ යාමට හේතුව නිෂ්පාදන වියදම ඉහළ යාමයි. නමුත් විදේශීය කිරිපිටිවලට වඩා දේශීය දියර කිරි සහ දේශීය කිරිපිටිවල ගුණාත්මක බව ඉතාමත් ඉහළයි. උදාහරණයක් ලෙස කියනවා නම් විදේශීය කිරිපිටි මෙරටට ගෙන්වා බෙදා හැරීම දක්වා වන කාලය තුළදී නිෂ්පාදනය මාස හය හතක් පමණ කල් ඉකුත් වෙනවා. ඒ කාලය තුළ ඒ කිරිපිටිවල ප්‍රෝටීන් විනාශ වෙනවා. ඒත් දේශීය කිරි සතියක් ඇතුළත පිටි බවට පත්වෙනවා. මේ නිසා ආනයනික කිරිපිටිවලට වඩා දේශීය කිරිවල ගුණාත්මක භාවය ඉතාමත් ඉහළයි. මේ නිසා අප දෙපාර්තමේන්තුවක් විදියට කිරි ගොවියා නඟා සිටුවීමටත් පාරිභෝගිකයාට ගුණාත්මක සේවාවක් ලබාදීමටත් සෑම විටම උත්සාහ දරනවා. මේ වන විට වයඹ පළාත තුළ පමණක් කිරි අලෙවිසැල් විසි එක් දහසක් පමණ තිබෙනවා. අපේ බලාපොරොත්තුව තව වසර තුනක් ඇතුළත මෙරට කිරි අවශ්‍යතාව සියයට සියයක් සම්පූර්ණ කිරීමයි. සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ දෛනික කිරි අවශ්‍යතාව ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මිලි ලීටර් 200 යි. නමුත් පරිභෝජනය කරන්නේ මිලිලීටර් 120ක් වගේ ඉතාමත් අඩු ප්‍රමාණයක්.“ ඔහු පැවසුවේ දේශීය කිරි කර්මාන්තයේ වටිනාකම පැහැදිලි කරමිනි.

කිරි, බිත්තර හා සත්ත්ව නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත්ගෙන් ද අප විමසා සිටියේ මෙරට කිරි ගොවියා හා කිරි මිල පිළිබඳව ඔහුගේ අදහසයි.

“දේශීය කිරි පරිභෝජන අවශ්‍යතාවෙන් සියයට හතළිහක් සපුරන්න අපිට හැකිවී තිබෙනවා . දැනට කිරි ගොවියා නඟා සිටුවීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් කිරි දෙනුන් ලබාදීම, කිරි දෙවීම සඳහා මැෂින් ලබාදීම , ගවගාල් සකස් කර ගැනීම ආදිය සඳහා මුදල් ආධාර ලබා දෙනවා. ඉදිරි වසර තුන ඇතුළත අපි දේශීය කිරි අවශ්‍යතාව සියයට සියයක් සපුරාලීමට අපේක්ෂාවෙන් කිරි ගොවියා නඟා සිටුවීමේ කටයුතු කරගෙන යනවා . රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හැටියට දේශීය කිරි ගොවියා නඟා සිටුවීම මගේ අමාත්‍යාංශඹය සහ අදාළ දෙපාර්තමේන්තු කටයුතු කරමින් සිටිනවා.“

දේශීය කිරි ගොවියා නඟා සිටුවීම සඳහා කළ යුත්තේ බිම් මට්ටමේ සිටින කිරි ගොවියන්ට අවශ්‍ය පහසුකම් සැපයීමෙන් වුවත් එය නිසි ලෙස සිදු නොවන්නේ අදාළ නිලධාරින් ඒ සඳහා නිසි මැදිහත්වීමක් සිදු නොකරන නිසා බව අප කළ නිරීක්ෂණයේදී පැහැදිලි විය. අප නිරීක්ෂණය කළ ප්‍රදේශ ගණනාවක කිරි ගොවියන් පිළිබඳව සොයා බැලීමට කිසිදු රජයේ නිලධාරියෙක් පැමිණ නොතිබීම නිසා ඔවුන්ට සිදුවී ඇත්තේ පාලන මිලටත් වඩා අඩු මිලට පෞද්ගලික ආයතනවලට කිරි විකුණන්නටය. රටට කිරි බෙදන කිරි ගොවියාගේ ජීවිතයටත් කිරි ඉතිරෙන දවසක් උදාවේ නම් එය ඔවුන්ගේ පමණක් නොව රටේම වාසනාවකි.

 කුමාරි දිසානායක, ඉබ්බාගමුව සමූහ

Comments