මෛත්‍රී ‘හිට් විකට්’ ද? | Page 2 | සිළුමිණ

මෛත්‍රී ‘හිට් විකට්’ ද?

ක්‍රිකට් පිටියේ මෙන් දේශපාලන පිටියේ 6 පහරවල් කිහිපයක්ම පසුගිය දිනවල දී දැකගත හැකිවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශවලින් දේශපාලන ක්ෂේත්‍රය වඩාත් රත් වී උණුසුම් වී තිබෙන නිසාය.

 

මෛත්‍රීගෙන් හිටපු අගමැතිට චෝදනා

 

2014 වර්ෂයේ ජනාධිපතිවරණයේ අන්තිම මොහොත දක්වා මෛත්‍රීපාල සිරිසේන ඉවසාගෙන සිටිය ද 2024 ජනාධිපතිවරණය තෙක් ඉවසන්නේ නොමැතිව මෛත්‍රී කට වරද්දා ගත්තා ද යන්නෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් අතර ද කසු කුසුවක් පැතිරෙමින් පවතී.

මෛත්‍රීගේ ප්‍රකාශ හේතුවෙන් ආණ්ඩුව සමඟ කැමැත්තෙන් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු යම් ගැටලුවකට මුහුණ පා සිටිති.

ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කැමැත්තෙන් සිටින්නේ සුළු පිරිසකි. බහුතරයක් කියන්නේ මේ අවස්ථාවේදී විපක්ෂයට යෑම සුදුසු නොවන නිසා තවදුරටත් ආණ්ඩුව සමඟ සිටිය යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයකු මෙන් ම වර්තමාන කැබිනට් මණ්ඩල සාමාජිකයකු හමු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් ප්‍රකාශ කොට ඇත්තේ ආර්ථික අර්බුදය ක්‍රම ක්‍රමයෙන් විසඳෙන නිසා මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉවත්වීම ඉදිරියේ දී අවාසිදායක විය හැකි බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශයක් ගැන දැඩි ලෙස අවධානය ආණ්ඩුවේ ප්‍රබලයින් විසින් යොමුකොට ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව විවේචනය නොකොට ඉවත් වෙනවා නම් එය කිසිදු ගැටලුවක් නොවන බව ආණ්ඩුවේ ප්‍රබලයින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු සාකච්ඡා කර තිබෙන බව ද වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් පොහොට්ටුව වාගේ ම එක්සත් ජාතික පක්ෂය ද දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දැඩි ප්‍රහාරයකට ලක්වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයායි.

යහපාලන ආණ්ඩුව බිඳ දැමීම සඳහා පොහොට්ටුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් එක් වී කුමන්ත්‍රණය කළ බවට ද මෛත්‍රීපාල සිරිසේන විසින් චෝදනා ක‍‍ළේය.

 

රනිල් මෛත්‍රීට කිව්වේ මොනවාද?

 

මේ අතර රනිල් වික්‍රමසිංහ ද මෛත්‍රීපාල සිරිසේනට අපූරු පිළිතුරක් ලබා දී තිබුණි.

"හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා එක්සත් ජාතික පක්ෂයට පහර ගැසූ අතර අද පොහොට්ටුවට පහර ගසන බවත්, ඊළඟ සැරේ තනියම ආවොත් තමන්ට ම පහර ගසා ගනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පක්ෂවලට චෝදනා නඟමින් කළ කතාවක් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන "ටික් ටොක්" ගෙන් පසුව පැමිණි අමුතු දේශපාලන චරිතයක් බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා 2015 වසරේ දී එක්සත් ජාතික පක්ෂයට පින් සිදුවන්නට ජනාධිපති වූ බවත්, 2020 දී පොහොට්ටුව තිබුණේ නැති නම් ඔහු පත් වන්නේ නැති බවත් සඳහන් කළේය.

තමා අග්‍රාමාත්‍යවරයාව සිටිය දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවලට පිළිතුරු දුන්නේ නැතැයි ද, වර්තමානයේ දී එලෙස පිළිතුරු දෙන්නට ද තමාට වුවමනාවක් නැත." නැති බව ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණි.

 

රවී, මෛත්‍රීගේ පතුරු අරී

 

මේ අතර යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබලයකු මෙන් ම එම ආණ්ඩුවේ හිටපු මුදල් අමාත්‍යවරයා මෙන් ම කාලයක් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක පසුගිය 11 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මෛත්‍රීපාල සිරිසේනගේ පතුරු ඇරියේය.

එදා කොහෙවත් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කළේ එක්සත් ජාතික පක්ෂයේ සාරවත් ඡන්ද පදනමයි. එතුමා රටේ ආරක්ෂක ඇමති ලෙස එදා රටේ ආරක්ෂාව නැති කළා. දැන් ඔහු සුදනෙක් වගේ හැසිරෙන විට එය පෙන්වා දීමට අපට යුතුකමක් තිබෙනවා.

සිරිසේන මහතා චරිත ඝාතනය කළත් මට එවැනි දෙයක් කරන්නට කිසිම අවශ්‍යතාවක් නැහැ.

මගෙ ළඟ මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් ලිපිගොනු හතරක් තිබෙනවා. මා එය ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඒත් ඒවායේ අසත්‍යතාවක් තිබේ නම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි හිටපු ජනාධිපතිවරයාට මම අභියෝග කරනවා. මේ ප්‍රශ්න අදින්නේ නැතිව සිටීමේ ප්‍රතිවිපාක අදත් අපට විඳින්න වෙලා. සුදු රෙදි ඇදගෙන දේශපාලනය කරන්නට හදන පුද්ගලයෙක් ගැන තොරතුරු අපේ ළඟ තියෙනවා.

එතුමා සිගරට් සම්බන්ධයෙන් වෛරී දේශපාලනයක් කළා. රෙස්ටුරන්ට්, බාර් ලයිෂන් දෙන්න එපා යැයි අණ දුන්නා. ඒ ගැන අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් 2015 ජුනි මාසයේ දී තමන්කඩුවෙ රෙස්ටුරන්ට් එකකට ලයිෂන් දෙන්නැයි ඉහළින්ම නියෝගයක් එනවා. අනෙක් අයට කරන්න එපා කියා මෙයා මේවා කරනවා. ඒ පිළිබඳව සාක්කි අප සතුව තිබෙනවා. කෙසේ හෝ මේ පිළිබඳ තොරතුරු මාධ්‍යයට ගියා. ජනාධිපතිවරයා සිතුවේ මේ තොරතුරු අප විසින් මාධ්‍යයට දුන් බවයි.

සිරිසේන මහතා සුදු ඇඳුම් ඇඳගෙන ගුණමකුවකු ලෙස අද හැසිරෙමින් සිටිනවා. එතුමා මහින්ද රාජපක්ෂ මහතා සමඟ ආප්ප කා එදා එළියට බැස්සා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ අවස්ථාව මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන්නා. මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කළේ චන්ද්‍රිකා කුමාරතුංග. ඒත් වසරක් යාමට පෙර එතුමියට හිරිහැර කරන්නට පටන් ගත්තා. උදව් කරන ඕනෑම කෙනෙකුට වැඩිපුර හානි කරන්නේ ගුණමකුවන්." යනුවෙන් ද රවී මෛත්‍රීට චෝදනා කර තිබුණි.

 

ජනපතිට රුවන්වැලිසෑය නාහිමියන්ගෙන් පොතක්

 

රුවන්වැලිසෑය අබියස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සහභාගි වන විශේෂ ආගමික උත්සව කිහිපයක් ද සංවිධානය වී තිබිණි. අනුරපුර ජනාධිපති මන්දිරයේ මඳක් විවේකගත් ජනාධිපතිවරයා හවස රුවන්වැලිසෑය බලා පිටත්ව ගොස් මුලින්ම කළේ රුවන්වැලිසෑය විහාරාධිකාරී පල්ලේගම හේමරතන හිමියන්ව බැහැ දැකීමය. උන්වහන්සේ සමඟ ටික වේලාවක් රටේ තොටේ විස්තර කතාබහ කරමින් සිටියේය. කලාකරුවෙක්, සාහිත්‍යකරුවෙක්, ගීත රචකයෙක් ලෙසින් සමාජයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරමින් වැඩ වසන හේමරතන හිමියන්ට සමාජ දේශපාලන කටයුතු ගැන ද යම් දැනුමක් හා උනන්දුවක් තිබිණි.

රටේ තොටේ මේ දිනවල සිදුවන යම් යම් දේවල් ගැන පොඩි සාකච්ඡාවක් ඇති වූයේ ඒ නිසාය.

ඔබ වහන්සේගේ සාහිත්‍ය කටයුතු එහෙම කොහොමද දැන්? අලුතින් සින්දු එහෙමත් ලියවිලා ඇති.

ඒ මොහොතේ හේමරතන හිමිපාණෝ ජනාධිපතිවරයාට තමන් ලියූ ගීත ඇතුළත් අලුත්ම ගීත පොත වූ "සඳ මඬල විය" පොතෙන් පිටපතක් පිරිනැමූහ.

අපි යමු වෙහෙර වැඳ පුදා ගන්න කියමින් හේමරතන හිමිපාණෝ ජනාධිපතිවරයාට රුවන්වැලිසෑය වඳින්නට ආරාධනා කළහ.

ඒ වන විට අනුරාධපුර අටමස්ථාන ප්‍රදේශයට යම් වැහිබර කාලගුණික තත්ත්වයක් උදා වී තිබුණෙන් සියලු ආරක්ෂක නිලධාරීහු සිටියේ ඊට ඕනෑම මොහොතක සූදානම්වය.

ඒ මොහොතේ මොර සූරන මහ වරුසාවක් සලපතළමළුව ප්‍රදේශයට ඇද හැලෙන්නට විය. හේමරතන හිමිපාණෝ ජනාධිපතිවරයාව සලපතළ මළුවේ සුගන්ධ කුටිය වෙත කැඳවාගෙන ගියහ.

ඒ අතර සලපතළ මළුව තුළ වැහි ආවරණයක් නොමැතිකමින් වැස්සෙන් බේරෙන්නට සුගන්ධ කුටිය කෙළවර තෙරපෙන සෙනඟ අතරේ සිටි සාමණේරයන් වහන්සේ පිරිසක් ජනාධිපතිවරයාගේ නෙතට හසු විය.

"අර පුංචි හාමුදුරුවරු කට්ටියක් හොඳටම තෙමෙනවා. වඩින්න කියන්න මේක ඇතුළට. ජනාධිපතිවරයා එසේ කීවත් ආරක්ෂක නිලධාරීන් ඊට තරමක් අදිමදි කළේ සුගන්ධ කුටිය ඇතුළෙහි ඒ තරම් පිරිසකට සිටින්නට ඉඩක් නොමැති වූ නිසාය.

"කමක් නෑ වඩින්න කියන්න උන්වහන්සේලාට. තෙරපිලා හරි ඉමු. උන්වහන්සේලා තෙමෙද්දී අපිට බලා ඉන්න පුළුවන්ද." යනුවෙන් ජනාධිපතිවරයා පැවසූ අතර ඉන්පසුව එම ස්වාමීන් වහන්සේ සුගන්ධ කුටියට වැඩම කළහ.

 

අගමැතිවරයාගේ කතාවට ඉහළ ප්‍රතිචාරයක්

 

වරාය ගොඩනැඟීම මඟින් මේ රට නාවික කේන්ද්‍රයක් බවට පත්කරමින් ආසියාවේ බලවත් රටක් ලෙස ඉදිරියට යාමට තැබූ බලාපොරොත්තුව අත්හැර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් පැවසීය.

දකුණු ආසියාවේ සමුද්‍රීය කේන්ද්‍රස්ථානය කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් පසුගිය (12) වැනි දින පෙරවරුවේ මේ බව අවධාරණය කළේය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා කළ කතාවට ලැබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි.

නැඟෙනහිර පර්යන්තයේ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම පවත්වා ගනිමින් මෙසේ සංවර්ධනය කෙ‍රෙන පර්යන්තයේ මුළු දිග මීටර් 1320 කි. එය අදියර තුනක් යටතේ 2024 ජුලි මාසය වන විට සාදා නිම කිරීමට නියමිතය.

සමහරු අහනවා මේ වාගේ අමාරු කාලයක මේ වාගේ අමාරු වැඩක් ආරම්භ කරන්නේ ඇයි කියලා. අපේ රටේ තිබුණ ගොඩක් ආණ්ඩු දුෂ්කරතා ඉස්සරහ පස්සට ගිය ආණ්ඩු. එල්ටීටීඊ ත්‍රස්තවාදය පැතිරුණ නිසා උතුරු නැඟෙනහිර මායිම කිට්ටුවටවත් සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න 77 ඉඳන් පත් වුණ ආණ්ඩු බය වුණා. ඔබට මතකයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයවත් හදන්න කැමැති වුණේ නෑ එදා. යුද්දෙ ඉවර කරන්න පුළුවන් කියලා හිතුවේ නෑ ඔහොම.

නමුත් අපි යුද්ධය තියෙන අතරෙම තමයි අධිවේගී මාර්ගයේ වැඩ පටන් ගත්තේ. ගුවන්තොටුපොළේ වැඩ පටන් ගත්තේ එහෙම තියාගෙන.

අධිවේගී මාර්ග හදන්න, සියක් නගර ව්‍යාපෘති ආරම්භ කරන්න විතරක් නෙවෙයි වරාය බටහිර පර්යන්තය ගොඩ නැඟීමත් අපි පටන් ගත්ත. අපිට මේ රට ගැන විශාල බලාපොරොත්තුවක් තියෙනවා. නිකරුණේ ගෙවිලා ගිය වසර දෙකක කාලය ගැන ළතවෙලා වැඩක් නෑ. දැන් පලක් නෑ. ඒක වැදගත් විපක්ෂයට විතරයි. ආණ්ඩුවට වැදගත් වෙන්නේ ඉදිරි වසර තුන පිළිබඳවයි. අතීතය නෙවෙයි අනාගතයයි අපි භාරගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

දිනේෂ්, ආණ්ඩුවේ පාර්ශ්වකරුවන්ගේ වගකීම සිහිපත් කරයි

 

පසුගිය දින කිහිපය තුළ මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, පක්ෂයේ ආසන බල මණ්ඩල, කලාප රැස්වීම් රැසක් කැඳවා තිබුණ අතර පසුගිය ඉරිදා පැවැත්වුණේ, මහජන එක්සත් පෙරමුණේ අවිස්සාවේල්ල ආසන බල මණ්ඩලයේ, පාදුක්ක කලාපීය ක්‍රියාකාරී සාමාජිකයන්ගේ විශේෂ හමුවකි.

"ජනතාව නිර්මාණය කළ ආණ්ඩුව ආරක්ෂා කිරීමේ වගකීම එහි සියලු පාර්ශ්වකරුවන්ට තියෙනවා." ම.එ.පෙ. නායකයා කියා සිටියේ, ආණ්ඩුව අභ්‍යන්තරය පිළිබඳ ප්‍රචාරය වන කරුණු ගැන ප්‍රතිචාර දක්වමිනි.

"මේ ප්‍රචාර නිසා නිලධාරීන් කළ යුතු වැඩ හරියට කරන්නෙ නැති බව පේනවා." පක්ෂ ක්‍රියාකාරිකයෙකු මතු කළ, එම අදහසට ද දිනේෂ් ප්‍රතිචාර දැක්වීය.

"ඔව්, ඇතුළත කතා කරලා විසඳගන්න ඕන කරුණු පිටත දී කතා කරන්න ගියාම, යම් ඉරිතැලීම් ඇති වෙන්න පුළුවන්. මොකද පසුගිය යහපාලන ආණ්ඩුව, රටේ ආර්ථිකය බිංදුවට වට්ටා තිබූ මොහොතක ජනතාව, මෙම ආණ්ඩුව තෝරා ගත්තේ විශාල බලාපොරොත්තු එක්ක." මීට එක්ව සිටි ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන විශේෂ කරුණක් මතු කළේය.

 

මෛත්‍රී ගැන ප්‍රසන්නගේ ස්ථාවරය

 

එදින සවස බස්නාහිර පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් නාමල් රාජපක්ෂ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණී. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවැති මෙම සාකච්ඡාවේ දී වරාය නැගෙනහිර පර්යන්තයේ වැඩ ඇරඹීම, වරාය බටහිර පර්යන්තයේ වැඩ ඇරඹීම, මීරිගම සිට අධීවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීම මෙන් ම බස්නාහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද සාකච්ඡා විණි.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙළට මෙහි දී මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල විය.

"ඒ අය ආණ්ඩුව නියෝජනය කරන්නේ නැහැ වගෙයි කතා කරන්නේ" මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා කීවේය.

"ඒක නම් ඇත්ත, මම නම් මේ දීගෙට මුල ඉඳලාම විරුද්ධයි. හිටපු ජනාධිපතිතුමා ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ. මම යන්නේ නැහැ කියලා ඊළඟ දවසේ හංසයාගෙන් ඡන්දේ ඉල්ලන්න ගියා. ඊට පස්සේ මහ මැතිවරණයේදී මහින්ද මහත්තයාගේ ජනප්‍රියත්වයෙන් ඡන්ද ටික ලැබෙන තැනටම මැතිවරණ ව්‍යාපාරය ගෙනත් දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වා. අන්තිම මොහොතේ පක්ෂ ලේකම්වරු කණපිට ගැහුවා.ඊට පස්සෙ එ.ජා.ප. දීගය කැඩී ගෙන යනකොට තනියම ඡන්දයට ගියොත් ඇපත් නැහැ කියලා දන්න නිසා පොහොට්ටුවට හේත්තු වෙලා යන්තම් මන්ත්‍රී ධූර ටිකක් දිනාගත්තා. දැන් කියනවා ඒ අයලු මැතිවරණය දිනෙව්වේ." ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා හැමදාමත් දක්වන විරෝධය එහිදී ද පෙන්විය.

"අපේ ඇමැතිතුමා කියන දේ හරියටම හරි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනාගත්තේ එක මන්ත්‍රී ධූරයයි. ඒකත් දිනාගන්න පුළුවන් වුණේ පොහොට්ටුව එක්ක එකතු වුණ නිසා. තනියම ඉල්ලුවා නම් ඒ ආසනයත් ලැබෙන්නේ නැහැ." මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා නැවතත් කීවේය.

"ඔය කියන කාරණයේ ඇත්තක් තියෙනවා. පහුගිය කාලයේ සිදුවීම් දිහා බැලුවාම ඒ අය සාමුහික වගකීම කඩකරන බවක් තමයි අපිටත් පේන්නේ" නාමල් රාජපක්ෂ ඇමැතිවරයා කීවේය.

"විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ ඉන්නවා. හොඳටම දන්නවා තමන්ට කොවිඩ් පාලනය කර ගන්න බැහැ කියලත් දන්නවා. විදේශ විනිමය ප්‍රශ්නයට හරි ආර්ථික ප්‍රශ්නයට හරි තමන්ට දෙන්න තරම් විසඳුමක් නැහැ කියලත් දන්නවා. තමන්ට දැක්මක් නැති වුණත් වැඩපිළිවෙළක් නැති වුණත් ඒ අය උත්සහ කරන්නේ කොහොම හරි බලය ගන්න." ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා නැවතත් කීවේය.

"ඇමතිතුමා කියන කතාව ඇත්ත. ඒ අයට ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් දීලා තියෙන කොට ඒ අය සාමූහික වගකීම ආරක්ෂා කරන්න බැදිලා ඉන්නවා. ඒ වුණාට හොඳ ප්‍රතිඵල ලැබෙනවා නම් විතරයි ඒ ගොල්ලො වගකීම් දරන්නේ. නරක ප්‍රතිඵල එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ අතර කතාවට ලක්වෙන දේවල් සම්බන්ධයෙන් ඒ අය හිමින් සැරේ ලිස්සලා ගිහින් ඇග බේරා ගන්නවා." නාමල් ඇමැතිවරයා ද පිළිතුරු දුන්නේය.

 

කිරිඇල්ල දැක්ක දේශප්‍රේමීන්

 

සජිත් ප්‍රේමදාස උතුරු පළාත පුරා සංචාරය කරන අතරේ සූම් හරහා සජබ සෙසු නායකයන් හා මන්ත්‍රීවරු සමඟ ද සජිත් අදහස් හුවමාරු කරගත්තේය.

පළාත් පාලන ඡන්ද වසරකින් කල්තැබීම ගැන රට දැනුම්වත් කිරීම මහලේකම් රංජිත්ට පැවරිණ. "යහපාලන කාලේ ඡන්ද කල්දානවායි මරහඬ දුන් පොහොට්ටුව වසර දෙකක් ගිහිනුත් පළාත් සභා තියල නෑ. දැන් පළාත් පාලනත් කල් දාලා. පරාජය ඒකාන්ත නිසා ආණ්ඩුව ඡන්දවලට බයයි. වීදි බැහැපු කසකස්ථාන ජනතාව ඒ ආණ්ඩුව ගෙදර යැව්ව බව මෙයාලත් තේරුම් ගන්න ඕනෑ" රංජිත් කීවේය.

"දශක ගණනක් ඉන්දියාවට අයිති කරගන්න බැරිවූ අපේ තෙල් ටැංකි මේ පාලකයෝ පාවා දුන්නා. ඒ වෙනුවෙන් එක ඩොලරයක් ලංකාවට නොලැබුණ බව ටී. වී. සාකච්ඡාවක දී ආණ්ඩුවේ වෘත්තීය සමිති පිළිගත්තා. රටවල් විකුණන දේශප්‍රේමීන් දැක්කමයි" කිරිඇල්ල කීය.

ආණ්ඩුවේ ආර්ථික උපාය අසාර්ථක නිසා සජබ උපායන් ගැන ආචාර්ය හර්ෂගෙන් විමසූ විට ඔහු එය පැහැදිලි කළ අයුරු ගැන කාගේත් ප්‍රශංසාව පළවිය.

"එජාපය ගෙනිච්චේ නව ලිබරල් ආර්ථිකයයි. ආණ්ඩුවේ නියාමනය එතන තිබුණෙ නෑ. සජබ ගෙනියන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙළෙඳපොළ ආර්ථිකයේ ආණ්ඩුවේ නියාමනය ඉහළින් තියෙනවා" හර්ෂ පැහැදිලි කළේය.

"ඩොලර් ණය කන්දක් නොව ඩොලර් සංචිත කන්දක් හැදීම අරමුණයි. අපට එය කළ හැකියි" හර්ෂ වැඩිදුරටත් කීය.

"නිවැරදි ආර්ථික කළමනාකරණයත් සජබට කළ හැකියි. ජාති ආගම්වාද පතුරන්න දක්ෂ වුණත් මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය බින්දුවට ෆේල්" ඉරාන් කීවේය.

වජිර මනාලියන් බලන්න යයි

 

පසුගිය සඳුදා සන්ධ්‍යාවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණියේ අරුන්දතී කලා ආයතනය සංවිධානය කළ 2022 මාතෘමෝදම් මනාලියන් දැක්ම හා එහි ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වීමටය.

අරුන්දතී කලා ආයතනයේ සභාපති කේ. කරුණාකරන්ගේ උපදෙස් පරිදි දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තෝරාගෙන තිබූ මෙම මනාලියන් දැක්ම හා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියයි.

උත්සවය ආරම්භ වී සුළු වේලාවක් ගතවන විට වජිර අබේවර්ධන එහි පැමිණෙනවාත් සමඟ ශිරන්ති රාජපක්ෂ මහත්මියත් පැමිණ වජිරට යාබද අසුනේ අසුන් ගත්තේ පැමිණ සිටි අයගේ පිළිගැනීම් මධ්‍යයේය.

මනාලියන් දැක්ම නැරඹූ වජිර සහ ශිරන්ති ත්‍යාග ප්‍රදානය කර තේ පානයෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටවන තෙක්ම මිත්‍රශීලී කතාබහක නියැළුණු අයුරු දක්නට ලැබිණි. දෙදෙනා අතර කතාබහ වූ කරුණු මොනවාද යන්න දැන ගැනීමට මාධ්‍යවේදීන් දැඩි කුතුහලයකින් ඒ දෙස බලා සිටියද ඒ කතාව එම දෙදෙනාට පමණක් සීමා විය.

එක්සත් ජාතික පක්ෂ පාලනයක් රට තුළ යළි ස්ථාපිත කිරීම සඳහා පක්ෂයේ සංවිධාන ජාලය බලගැන්වීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා සිරිකොත දී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට රුවන්, වජිර, රංගේ, අකිල, සාගල, ශමල් ඇතුළු පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටි අතර පක්ෂයේ සියලු සංවිධාන තර කරමින් එම සංවිධාන සියල්ල පෙබරවාරි මාසයේ සිට දිස්ත්‍රික් මට්ටමින් වැඩකටයුතු ආරම්භ කළ යුතු බව මෙහිදී තීරණය කරන ලදි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය අය - වැය විවාදයේදී පාර්ලිමේන්තුවේ දී සිදු කළ සම්පූර්ණ කතාව මුද්‍රණය කොට රටේ සියලූම පළාත් පාලන ආයතනවල එජාප මහජන නියෝජිතයින්, අපේක්ෂකයින් හා ක්‍රියාකාරීන් වෙත ලිපි 20,000 ක් යැවීමේ වැඩකටයුතු වජිර අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි එතුමන්ගේ කාර්යාලය මඟින් පසුගිය සතියේ සිදුකරනු ලැබීය.

 

නාමල්ගේ මැදිහත්වීම බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට

 

භානුක රාජපක්ෂ ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්වීමට ගෙන තිබූ තීරණය දැනගත් ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ වහාම ඒ ගැන සොයා බැලුවේය.

භානුක වැනි දක්ෂ ක්‍රීඩකයකු ජාතික කණ්ඩායමේ සිටිය යුතුම අවස්ථාවක දී භානුක ගත් මෙම තීරණයෙන් ක්‍රිකට් ලෝලීන් ද පත්ව සිටියේ අදහාගත නොහැකි තත්ත්වයකිනි.

එම තීරණය වෙනස් කරන ලෙසට භානුකට ලිපියකින් දැනුම් දුන් නාමල් භානුකව මුණ ගැසීමට ද අමතක නොකළේය.

මීට පෙර සිටි ඇතැම් ක්‍රීඩා අමාත්‍යවරුන් ක්‍රීඩකයින්ගේ බඩවල් ගැන කතා කරමින් ක්‍රීඩකයින් අසරණ තත්ත්වයකට පත් කරද්දී නාමල් මැදිහත් වී ක්‍රීඩකයින් රැක ගැනීමට කටයුතු කිරීම බොහෝ දෙනෙකු කතා කළේ දැඩි ප්‍රසාදයකිනි.

 

වසර 32 කට පසුව තරුණ සේවා සභාවට පැමිණි අමුත්තා

 

තරුණ සංවර්ධන කටයුතු හරියාකාරව සිදුවුවහොත් එම රටෙහි අනාගතය පිළිබඳව සුබ නිමිති පහළ වීම නිරායාසයෙන් ම සිදුවන්නකි. මෙරට තරුණ සංවර්ධන කටයුතු ද අද වන විට සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ ඇති බැව් ඇස් පනාපිටම පෙනෙන්නට ඇති සත්‍යයකි. තුරුණු සිතුම් පැතුම් හඳුනන අමාත්‍යවරයකු මෙන්ම තරුණ කටයුතු අධ්‍යක්ෂවරයකු ද සිටීම එහි රහස බව තතු දන්නෝ හොඳින්ම දනිති. එම නායකයන් දෙදෙනාගේ මැදිහත්වීම මත ඉකුත් දා මහරගම තරුණ සේවා පරිශ්‍රයට ජපන් තානාපතිවරයා ප්‍රමුඛ දූත පිරිසක් සපැමිණි අතර, සැබැවින්ම එයද මෙරට තාරුණ්‍යයට නවමු අපේක්ෂා දල්වාලීමකි.

ජාතික තරුණ සේවා සභාව හෙවත් 'තාරුණ්‍යයේ මහගෙදර' යනු මෙරට තාරුණ්‍යය වෙනුවෙන් ජපන් රජයෙන් ලැබුණු පරිත්‍යාගයකි. 1988 වර්ෂයේ දී එය මෙරට තාරුණ්‍යය වෙනුවෙන් පිරිනැමුණු අතර, ඉකුත් දා මෙහි පැමිණි ජපන් තානාපති මිසුකොසි හිදෙකිගේ මූලික ම අරමුණ වී තිබුණේ මධ්‍යස්ථාන පරිශ්‍රය නිරීක්ෂණය කිරීමය. මේ සංචාරයට ජපානයේ නියෝජ්‍ය තානාපති කොතාරෝ කත්සුකි සමඟ කොන්සල් ජනරාල් කවකාමි තකයුකි ද එක්ව සිටියහ. තරුණ සේවා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට මෙලෙස ජපන් රජයේ නියෝජිතයකු පැමිණ ඇත්තේ එය විවෘත කර වසර 32 කට පසුවය. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ උපදෙස් මත තරුණ සේවා සභාපති දමිත වික්‍රමසිංහ ඇතුළු පිරිස විසින් කරන ලද ඇරයුම පිළිගනිමින් පැමිණි තානාපතිවරයා ඇතුළු පිරිස මුළු සභා පරිශ්‍රයේම ඇවිද නිරීක්ෂණය කර සතුටු වූ අතර ඔවුහු ඉනික්බිති සභාපති දමිත වික්‍රමසිංහ ඇතුළු සභා බලධරයන් සමඟ සාකච්ඡා ආරම්භ කළහ.

Comments