මාතර ගඟේ සිටිනා කිඹුල් පැටවුන් මිනී නොකන බව හෙළ ජනකවියා පැවසුවත් සිල් සමාදන් වූ කිඹුලන් ගැන නම් අප මෙතෙක් අසා නැත. ඉඳහිට හෝ අසන්නට ලැබෙන්නේ ගංගා, වැව්, වගුරු බිම් ආශ්‍රිතව ජීවත් වන කිඹුලන් විසින් මිනිසුන් ගොදුරු කරගත් අවස්ථා පමණි. එහෙත් කිසිම විටෙක මුහුදේදී සිදුවූ කිඹුල් ප්‍රහාරයක් ගැන අසන්නට ලැබී නැත. නමුදු නව වසර උදාවත් සමඟ ජනවාරි 03 වැනිදා මුහුදේදී සිදුවූ කිඹුල් ප්‍රහාරයක් ගැන මෙරටින් අසන්නට ලැබුණේ ප්‍රථම වතාවට ය.
මෙය වාර්තා වූයේ දෙහිවල මුහුදු කලාපයෙනි. දෙහිවල දුම්රියපොළ පිටුපසින් වූ ගොඩගල අසල මුහුදු තීරයේ ගැඹුරු මුහුදේ කිමිදීමට ගිය කිරුළපනගේ සෝමසිරි පීරිස් (ජයන්ත) කිඹුලකුට ගොදුරු වීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය. රත්මලාන කල්දෙමුල්ල සුනාමි ධීවර ගම්මානයේ පදිංචි වී සිටි 58 වැනි වියේ පසුවූ සෝමසිරි පීරිස් 16 වැනි වියේ පටන් ගැඹුරු මුහුදේ කිමිදී සුරතල් මසුන් ඇල්ලීම ජීවිකාව කරගත් අයෙකි. ඔහුගේ එකම දියණිය තක්ෂිලා දිල්රුක්ෂි ය.
“හැමදාම උදේ 6.00 ට විතර ගෙදරින් පිටත්වෙලා ගිහින් දෙහිවල මුහුදේ කිමිදිලා විසිතුරු මාළු අල්ලාගෙන එනවා. එයා පුරුදු වෙන්න කරන රස්සාවක් නෙමෙයි මේක. එයා බෝට්ටුවෙන් නෙමෙයි යන්නේ. පීනාගෙන යන්නේ. ඒ සඳහා ඔක්සිජන් ටැංකි භාවිත කළේ නැහැ. කිමිදුම් ඇඳුමත් ඒ සඳහා අවශ්‍ය පා වරල් පමණයි භාවිත කළේ. උදේ 10.00 ට විතර එයාව කිඹුලා ගොදුරු කරගෙන තියෙන්නේ.
මට දවල් 12.00 ට විතර ගෙවල් ළඟ හිතවතෙක් ඇවිත් සිදුවූ කරදරය කිව්වා. මම සැමියාගේ නංගි සමඟ කළුබෝවිල රෝහලට ගියා. එතැනදී දැනගන්න ලැබුණා සැමියා මියගොස් ඇති බව.” සෝමසිරිට අත්වූ ඉරණම ගැන එසේ පැවසුවේ සෝමසිරි පීරිස්ගේ බිරිඳ වන ලක්ෂ්මී පෙරේරා ය. කිඹුලන් දෙදෙනකු මෙම මුහුදු කලාපයේ සැරිසරන බව මිය ගිය සෝමසිරි පීරිස්ගේ ඥාතීහු පවසති. කිඹුලා ඇල්ලීමේ මෙහෙයුමක් දෙහිවල මුහුදු කලාපයේ ආරම්භ කර තිබෙන්නේ එම නිසාය. නැතහොත්, සෝමසිරි පීරිස් වැනි කිමිදුම් කරුවන්ට පමණක් නොව මුහුදේ බැස පිහිනන දෙස් විදෙස් සංචාරකයන්ට ද කිඹුලන්ගෙන් එල්ල විය හැකි ජීවිත තර්ජන සුළුපටු නැත.
“මට කෝල් එකක් ආවා කිමිදුම්කරුවකුව කිඹුලෙක් අල්ලලා කියලා. ඒ වෙලාවෙම කිමිදුම්කරුවන් පිරිසක් ගොඩට ආවා. මම තවත් හතර දෙනෙක් එක්ක බෝට්ටුවකට නැඟලා මුහුදට ආවා. මම දැක්කා කිඹුලා ඔහු අල්ලාගෙන යට යනවා. ආපසු උඩට එනවා. මම බෝට්ටුවේ ඇන්කර් එක කිඹුලාගේ ඇඟේ පැටලෙන්න දැම්මා. ඊට පස්සේ බෝට්ටුව වේගයෙන් ඉස්සරහට ගත්තා. එවිට කිඹුලා සෝමසිරිව අත් හැරියා. කිඹුලා ඔහුගේ උරහිසෙන් අල්ලාගෙන හිටියේ. උරහිස නැතිව අතකින්වත් අල්ලාගෙන තිබුණා නම් අඩු ගණනේ අත දීලාවත් එන්න තිබුණා. උරහිසෙන් ඇල්ලුවාම ඔහුට මුකුත් ම කරගන්න බැහැනේ. අපි ඔහුව අරගෙන ගොඩට ආවා.” යැයි පැවසුවේ කොළඹ දිස්ත්‍රික් විසිතුරු මසුන් අල්ලන්නන්ගේ සමුපකාර සමිතියේ සභාපති රංජිත් සිල්වා ය.
මෙම සිද්ධිය ඇසින් දුටු වෘත්තියෙන් කිමිදුම්කරුවකු වන දෙහිවල දුම්රියපොළ පාරේ පදිංචි කන්නිපුලිගේ නන්දන කුෂාන්ත එම සිද්ධිය විස්තර කළේ මෙලෙසිනි.
“ මගේ නිවෙස පිහිටා තිබෙන්නේ අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ. කිඹුලකු විසින් පුද්ගලයකු ඩැහැගෙන ගොස් ඇති බව දැනගත් විට මමත් පිරිස සමඟ එම ස්ථානයට ගියා. ඒ යද්දී කිමිදුම්කරුවන් භාවිත කරන පා අාවරණ වෙරළේ සිට මීටර් 100ක් පමණ දුරින් මුහුදේ පා වෙනවා දැක්කා. ඒ ආසන්නයේම කිඹුලෙකුත් සිටියා. අපි කිඹුලා ඉන්න තැනට එකවරම ගියේ නැහැ. කිඹුලා අපේ බෝට්ටුව පෙරළලා අනතුරක් කරයි කියලා අපිට සැක හිතුණා. කිඹුලා අතෑරපු පුද්ගලයාව බෝට්ටුවේ දාගෙන එනවිට තමයි දැනගත්තේ අනතුරට ලක්වුණේ ජයන්ත බව. ඒ වන විට ජයන්තගේ නහයෙන් සුදු පාට සෙම වැනි යමක් පිටවී මුහුණේ පැතිරී තිබුණා”
ගොඩට රැගෙන ආ සෝමසිරි පීරිස් වහාම දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන ගිය ද ඔහු මරණයට පත් වූයේ මුහුදේදී කිඹුල් ප්‍රහාරයකට ගොදුරු වී මෙරට මිය ගිය පළමුවැන්නා බවට පත් වෙමිනි.
මෙම සිදුවීම බොහෝ දෙනකුගේ විමතියට හේතු වූයේ කිඹුලන් මුහුදේ වාසය කිරීම මෙරට අප්‍රකට කාරණයක් වන නිසාය. එහෙත් ගැට කිඹුලන්ට මුහුදේ වාසය කළ හැකි අවස්ථාව ස්වභාව ධර්මයෙන් හිමි වී තිබේ. Salt Water Crocodile යනුවෙන් ගැට කිඹුලන් හඳුන්වනු ලබන්නේ එබැවිනි.
“ලංකාවේ කිඹුල් වර්ග 2 ක් ජීවත් වෙනවා. ඒ ගැට කිඹුලා සහ හැල කිඹුලා. මුහුදට ආසන්න මෝයකට සහ වගුරු බිම්වල වගේම ගංගාවලත් ගැට කිඹුලන් ජීවත් වෙනවා. පානම, මාතර ප්‍රදේශවල ගැට කිඹුලන් බහුලව ගැවසෙනවා. අපි මීට වසර එක හමාරකට පමණ ඉහතින් කිඹුලන් ගැන සංගණනයක් කළාම එහිදී අපිට වාර්තා වුණා ගැට කිඹුලන් ගණන 1000 කට ආසන්න බව. හැල කිඹුලන් 7000 ක් පමණ වාර්තා වුණා. හැල කිඹුලන් වැඩිපුරම දක්නට ලැබුණේ යාපනය ප්‍රදේශයෙන්. ගැට කිඹුලන් කියන්නේ අඩි 20 ක් විතර දිග දැවැන්තම උරග විශේෂයක්. ගැට කිඹුලා සහ හැල කිඹුලා පහසුවෙන් වෙන්කර හඳුනාගන්නේ බෙල්ලේ කොරපොතුවලින්. හැල කිඹුලාගේ බෙල්ලේ තියෙන කොරපොතු පොල්කට්ටක බාගයක් තරම් විශාලයි. ගැට කිඹුලාගේ කොරපොතු තියෙන්නේ කොස් ගෙඩියක පිට තියෙන කටු කටු ස්වභාවයෙන්.” යනුවෙන් උරග විශේෂ පිළිබඳ විද්‍යාඥ ඇන්සලම් ද සිල්වා පැහැදිලි කළේ ය.
කිඹුලා චලතාපී සත්ව විශේෂයකි. බාහිර උෂ්ණත්වය ප්‍රභවයක් ලෙස පාවිච්චි කරන කිඹුල් සත්ව විශේෂය සංචරණය කරන සතුන් වශයෙන් හඳුනාගෙන ඇත. දිවා කාලයේ වතුරේ සිටින කිඹුලෝ රාත්‍රියේ ගොඩබිමට පැමිණෙති. නිරන්තරයෙන් වායුව ආඝ්‍රාණය කරන මෙම සත්ව විශේෂය වතුර යට සිට මතුපිටට පැමිණ නාසය උඩට තබා වායුව ආඝ්‍රාණය කර නැවතත් වතුරේ යටට ගමන් කරති. ගැට කිඹුලන් කරදියේ සිටිය ද දීර්ඝකාලීනව එහි වාසය කිරීමේ හැකියාවක් නැත. බොහෝ විට එක් මෝය කටකින් මුහුදට පැමිණ තවත් මෝය කටකින් රට අභ්‍යන්තරයට ගමන් කිරීම සඳහා ගමන් මාර්ගය වශයෙන් ගැට කිඹුලන් තෝරා ගන්නේ මහ මුහුදයි. කරදියේත් මිරිදියේත් වාසය කරන කිඹුලන්ගේ ක්‍රියාකාරිත්වය දැඩි වෙන්නේ ජලයේදීය. අංශක 180 කින් ඇස් කැරකවීමේ හැකියාව ඇති කිඹුල් සත්ව විශේෂය උපක්‍රමශීලීව ගොදුරු කරගැනීමට හපන්නු වෙති.
කිඹුලන්ට ජලය නොසෙල්වෙන සේ තම වල්ගය දෙපසට රිද්මයානුකූලව වනමින් පිහිනා යෑමේ හැකියාවක් ඇත. එම නිසාම ගොදුරට ලක්වන තැනැත්තාට නොතේරෙන සේ ළංවී එක්වර කඩා පැනීමේ හැකියාවක් පවතී. එමෙන් ම පිහිනන විට ජලයේ පතුල දිශාවට වල්ගය දමා ජලය කළඹමින් මසුන් දඩයම් කිරීමක් සිදු කෙරේ. ජලයේ ගමන් කරන විට ශරීරය සම්පූර්ණයෙන් ගිලී තිබේ. ගොදුරකට ළංවන විට පමණක් ඇස් හා නාස් පුඬු පෙනෙන පරිදි ජලයේ මතුපිටට පැමිණේ. කිඹුල් පැටවුන් බිහිවන්නේ බිත්තර මඟිනි. වරකට දමන බිත්තර ප්‍රමාණය කිඹුල් වර්ගය අනුව වෙනස් වේ. සාමාන්‍යයෙන් වරකට බිත්තර 20 - 90 අතර ප්‍රමාණයක් දමනු ලබයි.
“ලංකාවේ මුහුදේ ගැට කිඹුලන් සිටින අවස්ථා වාර්තා වී තිබෙනවා. මෙම අවාසනාවන්ත සිද්ධිය වුණේ දෙහිවල. දෙහිවල මුහුදට කිඹුලන් ආවේ කොහෙන්ද කියලා අපි විමසා බැලිය යුතුයි. කොළඹ ඇළ මාර්ග ආශ්‍රිතව ගැට කිඹුලන් සිටින බව වාර්තා වී තිබෙනවා. බත්තරමුල්ල පැත්තේ ඉඳලා හැව්ලොක් ටවුම හරහා ගලා යන ඇළ මාර්ගය මුහුදට වැටෙනවා. මුහුදට ගැට කිඹුලන් පැමිණි මාර්ගය ගැන අපිට අනුමාන කරන්න වෙන්නේ ඒ විදිහටයි. දැන් බොරලැස්ගමුව, බෙල්ලන්විල යන ප්‍රදේශවල සිදු කළ ක්‍රියාකාරකම් නිසා ඒ ප්‍රදේශ මුහුදු මට්ටමට වඩා ගැඹුරුයි. එතකොට, ඒ ප්‍රදේශවලට මුහුදු ජලය කාන්දු වෙලා ලවණ ගතිය වැඩි වෙනවා. ලවණ ගතිය වැඩි ප්‍රදේශවල ජීවත් වෙන්න ගැට කිඹුලන් කැමතියි. එහි ප්‍රතිඵලයක් විදිහට ගැට කිඹුලන්ගේ බෝවීම වැඩි වෙනවා. කිඹුල් පැටවුන්ව ලොකු පක්ෂීන් ආහාර හැටියට ගන්නවා. ඒත් මේ ප්‍රදේශවල සිදු කළ ක්‍රියාකාරකම් නිසා වගුරු බිම්වල ලොකු ගස් නැහැ. ලොකු ගස් නැති වුණා ම ලොකු කුරුල්ලන්ට ඉන්න ස්ථාන නැතිව යනවා. එයින් සිද්ධ වෙන්නේ කිඹුලන්ගේ විලෝපිකභාවය නැතිවී කිඹුල් ගහනය ඉහළ යෑමයි. එය අනාගතයේදී ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්.“ යනුවෙන් ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති, පුබුදු වීරරත්න සඳහන් කළේ ය.
මුහුදේදී කිඹුලකු ඩැහැගත් සෝමසිරි පීරිස්ගේ මරණය තවත් එක් සිදුවීමක් ලෙස සැලකිය නොහැකි වන්නේ එම නිසා ය. ඔහු වැනි තවත් කිමිදුම්කරුවන්, ධීවරයන් සහ දෙහිවල ගල්කිස්ස මුහුදු තීරයේ ස්නානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් පවා ගැට කිඹුලන්ගේ ගොදුරක් වීමේ අවදානම පවතින බව ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති, පුබුදු වීරරත්න තවදුරටත් පැහැදිලි කළේය. මුහුදේ දී මිනිසුන් කිඹුලන්ට ගොදුරු වන අවස්ථා ඕස්ට්‍රේලියාවෙන් වැඩි වශයෙන් වාර්තා වන බව ද ඔහු පැවසීය.
“අන්දමන් දූපත්වල ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ සංචාරක කර්මාන්තය. ඒ රටේදී විදේශික කාන්තාවක්ව කිඹුලෙක් අල්ලාගෙන ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඉන්දීය රජයෙන් මේ ප්‍රශ්නය ගැන සොයා බලන්න උපදේශක කමිටුවක් පත් කළා. ඒ උපදේශක කමිටුවේ සාමාජිකයෙකු හැටියට මාවත් තෝරාගෙන තිබුණා.” යැයි උරග විශේෂ පිළිබඳ විද්‍යාඥ ඇන්සලම් ද සිල්වා පැවසීය.
දෙහිවල මුහුදේදී සෝමසිරි පීරිස් ගොදුරු කරගත් කිඹුලා 3 වැනිදා සවස් කාලයේදී මුහුදු කලාපය ඔස්සේ පානදුර දෙසට ගමන් කරන අයුරු වනජීවී නිලධාරීන්ගේ නිරීක්ෂණයට හසු වී තිබිණි. අඟහරුවාදා බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අසලින් ගලා බසින ඇළ මාර්ගයේ ගැට කිඹුලකු දක්නට ලැබී තිබේ. කොළඹ ප්‍රදේශයේ ජලය මුහුදට ගලා බසින වැල්ලවත්ත ඇළ, බොල්ගොඩ, ලුණාව ආදී ඕනෑම ඇළ මාර්ගයක් ඔස්සේ කිඹුලන්ට මුහුදට පැමිණීමේ හැකියාව පවතී. එමෙන්ම මෙම ඇළ මාර්ග ඔස්සේ රට අභ්‍යන්තරයට ද ගමන් කළ හැකිය.
“මුහුද නිරීක්ෂණය කිරීමට අපි වනජීවී නිලධාරීන් යොදවා තිබෙනවා. හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් පියවර ගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කිඹුලන් අල්ලා ගත් විට අපි වනජීවී සංරක්ෂිත හෝ ජල මූලාශ්‍රවලට මුදා හැරීමේ කටයුතු කරනවා. සමහර අවස්ථාවල වනජීවී නිලධාරීන් විසින් කිඹුලන් අල්ලාගෙන ගෙනියනවා. සමහර විට ප්‍රදේශවාසීන් අල්ලලා දුන්නාම වනජීවී නිලධාරීන් රැගෙන ගොස් මුදා හරිනවා. මෙතෙක් මුදා හැර තිබෙන්නේ හැල කිඹුලන් පමණයි. ගැට කිඹුලන් අල්ලාගෙන මුදා හරින ලද අවස්ථා වාර්තා වෙලා නැහැ. හැබැයි මේ කිඹුල්ලුන්ගෙන් රෞද්‍ර ගැට කිඹුලන්. නමුත් ලංකාවේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ හැල කිඹුලන්.” යනුවෙන් පැවසුවේ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක අංශ ප්‍රධානී හෂිණි සරච්චන්ද්‍රයි.
කිඹුලාට බිලිවූ සෝමසිරි පීරිස්ගේ අවසන් කටයුතු ඉකුත් 6 වැනිදා සිදු කෙරිණි.
ඉඳහිට කිඹුෙලක් මිනිසකු ගොදුරු කරගත් විට ඒ ගැන මහ ඉහළින් කතා කෙරෙති. කිඹුලන් අල්ලාගෙන යන ආකාරය මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරෙති. එහෙත් එය කිඹුල් කඳුළු හෙළිය යුතු හුදු සිද්ධියක් පමණක් නොවේ. කිඹුල් ගහනය ගැන, කිඹුලන්ගේ සංචරණ කලාප ගැන අවධානය යොමු කළ යුතු වෙනමම කතාවකි.