පින්නවල අලි නම් මංගල්‍යය | සිළුමිණ

පින්නවල අලි නම් මංගල්‍යය

හඟුරන්කෙත මාඔය ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපති මතුරට පියුමතුරා හිමියෝ අලි පැටවුන්ගේ ඇස්වහ, කටවහ දොස් දුරුකිරීමේ චාරිත්‍ර ඉටු කළ අයුරු

- දේශීය සංස්කෘතිය සමඟ බැඳුණු නම් තැබීමේ උත්සවයක් පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට 
- නම් තැබීමේදි උපන් වෙලාවට ගැළපෙන අක්ෂර තෝරා ගත්තා 
- නිවුන් පැටවුන් දෙදෙනාගේ නම් සජ්ජන සහ දිසා

දිනය ජනවාරි 11 වැනි අඟහරුවාදා ය. වේලාව උදෑසන 9.00ට ආසන්න විය. සුරංගි කෙමෙන් කෙමෙන් පා නගමින් සම්භාවනීය අමුත්තන් රැසක් එකතු වී සිටි පිට්ටනියට පැමිණියේ සිය නිවුන් දරු දෙදෙනා සමඟිනි. ඊට ආසන්නයේ තැනූ මණ්ඩපයේ වැඩම කර සිටි ස්වාමීන්වහන්සේලා නොබෝ වේලාවකින් පිරිත් සජ්ඣායනය ආරම්භ කරන විට සුරංගි සහ දරු දෙදෙනා ඒමේ අත නළියමින් වගේ වගක් නැතිව සිටියේ ඒ අය හස්ති පරම්පරාවට අයත් වූ නිසාය. සුරංගිටත් ඇගේ දරු දෙදෙනාටත් මෙහි සිදු වන්නේ කුමක්දැයි යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති නමුත් එය ඔවුන් අරභයා සිදු කෙරෙන කටයුත්තක් බව තේරුම් ගැනීමට හැකියාවක් තිබිණි. 

පින්නවල අලි අනාථාගාරයේදී එසේ උත්සවශ්‍රීයෙන් ආරම්භ වූයේ හස්ති පැටවුන්ට නම් තැබීමේ මංගල්‍යයයි. අලි අනාථාගාරයේ ප්‍රථම වතාවට උපන් නිවුන් අලි පැටවුන් දෙදෙනාටත් තවත් අලි පැටවකුටත් නම් තැබීම මෙම අවස්ථාවේදී සිදු කෙරිණි.

නිවුන් අලි පැටවුන් දෙදෙනා උපත ලැබුවේ 2021 අගෝස්තු 31 වැනිදා ය. එක් පැටවකු අලුයම 4.30ට උපත ලැබූ අතර අනෙක් නිවුන් පැටවා උපත ලැබූවේ එදිනම පෙරවරු 10.00ටය. පින්නවල අලි අනාථාගාරයේ ප්‍රථම වතාවට උපන් මෙම පිරිමි නිවුන් අලි පැටවුන්ගේ මව වන්නේ සුරංගි ඇතින්නයි. පණ්ඩු නම් අලියා මෙම පැටවුන්ගේ පියා ය. එක් පැටවකුගේ උපත් බර කිලෝ ග්‍රෑම් 55ක් විය. දෙදෙනාම අඩු උපත් බරින් යුක්ත වීම නිසා පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය සහ සත්කාර මධ්‍යයේ ඇතිදැඩි කෙරිණි. නම් තැබීමේ අවස්ථාවට අදාළ අනෙක් පැටවා කෙණෙරකි. 2021 සැප්තැම්බර් 10 වැනිදා අලුයම 1.26ට උපන් මෙම ගැහැනු පැටවාගේ මව වන්නේ රැජින නම් කෙණෙර වන අතර පියා වන්නේ පණ්ඩු අලියා ය. මෙම පැටවා රැජින කෙණෙරගේ 5 වැනි දරු උපත ලෙස වාර්තා වන අතර සුරංගි ඇතින්නගේ දෙවැනි දරු උපත වන්නේ නිවුන් අලි පැටවුන් දෙදෙනා ය.

“පින්නවල අලි අනාථාගාරයේ අලි උපතක් සිද්ධ වුණේ වර්ෂ 6කට පසුව. ඊට පෙර අවසන් වතාවට අලි පැටවකු ඉපදුණේ 2015 ජූලි 09 වැනිදා. මෙම නිවුන් පැටවුන් දෙදෙනා පින්නවල ඉපදුණු 72 සහ 73 වැනි අලි උපත් ලෙස වාර්තා වෙනවා. රැජිනගේ පැටවා මෙහි උපන් 74 වැනි පැටවා. පින්නල අලි අනාථාගාරයේ හා හා පුරා කියලා අලි උපතක් සිද්ධ වුණේ 1984 ජූලි 05 වැනිදා. විජය කියන අලියාට දාව කුමාරි කියන කෙණෙරට තමයි මෙම ඓතිහාසික අලි උපත සිද්ධ වුණේ. පළමුවෙන්ම ඉපදුණු පැටවා සුකුමලී ලෙස නම් කර තිබෙනවා. මෙහි ඉපදෙන පැටවුන්ගේ උපන් වේලාව සටහන් කරගෙන ඒ වෙලාවට ගැළපෙන අක්ෂර බලලා තමයි අලි පැටවුන්ට නම් තබන්නේ. නක්ෂත්‍රකරු අක්ෂර දුන්නාම අපේ කට්ටිය නම් ගණනාවක් යෝජනා කරලා යවනවා. නම් තෝරා ගැනීම සිද්ධ වෙන්නේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අමාත්‍යවරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනුයි.” යනුවෙන් පැවසුවේ පින්නවල අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල ය.

මේ ආකාරයට කණ්ඩායමකගේ තේරීමට අනුව නිවුන් අලි පැටවුන් දෙදෙනාගේ නම් ලෙස සජ්ජන සහ දිසා යන නම් තැබිණි. රැජිනගේ පැටවාට තැබූ නම වන්නේ නීලමනී ය. එහෙත් මෙම නම් තැබීමේ උත්සවයට රැජින කෙණෙර හෝ පැටවා සහභාගි වූයේ නැත. නිරෝගි සම්පන්න උපතකට උරුමකම් පෑ රැජිනගේ පැටවා ස්වාභාවික පරිසරයට එකතු වී කෙළිදෙළෙන් කාලය ගත කිරීමට කැමැත්තක් දැක්වීම ඊට හේතුවයි. මාඔයේ දියබුං ගසමින් ගලින් ගලට පැන සිය සනුහරේ ඇසුරේ විනෝදයෙන් කල් ගෙවන රැජිනගේ පැටවාට නම් තැබීමේ උත්සවයකට සහභාගි වීමට වඩා, සොබා දහමත් සමඟ බද්ධ වී ප්‍රීතියෙන් ගත කරන කාලය අගයක් ගැනීම නිසාම මව සහ පැටවා නම් තැබීමේ උත්සවයට සහභාගි නොකර නිදහසේ සැරිසරන්නට පින්නවල අලි අනාථාගාරයේ අය ඉඩ දී තිබිණි.

සුබ හෝරාවෙන් නම් තැබුණු පසුව පැටවුන්ගේ නම් සඳහන් කළ උප්පැන්න සහතික පත්‍ර බාර දීම ද මෙහිදී සිදු කෙරිණි. ඉන් අනතුරුව සුරංගි ඇතින්නට කිරිබත් සහ පලතුරුවලින් සමන්විත රසවත් භෝජනයක් පිරිනමනු ලැබීය. එහෙත් සජ්ජන හා දිසා පැටවුන්ට එය අකැප විය. පැටවුන් දෙදෙනාට මීපැණි පිරිනැමුණේ අලින්ට මීපැණි ඉතා ප්‍රණීත මෙන්ම ඖෂධීය වටිනාකමකින් යුතු ආහාරයක් නිසාය.

“මෙම නම් තැබීමේ උත්සවය පින්නවල අලි අනාථාගාරයට විශේෂ අවස්ථාවක්. මෙහි අලි උපතක් සිද්ධ වුණේ වසර 6කට පසුවයි. ඒනිසා අපි හිතුවා මෙම අවස්ථාව උත්සවශ්‍රීයෙන් සැමරීම හොඳයි කියලා. අනික පින්නවල ප්‍රථම වතාවට උපන් නිවුන් අලි පැටවුන් වීම නිසා මෙය අපට ඉතාමත් වැදගත් වෙනවා. මෙහි උපත ලැබූ අලි පැටවුන්ට නම් තැබීමේ අවස්ථා වරින් වර පැවැත්වුවත් මෙවර පැවැත්වූ උත්සවය ඓතිහාසික උත්සවයක්. මොකද අපි හස්ත ශාස්ත්‍රය ගැන යම් අධ්‍යයනයක් කරලා අපේ සංස්කෘතිය සමඟ බද්ධ කර ගත් උත්සවයක් හැටියටයි මෙය පැවැත්වුවේ. අලි පැටවුන්ගේ ඇස්වහ කටවහ දෝෂ දුරු කරලා සතරවරම් දෙවිවරුන්ට බාර දීමේ කටයුත්තකුත් මෙහිදී සිද්ධ වුණා. මෙවැනි දෙයක් මෙහි සිදු කළේ ප්‍රථම වතාවටයි. අද ගොඩාක් දෙනා දන්නේ අලි - මිනිස් ගැටුම ගැන, අලි මිනිසුන් මරනවා කියන කතා ගැන. අලි සම්බන්ධයෙන් තිබෙන ඍණාත්මක අදහස් මිනිස් සිත්සතන් තුළින් ඉවත් කරලා අතීතයේ පටන් බැඳිලා තිබෙන අලි සංස්කෘතිය මතක් කරදීමට මට අවශ්‍ය වුණා.” යනුවෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ විස්තර කළාය.

නම් තැබීමේ උත්සවය අවසානයේ දී සියල්ලන් විසිරී ගිය පසුව ඇස්වහ කටවහ දෝෂ දුරු කිරීමේ වතාවත් පැවැත්විණි. මෙම කටයුත්ත සිදු කළේ හඟුරන්කෙත මාඔය ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපති මතුරට පියුමතුරා හිමියන් විසිනි. අලි පැටවුන් වටා කිරි කළයක් කරකවමින් හිස් කිරිවලින් නහවා කිරි කළය බිඳ දැමීමත් දෙහි කැපීමත් අලිගාල වට කර පහන් 4ක් දැල්වීමත් උන්වහන්සේගේ අතින් සිදු විය.

“අලින්ගේ ඇස්වහ කටවහ දෝෂ ඉවත් කරලා ආරක්ෂා කරන්නේ උත්සවයේ සියලු කටයුතු අවසාන වුණාට පස්සේ. හැමෝම අලි පැටවුන්ට කන්න දීලා අතගාලා හුරතල් කරලා ගියාම වස් වදින අවස්ථා තිබෙනවා. සමහරු අලින්ගේ ඡායාරූප අන්තර්ජාලයේ පවා දමනවා. එතකොට මුළු ලෝකයම මේ සත්තුන් නරඹනවා. එහෙම වුණාම එය නපුරක් වෙන්න පුළුවන්. හොඳට ඉන්න අලි එකපාරටම මැරෙන්නේ ඒ නිසයි. අලි ශාස්ත්‍රය මට ලැබුණේ මගේ ගුරු හාමුදුරුවන්ගෙන්. අපේ වෙද පරම්පරාව ලබුතලේ වෙද පරම්පරාව. ගුරු පරපුරේ 2 වැනි පරපුරට තමයි මම අයිති වෙන්නේ. ලොකු හාමුදුරුවන්ට අයිති වෙද පොත් පුස්කොළ පොත් රාශියක් තිබුණා. මම ඉගෙනගත්තේ ඒ පොත්වලින්. මම මිනිසුන්ටත් වෙදකම් කරනවා. ඒ අතරේදි අලි සාස්තරේ ප්‍රගුණ කරලා කෙම් ක්‍රම, බෙහෙත් දීම, ඇස්වහ කටවහ දෝෂ ඉවත් කිරීමත් සිද්ධ කරනවා. අලි ගාල වටා පහන් 4ක් දල්වන්නේ සතර වරම් දෙවිවරුන්ට. ශක්‍රයාගේ වාහනය ‍ෛඑරාවණ හස්තියා. ඒ නිසා අලි සතරවරම් දෙවිවරුන්ට බාරදීලා ආරක්ෂා කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අලි මන්තර, අලි කෙම් සහ වෙදකම් පුරාණයේ පටන් පැවතගෙන එන දේවල්. ඉතිහාසයේ පටන් අනිත් සත්වයින්ට වඩා හස්තියා සුවිශේෂි සත්වයෙක්. අපි ඉස්සෙල්ලාම සතාව හඳුනාගන්න ඕනෑ. මේ පැත්තේ ඉන්නවා දමුණුපොළ අලියා. ඒ සතා හරි ප්‍රචණ්ඩයි. මම දවසක් පොඩි කෑමක් කන්න දීලා හුරතල් කළා. එදා ඉඳලා අලියා හීලෑ වුණා. අදටත් පන්සල පැත්තෙන් යනවා නම් පන්සලට ඇවිත් මාව බලලා හුරතල් වෙලා යන්නේ. තව දවසක් පෙරහරක යන අලියෙක් කුලප්පු වෙලා අලි බලන්නා පස්සේ පැන්නුවා. අන්තිමට අලියාව හීලෑ කරගෙන පෙරහරේ අලියාව අරගෙන ගියේ මම.” යනුවෙන් හඟුරන්කෙත මාඔය ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපති මතුරට පියුමතුරා හිමියෝ පැවසූහ. 

පින්නවල අලි අනාථාගාරයේ උපත ලබන අලි පැටවුන්ගේ උපන් වේලාවට ගැළපෙන අක්ෂර අනුව නම් තැබීම සිදු කෙරුණත් සෑම අවස්ථාවකදිම ඒ ආකාරයට සිදු කෙරෙන්නේ නැත. සැබැවින්ම මෙහි උපදින පැටවුන්ට නම් තැබීමේ නිශ්චිත ක්‍රමවේදයක් නැත. වනයේ අතරමං වී සිටින අලින් වනජීව අමාත්‍යාංශයෙන් පින්නවල අලි අනාථාගාරයට බාර දෙන විට නම් තබා බාරදීම සිදු කරනු ලබන්නේ වනජීවී අමාත්‍යාංශයේ නිලධාරින් විසිනි. නිදසුනක් ලෙස මෙහි උපන් නිවුන් පැටවුන්ගේ මව වන සුරංගි ඇතින්න හමුවී තිබෙන්නේ ත්‍රිකුණාමලයේ සුරංගල්ගම ආශ්‍රිත ප්‍රදේශයකිනි. සුරංගල්ගම නිසා ඇත් පැටවාට සුරංගි ලෙස නම තැබිණි. මාතලේ ප්‍රදේශයෙන් හමු වූ කෙණෙර මාතලි නම් විය. අනුරාධපුරයෙන් හමු වූ බැවින් කෙණෙර අනුරාධා වූ අතර අනුරාධා බිහි කළ කෙණෙර පැටවාට නම තැබුවේ අනුරාධිකා යනුවෙනි. මඩකළපුව නිල්ගල ආශ්‍රිතව හමුවූ අලියාට වනජීවියෙන් නම තබා ඇත්තේ නිල්ගල යනුවෙනි. බිබිල ප්‍රදේශයක් මුණගැසුණු අලියා බිබිලෙ නමින් හඳුන්වනු ලැබීය.

“පින්නවල උපදින අලි පැටවුන්ට නම් තැබීමේදී සෑමවිටම උපන් වේලාවට අනුව ගැළපෙන අක්ෂර බලලා නම් තැබුවේ නැහැ. එහෙම තියපු අවස්ථාත් තියෙනවා. නැති අවස්ථාත් තියෙනවා. සමහර වෙලාවට සිද්ධි මුල් කරගෙන නම් තැබූ අවස්ථාත් තිබුණා. බිනර පෝය දවසේ ඉපදුණු නිසා බිනර කියලා නම දැම්මා. ඇසළ පෝය දවසේ ඉපදුණු නිසා ඇසළ කියලා නම දැම්මා. 2009 මැයි 18 යුද ජයග්‍රහණය දවසට ආසන්න දවසක උපන් අලි පැටවාට නම තැබුවේ දිනුදා කියලා. සමහර වෙලාවට වසභ, මහසෙන් වගේ රජවරුන්ගේ නම් තැබූ අවස්ථාත් තිබුණා.” යනුවෙන් සඳහන් කළේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ දුමින්ද ජයරත්න ය. ඔහු 1997 – 2001 කාලයේ අතිරේක අධ්‍යක්ෂ ලෙසත් 2008 – 2009 කාලයේ අධ්‍යක්ෂ ලෙසත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කටයුතු කර ඇත. 

අලි සංස්කෘතිය සමඟ සම්බන්ධ වෙමින් නම් තැබීමේ උත්සවයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වුවද මීට පෙර, 2012 ජුන 10 වැනි දින පින්නවල අලි අනාථාගාරයේදී පැවැත්වූ නම් තැබීමේ උලෙළකට මා (ලියුම්කරු) සහභාගි වූයේ වෙනත් පුවත්පතක සේවය කරමින් සිටියදීය. එකී නම් තැබීමේ උත්සවය පැවැත්වීමට නිමිති වූයේ 2010 දෙසැම්බර් මාසයේ සිට 2011 වර්ෂය යන කාලය තුළ අලි පැටවුන් විශාල සංඛ්‍යාවක් උපත ලබා තිබීමයි. එකී කාලය තුළ උපන් අලි පැටවුන් සංඛ්‍යාව 15කි. මෙම අලි පැටවුන් 15 දෙනාගේ උපන් වෙලාවන්ට ගැළපෙන අක්ෂර පරීක්ෂා කර බැලීමෙන් නම් තැබීම සිදු කෙරිණි. එහෙත් එහි ඇති විශේෂත්වය වූයේ අලි පැටවුන් 15 දෙනාගෙන් 12 දෙනකුට නම් තැබුවේ නරඹන්නන් වීමයි. එදා අලි පැටවුන්ට එල්විනා, ට්‍රින්කි වැනි නම් තබනු ලැබුවේ පින්නවල නැරඹීමට පැමිණ සිටි විදේශිකයන් විසිනි. එල්විනා නම යෝජනා කළ ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාව, ඈ දැඩි ලෙස ඇලුම් කරන අලි සත්ව විශේෂයෙන් 1ක් අලියකු හෝ සිය නාමයෙන් හැඳින්වීම පිළිබඳව දැඩි සේ සතුටට පත්වන බව ඈ පැවසූ අයුරු තවමත් මට මතකය. එවකට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, භාෂ්වර සේනාංක ගුණරත්න විසින් අලි පැටවකුට දැමූ නාමය වූයේ නන්දි ය. එවකට සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත් විසින් තැබුවේ බිනුකි ය. අයුකි යන නම තැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් විසිනි.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ජනවාරි 11 වැනි දින පැවැත්වූ නම් තැබීමේ උත්සවයට ද සහභාගි විය. ඒ හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාජිකා වික්‍රමසිංහ සහ උදයකාන්ත ගුණතිලක, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ. වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මෙම උත්සවයට සහභාගි වූවේ නැත. එහෙත් නිවුන් අලි පැටවුන් බිහි වූ අවස්ථාවේදී ඔහු පැමිණ සුවදුක් විමසූ අතර නම් තෝරා ගැනීමේ කටයුත්තට ද දායක වූ බව සඳහන් කළ යුතුය.


ඡායාරූප - රඹුක්කන විශේෂ
ඔස්වල්ඩ් ගොඩකුඹු

Comments