කාබ­නික වගා­වෙන් කප් ගැසූ අපූරු ගොවි­යෙක් | Page 2 | සිළුමිණ

කාබ­නික වගා­වෙන් කප් ගැසූ අපූරු ගොවි­යෙක්

තක්කාලි අස්වැන්න වෙ‍ෙළ­දපොළට ඇසු­රුම් කරන කාන්තාවක්
තක්කාලි අස්වැන්න වෙ‍ෙළ­දපොළට ඇසු­රුම් කරන කාන්තාවක්

සියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික පොහොර යොදා ගෙන අක්කර තුන හමාරක භූමියක තක්කාලි වගාවෙන් මෙවර එක කන්නයකින් රුපියල් මිලියන 10ක මුදලක් උපයාගත් ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයෙන් අපට හමුව විය. ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වගාකරුවකු වූ එස්. ඒ. රත්නපාල මේ සාර්ථක අස්වැන්න ලබාගෙන තිබේ.

වර්තමානයේ කාබනික පොහොර සහ රසායනික පොහොර අනෙකුත් පළිබෝධ නාශක ද්‍රව්‍ය පිළිබඳව අත්දැකීම් රැසක් ඇති රත්නපාල මහතා තක්කාලි වගාවට අමතරව අක්කර 6ක පමණ සාර්ථක කහ වගාවක් ද පවතී.

වසර ගණනාවක් සිට කාබනික වගාවට හුරු වී සිටින රතනපාල ගොවියා කියා සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අනුමාන කරන අස්වැන්නට වඩා වැඩි‍ අස්වැන්නක් තමන් තක්කාලි වගාවෙන් ලබන බවය.

එම අස්වැන්න ලබා ගැනීම සඳහා මූලික හේතු පාදක වී ඇත්තේ කාබනික පොහොර තම භූමියට හුරුකර ගැනීම නිසාවෙන් බව ද ඔහු සඳහන් කර සිටී.

එස්. ඒ. රත්න­පාල

එමෙන්ම තක්කාලි අස්වැන්න නෙළා අවසන් ව තිබියදී නැවත ජලය සැපයීමත් සමඟ තක්කාලි ගස් වල දලු රිකිලි ලැබී නැවතත් මල් හට ගෙන ඇති අවස්ථාවක නව අස්වැන්නක් නෙළා ගැනීම තවත් සාර්ථක ක්‍රමවේදයක් සොයා ගැනීම්ට හැකි වූ බව රතනපාල ගොවියා පෙන්වා දෙයි.

එළවළු වගාව සියයට සීයක් කාබනික පොහොර වලින් පමණක් සිදු කිරීමට නොහැකි බවත් අනිවාර්යෙන් රසායනික පොහොර සියයට තිහක අවශ්‍යතාවක් පවතින බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම තම වගාවේ බරපතළ ම හානිය බවට පත්ව ඇත්තේ හඳුනා නොගත් ඉතා සියුම් ප්‍රමාණයේ පණුවකු තක්කාලි වගාවේ ළා කොළවලට සහ මල්වලට හානි කරන බවය.

මෙතෙක් එම පණුවන් මර්දනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් කෘෂිකර්ම බලධාරීන්ද පර්යේෂණ අංශවලට පවා දැනුම් දුන්න ද ඒ කෘමීන් මර්දනය සිදු කිරීමට අපොහොසත් වී යැයි ඔහු පෙන්වා දෙයි.

වගාව කාබනිකව සරු කර ගත්ත ද කෘමි හානි හා දිලිර රෝගවලට මෙතෙක් කාබනිකව ක්‍රමවේදයක් හෝ බෙහෙතක් ගොවීන්ට හඳුන්වා දී නොමැතිකම බරපතළ තත්ත්වයක් බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.

පසුගිය කාලයේ වෙළෙඳපොළ වසා දමා තිබුණු අවස්ථාවේ විශාල පාඩුවක් සිදු වූ බවත් මෙවර තක්කාලි මිල ඉහළ යෑමත් සමඟ තමන්ගේ අස්වැන්නට නිසි මිලක් ලැබීම නිසා රුපියල් මිලියන 10 ක පමණ ආදායමක් අක්කර තුන හමාරක තක්කාලි වගාවෙන් ලබා ගැනීමට හැකි වූ නිසා අනෙකුත් වගාවන් සිදු කිරීමට තමන්ට හැකියාව ලැබුණ බවත් කම්කරුවන් සඳහා වැටුප් ගෙවා නැවත වගාව ආරම්භ කිරීමට විශාල රුකුලක් වූ බව ද රත්නපාල වැඩිදුරටත් පෙන්වා සිටියේය.

 රත­න­පාල ගොවි­යාගේ නව තක්කාලි වගාව 
 

තක්කාලි වගාවට අමතරව රතනපාල කාබනික සියයට හැත්තෑවක් රසායනික පොහොර සියයට තිහක් යොදාගෙන සාර්ථක කහ වගාවක් සිදු කරමින් සිටින අතර තවත් මාස කිහිපයකින් ඉතා සාර්ථක අස්වැන්නක් රටට ලබා දීමට හැකි බව රත්නපාල පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් තම වගාව පිළිබඳව අදහස් දැක්වූ එස් .ඒ . රතනපාල මෙසේ පවසයි.

" මම අවුරුදු ගණනාවක් ඉඳලා කාබනික වගාව තමයි සිද්ධ කරන්නේ. ගොම පොහොර, එළු පොහොර, කුකුල් පොහොර වගේ දේවල් අරන් ඇවිල්ලා මගේ ගොවිපළේ තැන්පත් කරලා වගා කරනවා.

ඒ නිසා මගේ භූමියට සියයට හැත්තෑවක් පමණ කාබනික පොහොර යොදලා සියයට තිහක් රසායනික පොහොර යොදන්නේ .හැබැයි සීයට සීයක් කාබනික පොහොර වලින් වගා කරන්න බැහැ."

"පසුගිය කාලේ තක්කාලි වගාවෙන් මම හොඳටම බැට කෑවා කෝවිඩ් වසංගතය ආපු දවස් වල තක්කාලි ගස් යට කුණු වෙලා ගියා, අපේ කම්කරුවන් ගොඩ දෙනෙකුට රස්සා නැති වුණා. අපිටත් අමාරු වුණා,

• තක්කාලි වගාවේ
විත­රක් නෙවෙයි අනෙක්
වගා­ව­ලත් කාබ­නික පොහොර දාපු­ව­හාම අස්වැන්න වැඩියි.
ඒ වගේම අස්වැන්න නෙළා ගන්න තියෙන කාල­යත්
වැඩි වෙනවා. රසා­ය­නික පොහොර විත­රක් දැම්ම නම් මාස දෙකෙන් තක්කාලි වගාව
සම්පූ­ර්ණ­යෙන්ම ඉවර වෙනවා.

හැබැයි කොහොම හරි මේ සැරේ ඒ පාඩුව පියව ගන්න පුළුවන් වුණා"

"තක්කාලි වගාවේ විතරක් නෙවෙයි අනෙක් වගාවලත් කාබනික පොහොර දාපුවහාම අස්වැන්න වැඩියි. ඒ වගේම අස්වැන්න නෙළා ගන්න තියෙන කාලයත් වැඩි වෙනවා.

රසායනික පොහොර විතරක් දැම්ම නම් තක්කාලි මාස දෙකෙන් වගාව සම්පූර්ණයෙන් ම ඉවර වෙනවා. දැන් මගේ තක්කාලි වගාවේ අස්වැන්න නෙළා අවසන් වෙලා නැවත මල් හටගෙන ගෙඩි ඵල ගන්නවා.

ඒව තමයි දැන් කඩන්නෙ තවත් අක්කර තුන හමාරක් වගා කරලා තියෙනවා ඒවායේ දැන් තමයි මල් හට හටගන්නේ."

"කොහොමහරි මේ ශාකවල මූල මණ්ඩලය ශක්තිමත් වුණහම හොඳට ඵල දරනවා. සියට සීයක් රසායනික පොහොරවලට යනවට වඩා ඉතා සෙමින් කාබනික වගාවට මම හුරු වුණු නිසා අද විශාල ජයග්‍රහණයක් ලබනවා.

මම ගොවි මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ක්‍රම ක්‍රමයෙන් මේ ක්‍රමයට හුරු වෙන්න කියලා."

 තක්කාලි වගාවේ නියුතු කම්ක­රු­වන් පිරි­සක්

"හැබැයි රජය එකපාරටම රසායනික පොහොර තහනම් කළාම අපටත් අමාරු වෙනවා ඒ වගේම තමයි කෘමි හානිවලට දිලීරවලට අපට කිසිම සහනයක් නෑ.

ගහ කොච්චර හැදුණත් වැඩක් නෑ අවසානයේදී අස්වැන්නට පනුවෝ ගහල කොළවල දිලීර රෝග ඇවිල්ලා වගාව විනාශ වෙනවා නම් ඒ පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු කළ යුතුයි."

" දැනට ලංකාවේ තියෙන්නේ කෘමිනාශක වර්ග ඉතාමත් බාල ඒවා, එහෙම හරි මිලදී ගන්න නැහැ තියෙන එකත් විශාල ගණනකට තමයි අලෙවි කරන්නේ. ඉදිරියේදී මේ පිළිබඳ ව රජයේ අවධානය යොමු කළොත් වඩාත් ගොවීන්ට හොඳ කාලයක් ඒවි."

" මම ගොම පොහොර, එළු පොහොර, සහ කුකුල් පොහොර ගෙනාවේ මිටියක් රුපියල් 100 ගානේ. දැන් ඒක 250 වුණා 400 වුණා; 500 වුණා; දැන් කිලෝවක් රුපියල් දහයකට තමයි දෙන්නෙ.

හැබැයි කිලෝ ගණන් ගන්න කොට ඒවායේ විශාල වශයෙන් වැලි එකතු වෙලා තියෙනවා.

මේ වැඩේ නොකළ යුතුයි. වගාවට ලබාදෙන කාබනික පොහොර සහ අනෙකුත් සෑම දෙයක්ම විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කරන්න ඕන. මොකද මේ රටේ ජනතාවගේ ආහාර නිෂ්පාදනය කරන නිසා මහපොළොවේ තියෙන වැලි පොහොර වගේ දාලා වැඩක් නැහැ. මේක කෘෂිකර්ම බලධාරීන් සහ අපි සියලු දෙනා අවබෝධයෙන් ක්‍රියා කළ යුතු වැඩක්."

 

Comments