සර්වකාලීන ලෝක ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවා | සිළුමිණ

සර්වකාලීන ලෝක ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවා

 

VIV RICHARDS

පො දු ජ න ක්‍රි ක ට් ක්‍රී ඩ ක යා

විවියන් සම්පූර්ණයෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ 1993 වසරේ දී ය. ටෙස්ට් සහ එක්දින තරගවලින් සමුගත්තට පසු හේ ටික කාලයක් එංගලන්තයේ ප්‍රාන්ත තරගවලට සහභාගී වුණේ ය.

‘උසස් මට්ටමකින් යුතුව ක්‍රිකට් පිටියෙන් සමුගෙන යෑමට ලැබීම ගැන සතුටු වනවා.’ යි 1993 එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ අවසාන දින තමාගේ සමුගැනීමේ ඉනිමට සහභාගී වීමෙන් අනතුරු ව විවියන් මාධ්‍යයට හෙළිදරව් කළේ ය.

සමුගන්නා විට ඔහු කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 121කට ත් එක්දින තරග 187කටත්, ලීඩර්ඩ් දූපත්, සමූහ දූපත් ඇනිටිගුවා (කොදෙව්) සමර්සෙට්. ග්ලැමෝගන් (එංගලන්තය) සහ කුයින්ස්ලන්ඩ් (ඔස්ට්‍රේලියාව) යන කණ්ඩායම්වලටත් ඇතුළු ව පළමු පෙළ තරග 507කට ක්‍රීඩා කොට තිබුණේ ය. එය ක්‍රිකට් පිටියට පහළ වූ අසිරිමත් පිතිකරුවකුගේ අභිමානවත් වාර්තාවකි.

‘මම මගේ ජාතිය සහ වර්ණය ගැන විශ්වාස කරන කෙනෙක්. මම ජීවිතය ගත කරන්නෙත් ක්‍රීඩා කරන්නෙත් මගේ පිළිවෙළටයි. මම මිනිසුන්ගේ සම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. සමහරු හිතනවා මම උද්දච්ච කෙනෙක් කියලා. ඒත් මම හරි සාමාන්‍ය මනුස්සයෙක්.’ තමන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කරමින් විවියන් මාධ්‍ය වෙත පැවසූයේ ය.

‘විවියන් කියන්නේ හැමතින්ම අසිරිමත් පිතිකරුවෙක්. ඒ වගේම නූතන යුගයේ පිතිකරුවෙක්. මේ යුගයේ ක්‍රිකට් ක්‍රීඩාවට සියල්ලෙන් ම ගැළපුණ ඔහු අමරණීය යි. විවියන් සෑම මොහොතක ම ක්‍රීඩා කළේ ක්‍රිකට් ලෝලයින් වෙනුවෙන්. මේ හින්දම ඔහුගෙන් ක්‍රිකට් ක්‍රීඩාව විශාල පෝෂණයක් ලැබුවා’ යැයි පිටියෙන් සමුගත් අපේ කතානායකයාට උපහාර පුදමින් ප්‍රකට ක්‍රීකට් විචාරක පීටර් රොබක් පවසා තිබුණේ ය.

‘ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තැබූ ක්‍රීඩකයන් අතරේ විවියන්ගේ නම ප්‍රමුඛ ව සටහන් වනවා.’ මේ හිටපු කොදෙව් ක්‍රීඩක ජිමී ඇඩම්ස් තැබූ සටහනකි.

මෙවැනි ගෞරව සම්මානයට පාත්‍ර වූ අසිරිමත් පිතිකරුවා වූ අපේ කතානායකයාව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සජීවී ව දුටුවේ එක ම එක වතාවකි. ඒ 1975 දී ඉන්දීය ටෙස්ට් තරග සංචාරයක් නිමවා ශ්‍රී ලංකාවට පැමිණ නිල නොවන ටෙස්ට් තරග මාලාවකට සහභාගී වූ විට දී ය. එම සංචාරයේ දී විවියන් ක්‍රිඩා කළ ඉනිමක් එදා තරගය නැරඹූ මේ ලියුම්කරුගේ මතක සටහන් අතර විශේෂයෙන් රැඳී පවතී.

ස්ථානය - කොළඹ ක්‍රිකට් සමාජයීය පිටිය (සී.සී.සී.). මෙරට ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර තරගය පැවැත්විණි. පළමු ඉනිමට කොදෙව් පිල කඩුලු 9 ක ට ලකුණු 427 ක් රැස් කරනු ලැබී ය. ඒ වෙනුවෙන් විවියන්-ගේ පිත්තේ දායකත්වය ලකුණු 151 කි. තරගයේ දෙවැනි දිනයේ මිනිත්තු 233 කින් වාර්තා වූ මෙම ඉනිමට හයේ පහවරල් 3 ක් සහ හතරේ පහවරල් 17 ක් ඇතුළත් විය. දැවී යන තුරුම එකඳු උඩ පන්දුවක් හෝ ලබා නොදීම ද එහි තවත් සුවිශේෂත්වයකි.

“මම ක්‍රිකට් එක්ක වැඩෙන කොට මගේ වීරයා වුණේ ඔහුයි. මම ජැමෙයිකා කණ්ඩායමට ක්‍රීඩා කරන කොට ඔහු අපට එරෙහිව ලීවර්ඩ් දූපත් කණ්ඩායමට ක්‍රීඩා කළා. ඒක මට අමතක නොවන අත්දැකීමක්.” ජිමී ඇඩම්ස් පවසන්නේය.

වරක් මාධ්‍යවේදියකු විවියන්ගෙන් මෙසේ විමසීය. ‘ඔබට අමතක නොවන පරාජිත අත්දැකීම කුමක් ද?’

එය ඇසූ විවියන් කීවේ, 1983 ලෝක කුසලාන අවසාන තරගයේ දී ඉන්දියාවට පරාජය වීම බව ය.

‘අපට ජයග්‍රහණය කරන්න තිබුණා. මට හිතෙනවා අපි තරගය ඇත්හැරියදෝ කියල. මොකද හඹා යන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් හමුවේ අපි පරාජය වුණා. එහෙම නොවුණා නම් තුන් වැනි වතාවටත් ලෝක ශුරයෝ වෙන්නේ අපියි.’

1994 ක්‍රිකට් පිටියෙන් සමු ගත් පසු බ්‍රිතාන්‍ය රැජිනිය ප්‍රදානය කරන ඕ.බී.ඊ. සම්මානය විවියන්ට පිරිනැමුණේය. 1999 දී ඇන්ටිගුවා රාජ්‍යය විසින් ඔහුව ‘දේශයේ සම්මානනීය පුරවැසියා’ නාමයට ඔසවනු ලැබී ය.

2006 දී ඇන්ටිගුවාවේ ඉහළම රාජ්‍යය සම්මානය වන ‘ජාතික වීර නයිට්වරයා’ සම්මානයෙන් ද විවියන්ව පුදනු ලැබිණි. 2007 ලෝක ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඇන්ටිගුවාවේ ගොඩනැඟුණ ‘නෝත් සවුන්ඩ්’ ක්‍රීඩාංගණය ‘ශ්‍රීමත් විවියන් රිචඩ්ස්’ ක්‍රිඩාංගණය ලෙස නම් කිරීම විවියන්ට පිදුණ තවත් උපහාරයකි.

2000 වසරේ දී සුප්‍රකට ‘විස්ඩන්’ ක්‍රීඩා සඟරාව විසින් 20 වැනි සියවසේ හොඳම ක්‍රිකට් ක්‍රිඩකයින් පස් දෙනා තෝරා ගත්තේ අන්තර්ජාතික ක්‍රිකට් විද්වතුන් 100 දෙනකුගේ දායකත්වයෙනි. එහි ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස්, ශ්‍රීමත් ජැක් හොබ්ස් සහ ශේන් වෝන්ට පසුව පස්වැනියා ලෙස තෝරා ගනු ලැබුවේ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ය.

කලින් පැවැති ‘විස්ඩන්’ ශුරතාව වෙනුවට අද එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරග මාලාවේ ශුරයන්ට පිරිනැමුණු ලබන්නේ ‘රිචඩ්ස් - බෝතම්’ ශුරතාවයි. එය තවත් විධියකින් ගජ මිතුරන් දෙදෙනෙකුට පිදුණ උපහාරයකි.

විස්ඩන් ක්‍රිකට් සඟරාවට අවුරුදු 150 ක් සම්පූර්ණ වුණ සංවත්සරයේ දී ඔවුන් විසින් නම් කරනු ලැබු ‘ලෝක ටෙස්ට් කණ්ඩායමටත්’ විවියන් ඇතුළත් විය. සැබැවින් ම විවියන්ගේ ක්‍රිකට් දිවිය අනභිබවනීය හා වඩා සම්මානනිය එකකි.

මිළඟට - (අවසාන කොටස) - විවියන්ගේ වර්තමාන ජීවිතය

 

Comments