බී.බී.සී. සම්මානයෙන් පිදෙන ටෙනිස් ශූරී එමා රඩුකානු | සිළුමිණ

බී.බී.සී. සම්මානයෙන් පිදෙන ටෙනිස් ශූරී එමා රඩුකානු

 

2021 එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගනිමින් වාර්තා ගත වූ බ්‍රිතාන්‍යයේ 18 හැවිරිදි එමා රඩුකානු ඉකුත් වසරේ සම්මානනීය ක්‍රීඩිකාවක් බවට පත්ව සිටින්නී ය.

බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය 2021 වසරේ ක්‍රීඩා තරුව ලෙස නම් කොට ඇත්තේ එමා ය. ඒ ඇය සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක් ලෙස ප්‍රථම වතාවට එක්සත් ජනපද විවෘත කාන්තා ටෙනිස් ශූරතාව දිනා ගැනීම නිසා ය. “මේ සම්මානයට මෙවර නියම සුදුස්සා එමායි ” බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය කීය.

මේ අතර එම ගුවන් සේවය තම නව සන්නාම තානාපතිවරිය ලෙස පසුගියදා එමා නම් කළේය. “මට ලැබුණ මේ ගෞරවය රට වෙනුවෙන් ක්‍රීඩා කරන මගේ ක්‍රීඩා දිවියට ලොකු ශක්තියක්. මම මේ වගකීම ඉටු කරන්න සූදානම්” තමාට ලැබුණ මේ සම්මානනීය තත්ත්වය ගැන එමා පැවසුවා ය.

එසේ ම සුප්‍රකට ක්‍රීඩා ඇඟලුම් නයික් සමාගම, ටිෆනි ස්වර්ණාභරණ, විල්සන් ටෙනිස් පිති, ඩියෝර් නිවාස, ඊවියන් ජල ආදි සමාගම් සමඟ එමා අනුග්‍රාහක ගිවිසුම්වලට අත්සන් තබා ඇත. මෙම ගිවිසුම්වලින් ඇයට වාර්ෂික ව විශාල මුදලක් ලැබීමට නියමිත ය. තවත් අනුග්‍රාහක අවස්ථා 2022 වසරේ දී එමාට ලැබෙන බවත් සඳහන් ය.

සුරූපි එමාට නිසි උපදේශකත්වය ලබා දෙමින් ඇගේ අනාගත ක්‍රීඩා ගමන ශක්තිමත් කළ යුතු බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙති. ටෙනිස් ක්‍රීඩා විචාරක ඩේවිඩ් ලෝ පවසන්නේ ඕනෑවට වඩා ක්‍රීඩා කොට ඉක්මනින් දැවී යෑම වළක්වාලීම සඳහා එමාට නිසි උපදේශකත්වය ලබා දිය යුතු බවයි. “එමා කලාතුරකින් මතු වන ක්‍රීඩිකාවක්. ඇය අපිට සම්පතක්. ඇයට නිසි උපදේශකත්වය උවමනායි.” හිටපු බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩිකාවක් වන ජෝ ඩියුරි පවසයි.

මේ අතර එමා මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමා විධිමත් ව ඉදිරියට යන බවයි. “මට මගේ අම්මගේ, ඒජන්තවරයාගේ සහ පුහුණුකරුවාගේ මඟ පෙන්වීම ලැබෙනවා. ඒ උපදෙස් අනුව මම ක්‍රීඩා කිරීමට සූදානම්.”

ටෙනිස් පිටියේ දී එමා රඩුකානුට 2022 තවත් ජයග්‍රාහී වසරක් වන්නට පුළුවන්. තවත් වාර්තා තබන්නට පුළුවන්.

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

ජාතික සවි එසවීමෙන් කළුතර දිනවති

පාසල් සිසුන් දෙදෙනකු වන රණවක ආරච්චිලාගේ පූර්ණ විදුරංග සහ ඔසඳ ඉඳුවර පෙරේරා පසුගිය දා සමස්ත ලංකා සවි එසවීමේ තරගාවලියට තරග වදිමින් වයස අවුරුදු 19 න් පහළ තරගාවලියේ දී පිළිවෙලින් ප්‍රථම සහ තෙවැනි ස්ථාන දිනාගත්හ. කළුතර මොරොන්තුඩුවේ,Buddika Fitness Center ආයතනයේ පුහුණුව ලබන ඔවුහු කළුතර දිසාවට ඉමහත් අභිමානයක් ගෙන දුන් බව එම පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක නාවික හමුදාවේ හිටපු ශාරීරික අභ්‍යාස පුහුණුකරු බුද්ධික රොද්‍රිගු මහතා පැවසී ය.

ශ්‍රී ලංකා සවි ඔසවන්නන්ගේ සංගමය විසින් පසුගිය දා බණ්ඩාරගම පිහිටි කළුතර දිස්ත්‍රික් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මෙම තරගාවලිය පැවැත්වීය.

මොරොන්තුඩුවේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයේ දී මාස හයක පුහුණුවකින් අනතුරු ව මෙම සිසුන් දෙදෙනා සමස්ත ලංකා තරගාවලියකට ඉදිරිපත්ව තිබිණි.

ඡායාරූපය- ඔසඳ ඉඳුවර (වම් පස ) සහ පූර්ණ විදුරංග (දකුණු පස )

කළුතර මධ්‍යම වි⁣ශේෂ

ජාතික චෙස් ශූරිය තරුෂි ශූරයා සුසල්

 

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික චෙස් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට කොළඹ විශාඛා විද්‍යාලයේ තරුෂි නික්ලේෂා සමත් විණි. ජාතික පිරිමි ශූරතාව දිනා ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසල් ද සිල්වා ය. පුරා දින 7ක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ජාතික චෙස් තරගාවලිය පැවැත්විණි.

 

2025 කායවර්ධන ලෝක ශූරතාව ශ්‍රී ලංකාවේ දී

2025 වසරේ පැවැත් වීමට නියමිත ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ සත්කාරකත්වය දැරීමට අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පස් අවුරුදු කාලීන ප්‍රවර්ධන සැලැස්මක් එළිදක්වා තිබේ. එහි නිල සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට ලෝක කායවර්ධන සම්මේලනය මේ වන විට එකඟ වී ඇත.

 

රුමේෂ් ප්‍රධාන පුහුණුකාර ධූරයට

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන සමයේ ජාතික කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නායක මහතා පත්කර ඇත. ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරුවකු

( Interim Coach ) ලෙසින් කටයුතු කර ඇත.

කාන්තා ක්‍රිකට් නායකත්වය යළි චමරිට

මෙම වසරේ බර්මින්හැම් හි දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ වටය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබේ. ඒ අනුව මෙම මස 18 වැනිදා සිට 24 වැනි දා දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චමරි අතපත්තුටම හිමිව ඇත.

 

එක්දින ලීග් තරගාවලිය 20 වැනිදා ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය මෙම මස 20 වැනි දා ආරම්භ වෙයි. මෙම වසරේ සිට පළාත් තරගාවලිය වෙනුවට සුපර් ලීග් එක්දින, සිවුදින සහ 20 විස්ස ක්‍රිකට් තරග මාලාවක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුරු මැද සහ උතුර වශයෙන් කණ්ඩායම් 5ක් මෙම තරගාවලිය සඳහ එක් වීමට නියමිත ය.

 

Comments