හදවතක් නැති ජාතියක ඉපදීමේ කරුමය ගෙවන මිනිස්සු | Page 2 | සිළුමිණ

හදවතක් නැති ජාතියක ඉපදීමේ කරුමය ගෙවන මිනිස්සු

කුල­පති හි­මි­යන්ගෙන් ගෞරවනීයව උපාධි මංජුසාව ලබාගන්නා ශිෂ්‍යාවක්

කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවය තෙදිනක් පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඉකුත් සතියේ පැවැත්විණි. එසේ වුවත් ඉකුත් 17 වැනිදා කුලපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි වෙතින් උපාධි මංජුසාව පිළිනො‍ෙගන විරෝධය පෑ දශම ගණනක සුළු පිරිසකගේ ක්‍රියාව සමාජ ජාලා මාධ්‍ය හුවා දක්වනු පෙණිනි. කොවිඩ් වසංගතය හමුවේ වසර දෙකක් පසුපසට ඇදී ගොස් තිබූ මෙම උත්සවය සියලු සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කටයුතු කර තිබුණේ විශාල විද්‍යාර්ථීන් පිරිසකගේ දැඩි ඉල්ලීම මතය. එවැනි පසුබිමක මෙවැනි ක්‍රියාවක් සිදු වූයේ ඇයිද යන්න ගැටලු සහගතය. 

1921 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව උපාධි පිරිනමන ආයතනයක් ලෙස කොළඹ යුනිවර්සිටි කොලීජිය ස්ථාපිත කළ අතර 1942 දී ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකෝට් ආණ්ඩුකාරවරයා විසින් යුනිවර්සිටි කොලීජියට විශ්වවිද්‍යාල තත්ත්වයක් ලබා දුණි. ඒ අනුව ස්ථාපිත වූ ලංකා විශ්වවිද්‍යාලය 1972 අංක 1 දරන පනත මඟින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය නමින් භෞතිෂ්ම විය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය යටතේ පැවති අනෙකුත් මණ්ඩප පහට ස්වාධීන විශ්වවිද්‍යාල තත්ත්වය පිරිනැමූ ආකාරයෙන් ම කොළඹ මණ්ඩපය ද කොළඹ විශ්වවිද්‍යාලය ලෙස පිහිටුවී ය. එලෙස පිහිටු වූ කොළඹ විශ්වවිද්‍යාලයේ 1942 සිට 1981 වසර දක්වා විශ්වවිද්‍යාල කුලපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ රාජ්‍ය නායකයා ය.

1978 විශ්වවිද්‍යාල පනත අනුව ආචාර්ය පී. ආර්. ඇන්තනීස් කුලපති ලෙස පත් කරනතුරු එනම්, 1981 වසර වනතෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස දිවංගත ජනපති ජේ. ආර් ජයවර්ධන කටයුතු කළේ ය.

මෙලෙස විශ්වවිද්‍යාල කුලපතිවරුන් පත්කිරීම සඳහා විධායක ජනාධිපතිවරයා වෙත බලය හිමිවනුයේ 1978 අංක 16 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනතේ 32 වන වගන්ති ප්‍රකාරවය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් රටේ වැදගත් ගරු කටයුතු අයකු කුලපති ලෙස නම් කරන අතර, එම ධුරය විසින් විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වය දරමින් වසර පහක ධුර කාලයක් මුලසුන හොබවයි. කුලපතිවරයා යනු ගෞරවනීය තනතුරක් වන අතර හෙතෙම විසින් ඉටුකරනු ලබන්නේ චාරිත්‍රමය වගකීමකි. ඒ අනුව කුලපති විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා වන අතර උපාධි ප්‍රධානෝත්සවය සඳහා දින නියම කිරීම, ඒ සඳහා උචිත ස්ථානය තෝරා ගැනීම සහ සියලුම උපාධි පිරිනමනු ලබන්නේ කුලපතිවරයා විසිනි. එසේ වුවත් කුලපති සතු වැඩකටයුතු වලින් වැඩිමනක් ඉටු කෙරෙන්නේ උප කුලපති අතිනි. මෙම ගරු කටයුතු තනතුර අධ්‍යයන කටයුතුවල හෝ ආගමික කටයුතුවල හෝ සිවිල් සංවිධාන කටයුතුවල නිරත සම්භාවනීය පුද්ගයකුට පිරිනමනු ලැබීම සාමාන්‍ය සිරිතය. ඒ අනුව බලන කල මෙය ශිෂ්ටසම්පන්න සමාජයක් අනුමත කරන පත් කිරීමකි. මීට ප්‍රථම ආචාර්ය ඔස්වල්ඩ් ගෝමස් හිමිපාණන් විසින් මෙම තනතුර හෙබ වූ අතර වර්තමානයේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විසින් එම තනතුර හොබවයි. 

කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි ලබා ගැනීම සඳහා විද්‍යාර්ථීන් 2,668 සුදුසුකම් ලබා තිබුණි. ඉන් 173 දෙනකු විවිධ හේතු නිසා නොපැමිණි අතර උත්සව අවස්ථාව සඳහා 2,495 දෙනකු සහභාගි වී තිබුණි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල සියයට අනූනවයයි දශම තුනයි පහකි (99.35%). ඒ අවස්ථාවේදී විද්‍යාර්ථීන් 15 දෙනෙකු පමණක් කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් අතින් චාරිත්‍රානුකූලව මංජුසාව ලබා ගැනීම ප්‍රතික්ෂේප කර උපකුලපතිනිය අතින් එය ලබාගෙන ඡායාරූපයකට පෙනී සිටිනු දක්නට ලැබුණි. ඒ නීති පීඨයේ නවදෙනකු හා කලා පීඨයේ හය දෙනකු ලෙසය. මෙලෙස ප්‍රතික්ෂේප කළ පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට බිංදුවයි දශම හයයි පහ (0.65%)කි.

උත්සවයේ මුලසුන හොබවන කුලපතිවරයා ලෙස පූජ්‍ය උතුමකු සිටියදී කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිනිය වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න විසින් කුලපතිවරයා ප්‍රතික්ෂේප කළ පිරිසට මංජුසා ප්‍රධානය කර ඔවුන් හා ඡායාරූප ගැනීම සදාචාරාත්මක ද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ. උත්සව සභාවේ මෙන්ම උපාධිය පිරිනැමීමේ නිල කාර්යයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කුලපතිවරයා සභාවේ අසුන්ගෙන සිටියදී ඔහු ප්‍රතික්ෂේප කර යන විද්‍යාර්ථීන් අතින් සන්කර තමා වෙත කැඳවා මංජුසාව සහ සහතික පත් ඇය විසින් පිරිනමනු එහි වීඩියෝ දර්ශනවල මනාව සටහන්ව තිබුණි. ඇත්තෙන්ම එය ශිෂ්ටසම්පන්න මහාචාර්යවරියක වන උපකුලපතිනිය විසින් නොකළ යුතුව තිබුණු බව මධ්‍යස්ථ මතය විය. මන්ද යත් ඇයගේ මෙම ක්‍රියාව නිසා හෑල්ලුවට ලක්වන්නේ කුලපති තනතුර මෙන්ම මෙරට කීර්තිමත් ස්වාමීන්වහන්සේ නමකි. මේ සුළුතරයක් දෙනා පිළිගැනීම මඟින් උප කුලපතිනිය සිදු කර ඇත්තේ ඔවුන්ගේ ක්‍රියාවට අනුබල දීමක් බව මේ පිළිබඳ මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස වේ. අනෙක් අතට මේ විද්‍යාර්ථීන් රජයේ රැකියාවකට යන්නේ නම් අදාළ පත්වීම විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රධානය කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන්නේද යන්න ඔවුහු විමසති. 

ඔවුන් මෙලෙස කුලපතිවරයා අතින් උපාධිය පිළිනොගෙන උපකුලපතිනිය අතින් එය පිළිගැනීමට හේතුව ලෙස දක්වා තිබුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුව හා දේශපාලන පත් කිරීම පිළිබඳවය. එලෙස සුදුසුකම් මත කුලපතිවරයකු පත් කිරීම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයේ තිරසාර සම්ප්‍රදායක් ව පැවතියේද යන්න ප්‍රශ්නාර්ථයකි. බොහෝ නවක බඳවා ගැනීම් පුද්ගල අභිමතාර්ථයන් අනුව සිදු වූ ඒවා බව විශ්වවිද්‍යාල පත්වීම් පිළිබඳ ඉතිහාසය අපට කියා දෙයි. මෙරට විශ්වවිද්‍යාල සම්ප්‍රදාය තුළ ද ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ දී මෙන් ඥාතීත්වය මත පදනම් ව බඳවා ගැනීම් සිදු වේ.

වත්මන් උපකුලපතිවරිය පත් කර ඇත්තේ ද ජනාධිපතිවරයා විසින් බව මොවුන් අමතක කර තිබේ. එසේම සනාතන සභාව නියෝජනය කරනු ලබන්නේ ආචාර්ය මහාචාර්යවරුන් විසින් පත්කරගත් පීඨ­ාධිපතිවරු සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හරහා පත්වීම් ලැබූ සභිකයන් විසිනි. මෙහිදී සනාතන සභාව විසින් සිදු කරන්නේ සුදුසුකම් ලත් අය නම් කිරීම පමණි. අවසාන තීරණය ලබා දෙන්නේ ජනාධිපතිවරයා ය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවෙ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපතිවරයා ලෙස පත් කර ඇත. එහි කිසිදු වරදක් නොමැත.

කෑගල්ලේ ගැමි ගොවි පවුලක තෙවැනියා ලෙස 1943 ජනවාරි 26 උපන් උන්වහන්සේ පත්බේරිය ධම්මාලෝක හිමිගේ ශිෂ්‍යයෙකු වශයෙන් 1952දී පැවිදි දිවියට ඇතුළත් ව ඇත. මාලිගාකන්ද විදුදය පිරිවෙනේදී වැඩිදුර අධ්‍යාපනය ලැබූ හෙතෙම එදා සිට වර්තමානය දක්වා හෙද සංගමයේ සභාපතිත්වය උසුලන්නේ ය. එම සංගමයේ නායකත්වයෙන් 1976 දී හෙද ඉතිහාසයේ පළමු වර්ජනය දියත් වන අතර, වසර 102ක් පැවති වහල් මුර සේවා ක්‍රමයට තිත තැබුණේ එම සටන මඟිනි. 1980 පැවති මහා ජූලි වැඩ වර්ජනයේදී ඊට අදාළ සියලු පාර්ශ්ව සම්බන්ධීකරණය කරමින් මුරුත්තෙට්ටුවේ හිමියන් ඊට ලබා දුන් දායකත්වය සුවිශේෂී ය. 1981 එජාපයේ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව අරගල කළ බලවේග අතරද මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ දායකත්වය කැපී පෙනිණි. 1983 ජූලි 24 වැනිදා එජාප මැරයන්ගේ අනුග්‍රහයෙන් දියත් වූ කළු ජූලිය අවස්ථාවේදී සිය ගණනක් දෙමළ ජනයාගේ ජීවිත ආරක්ෂා කරදීමට මුරුත්තෙට්ටුවේ හිමියෝ මැදිහත් වූයේ එයින් තමන් වහන්සේගේ ජීවිතයට එල්ල වන අනතුර පවා නොතකමිනි. එජාපයේ දරුණු මර්දනය මැද 1986 මාර්තු 18 සිට පුරා දින 29ක් තිස්සේ පෙරට ඇදුණු මහා හෙද වැඩ වර්ජනය ජයග්‍රාහීව අවසාන වූයේ මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අභීත නායකත්වය යටතේය. 

80 ජූලි වර්ජනයෙන් බිමටම ඇදවැටී සිටි කම්කරු පන්තියට හා ප්‍රගතිශීලීන්ට මේ ජයග්‍රහණය මහත් ආස්වාදයක් වූයේය. කරළියට එමින් තිබූ පළාත් සභා මර උගුලට එරෙහිව පක්ෂ හා සංවිධාන 21ක මැදිහත් වීමෙන් 1986 ජූලි 26 වැනිදා “මව්බිම සුරැකීමේ ව්‍යාපාරය” ආරම්භ වූ අතර, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ආරම්භයේ සිටම ඊට ක්‍රියාකාරී නායකත්වයක් සැපයූහ. 1987 අප්‍රේල් 17 සහ අප්‍රේල් 21 යන දිනවල කොටි ත්‍රස්තවාදීහු එල්ල කළ ප්‍රහාර මඟින් අහිංසක වැසියෝ 248ක් ඝාතනයට ලක් වූ අතර, ඊට එරෙහිව ජනතාවට ආරක්ෂාව ඉල්ලා දැවැන්ත විරෝධතාවක් අප්‍රේල් 22 පැවැත්විණි. ඇඳිරි නීතිය නොතකා ජනාධිපතිවරයාගේ නිවස වටලමින් පැවති මේ විරෝධයට නායකත්වය දුන් පිරිස අතර මුරුත්තෙට්ටුවේ හිමියෝද මුල් තැනෙක වූහ.

1987 එජාපයේ මැයි දින තහනමට එරෙහිව නාරාහේන්පිට අභයාරාමයේදී මැයි රැලියක් පැවැත්වීමට මව්බිම සුරැකීමේ ව්‍යාපාරය කටයුතු කළ අතර, එහි මුලසුන හොබවන ලද්දේ මුරුත්තෙට්ටුවේ හිමියන් විසිනි. එහිදී සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ඝාතනයට ලක් වූහ. 1987 ජූලි 28 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේ පැවති දැවැන්ත විරෝධතාවටද මුරුත්තෙට්ටුවේ හිමියෝ නායකත්වය දුන්හ.

එනිසා උන්වහන්සේ කළ කී දෑ හී තරම නොදන්නා දුහුනන් කෙරෙහි උන්වහන්සේ කම්පා නොවන්නේය. මේ දේවල් උන්වහන්සේට හොඳින් හුරු පුරුදුය. නවසිය අසූව දශකයේ මහා ශිෂ්‍ය සංගමයේ නයූවකු වූ දීප්ති ළමාහේවා පවසන්නේ මෙය විශ්වවිද්‍යාල ජීවිතයේ උප සංස්කෘතික ලක්ෂණයක් බවත්, මෙලෙස විරෝධය පෑම එහි ආවේණික ලක්ෂණයක් බවයි. 

කෙසේ නමුත් උන්වහන්සේ අතින් උපාධිය පිළිගත් ප්‍රතිශතය සියයට අනූනවයයි දශම තුනයි පහකි (99.35%). ඒ අනුව වැඩි බහුතරයකගේ පිළිගැනීමෙන් අතිසාර්ථක අන්දමින් මෙම උපාධිප්‍රධානෝත්සව නිමා වුවද බහුතර මාධ්‍ය විසින් හුවා දැක්වීමට කටයුතු කර තිබුණේ 0.65% ක ඉතාම සුළු පිරිසකගේ ක්‍රියා කලාපය ය. ඒ සඳහා සමාජ මාධ්‍ය විසින් ද ඉතාම සංවිධානාත්මක ලෙස ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබුණි.

මෙම ක්‍රියාව පිටුපස බංකොළොත් දේශපාලන වුවමනාවක්ද පෙනෙන්නට තිබේ. මෙය මුග්ධයකුට වීර වික්‍රමයක් වුවත් පළල් දැක්මකින් හෙබි අයකු බලන්නේ මින් සිදුවන අගතිය දෙසය. එය සිදු වන්නේ මේ ක්‍රියාව සිදු කළ සුළුතරයට පමණක් නොව මුළුමහත් ශිෂ්‍ය ප්‍රජාවටමය. බුද්ධිමතුන්ටය. උගතුන්ටය. මේ රටේ උගත් පරපුරටමය. ජනාධිපතිවරයකුට සිය බලතල ප්‍රකාරව කුලපති තනතුර සඳහා ඕනෑම අයකු පත් කළ හැකිය. ඒ සඳහා අයිතියක් විධායක ජනාධිපතිවරයාට ඇත. එලෙස පත් කළ කුලපතිවරයාගෙන් උපාධිය පිළිනොගෙන උපකුලපතිවරියගෙන් එය පිළිගැනීම යනු මුහුණත් එක්ක තරහ වී නහය කපාගැනීම වැනි ක්‍රියාවකි.

Comments