පොල්ගෙඩියකට නිරුවත් කළ මනුෂ්‍යත්වය | Page 2 | සිළුමිණ

පොල්ගෙඩියකට නිරුවත් කළ මනුෂ්‍යත්වය

සුරංග ලක්මාල්ට පහර දී නිරුවත් කර දෑත්වලට ලීයක් බැඳ ගම පුරා ඇවිද්දවා ඇති අයුරු

නුෂ්‍යත්වය ගැන මහ ඉහළින් කතාබහ කරන සමාජයේම ඒ මනුෂ්‍යත්වයට නොතරම් බොහෝ දෑ සිදුවේ. ඉකුත් සතියේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූයේ ද එවැනි සිදුවීමක් රැගත් වීඩියෝවකි. එම වීඩියෝවේ ඇතුළත් වූයේ පොල් ගෙඩියක් සොරාගත් පුද්ගලයකුට එහි පාලනාධිකාරිය විසින් අමානුෂික ලෙස පහර දෙමින්, බැණ වදිමින් අඩත්තේට්ටම් කර අවසානයේ නිරුවතින් එම පුද්ගලයාට ගම වටා යන්නට අණ කරන සිදුවීමකි.

එම සිදුවීම සිදුවී ඇතැයි වාර්තා වන්නේ ඉකුත් මැයි මාසයේදීය. ඒ, කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් රට යළිත් වරක් අගුළු වැටී තිබූ කාලයයි. කුලී වැඩ කර දෛනික ආදායම සොයාගනිමින් ජීවිකාව ගෙන යන බොහෝ දෙනකුට කොරෝනාව විසින් බඩට පහර දුන්නේ සිත්පිත් නැති විලාසයෙනි. නාත්තන්ඩියේ පදිංචි කුලී වැඩ කර සිය මවත් දෙදරුවනුත් ජීවත් කළ සුරංග ලක්මාල් ද කොරෝනාවෙන් දරුණු ලෙස බැට කෑවේය. අම්මා ගෙදර ඇත්තන්ගේ කුසගිනි නිවන්නට මොන මොනවා හෝ තම්බා දුන්නද ඒ කිසිවක්ම නිවෙසේ නැති දවසක් ද උදාවිය. හාල් ටිකක් ළිප තබා බත් ටිකක් පිසූ අම්මා, සම්බෝලයක් හදන්නට කොහෙන් හෝ පොල් ගෙඩියක් සොයාගෙන එන්නැයි සුරංගට පවසන්නේ ඒ නිසාය. ඔහු නාත්තන්ඩිය හැවන වතුයායට යන්නේ මවගේ ඉල්ලීම ඉටු කරන්නටය. අනවසරයෙන් කිසිවක් ගැනීම සොරකමක් බව දැන සිටියද නිවැසියන්ගේ කුසගින්න සිහිපත් වන විට එය සොරකමක් යැයි සුරංගට නොසිතෙන්නට ඇත. පොල්ගෙඩි දෙකක් රැගෙන වත්තෙන් පිටවීමට පෙර වතු අධිකාරිවරයාටත් ඔහුගේ සගයන්ටත් හසුවන සුරංගට, ඉන්පසු මුහුණ දීමට සිදු වන්නේ ඔහු කිසිසේත් නොසිතූ සිදුවීම් පෙළකටය.

පොල්ගෙඩිය ගත් වරදට වත්තේ වතු අධිකාරිවරයාගෙන් කුණු බැණුම් අසන්නට පමණක් නොව ඔහුගේ සගයන් දෙදෙනකුගේ අමානුෂික පහරදීම්වලට නතු වන්නටත් සුරංගට සිදු විය. එපමණක් නොව සුරංග මුළුමනින් නිරුවත් කර ඔහුගේ දෑත්වලට ලීයක් තබා බැද පහරදෙන්නට තරම් ඔවුහු දරුණු වූහ. ඔවුහු ඉදිරියේ සුරංග කළ ආයාචනා ගඟට කැපූ ඉණි මෙන් විය.

“දෙන්නෙක් වටකරගෙන මට හොඳටම ගැහුවා. මම කිව්වා ගහන්න එපා මාව පොලිසියට බාරදෙන්න කියලා. නෑ උඹව පොලිසියට දෙන්නෙ නෑ, ගමටම ප්‍රදර්ශනය කරන්න ඕන කියලා නිරුවතින්ම මාව වත්තෙන් එළෙව්වා.”

දරාගත නොහැකි බියෙන්, ලැජ්ජාවෙන් සහ වේදනාවෙන් මිරිකෙමින් සුරංග වත්තේ සිට ගෙදරට එන්නේ ඒ අමානුෂික වධ බන්ධනවලින් අනතුරුවය.

“ දුව මාව දැකලා වැලේ තිබුණු සරමක් දුන්නා ඇඳගන්න. මොකද වුණේ කියලා ඇහුවට මම මුකුත්ම කිව්වේ නෑ ලැජ්ජාවට. ”

සුරංග කියන්නේ දැනුදු ඒ සිදුවීම නිසා උපන් ලැජ්ජාවෙන් පීඩා විඳිමිනි. එහෙත් එම සිදුවීමෙන් මාස කිහිපයකට පසු එම සිද්ධිය ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහැර ඇති අතර, සුරංග ලක්මාල් සමාජ මාධ්‍ය තුළින් යළි යළිත් නිරුවත් කරන්නට එම වීඩියෝව සමත් විය. එය වඩාත් ඛේදනීය වූයේ ඒ වීඩියෝ පටය සුරංගගේ පමණක් නොව ඔහුගේ දරුවන් දෙදෙනාගේ සහ මවගේ ආත්ම ගරුත්වයට ද මරු පහරක් වූ නිසාය. ලැජ්ජාවට පත් සුරංගගේ දරුවන් දෙදෙනා පාසල් යෑම ද ප්‍රතික්ෂේප කරන්නට වූහ. පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති පරිදි අදාළ සිද්ධිය වීඩියෝ කර ඇත්තේ වත්තේ මුරකරු විසිනි. එකී සිද්ධියෙන් මාස කිහිපයකට පසු පාලනාධිකාරිය විසින් එම පුද්ගලයා ද වත්තෙන් නෙරපා ඇති බවත් ඉන්පසු ඔහු විසින් අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවත් අනාවරණය වී ඇත.

එම සිදුවීමත් සමඟ සුරංග ලක්මාල්ට නීතියේ පිහිට පතන්නට සිදු විය. ඒ අනුව ඉකුත් මැයි මාසයේ සිදුවූ එම පහරදීම සම්බන්ධයෙන් ඉකුත් නොවැම්බර් 13 වැනිදා කොළඹ පොලිස් සහන මැදිරියට සුරංග ලක්මාල් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මාරවිල පොලිසිය විසින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැමිණිලිකරුට රුපියල් 25,000ක සානුකම්පිත දීමනාවක් ගෙවීමට දෙපාර්ශ්වය එකඟතාවකට ද පැමිණ ඇත. මේ අතර වතු පාලනාධිකාරිය විසින් සුරංගට සිදු කරන ලද පහරදීම සම්බන්ධ සිද්ධියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා පසුගිය 20 වැනිදා දහවල් එම වතුයායේ ගේට්ටුව අසල පුවරු රැගත් පිරිසක් නිහඬ විරෝධතාවයක ද නිරත වූහ.‍

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකාර වතු අධිකාරී හැවන, පල්ලිය වත්තේ පදිංචි රුමේෂ් ප්‍රියන්ත ද සිල්වා සහ ක්ෂේත්‍ර නිලධාරී ඩබ්ලිව්. ඒ. සුගතවංශ යන අය ඉකුත් නොවැම්බර් 24 වැනිදා මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාරවිල දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ විසින් ඇප පිට මුදාහැර ඇත. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුවගෙන් සිළුමිණ කළ විමසීමේදී පැවසුවේ 2022, මාර්තු 14 වැනිදා නඩුව නැවත කැඳවන බවයි.

Comments