තම දරුවා විකුණා මත් ජාවාරමේ ගිය යුවළක් | Page 2 | සිළුමිණ

තම දරුවා විකුණා මත් ජාවාරමේ ගිය යුවළක්

- මාස තුනක් වයසැති බිලිඳා ලක්ෂ හතකට විකුණලා
- තිස්දහසකින් මත්ද්‍රව්‍ය ගෙන ජාවාරම් කරලා 
- සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක්

ත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්ගේ කල්ක්‍රියාවන් ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුනට මවුපියන් - දුවාදරුවන් කිසිවකු අදාළ නැත. එකම අරමුණ කෙසේ හෝ මත්ද්‍රව්‍ය පානයට මුදල් සොයා ගැනීමයි. ඒ සඳහා කළ හැකි සියලුම අපරාධ සිදු කරන්නේ මේ මිහිපිට සිටිනා සතාසිවුපාවුන්ටත් එහා ගිය අමනුස්සයන් විලසින් බව මත් ජාවාරම්කරුවන් සිදුකරන 'අමන' ක්‍රියාවලින් පිළිබිඹු වේ.

ඉකුත් 16 වැනිදා කුරුණෑගල පොලිසියේ නිලධාරිහු සුපුරුදු ලෙස නගරයේ විවිධ ජාවාරම්කරුවන් මෙන්ම මත් ලෝලින් ඇතුළු අපරාධකාරයන් සොයා මෙහෙයුම් රාජකාරියේ නිරතව සිටියහ. ඒ අනුව එදින කුරුණෑගල නගර මධ්‍යයේදී පොලිස් නිලධාරින් විසින් යුවළක් පරීක්ෂාවට ලක්කෙරිණි. දෙදෙනා විවිධ කතා කියමින් පොලිසිය මඟහැර යෑමට තැත් කළත් අනතුරුව දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ මත්ද්‍රව්‍යද සමඟිනි.

සාමාන්‍යයෙන් කුරුණෑගල නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බහුලව වෙසෙන ප්‍රදේශ ලෙස සැලැකෙන්නේ වැව්ගල, එළුගල ආදි ප්‍රදේශයි. පොලිස් අත්අඩංගුවට ගැනුණේ වැව්ගල ප්‍රදේශයේ යුවළකි. අඹුසැමි යුවළක් වුවත් දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා තරමක් වයසින් මුහුකුරා ගිය 48 හැවිරිදි වියේ පසුවන්නෙකි. කාන්තාව තරුණ වියේ පසුවන 27 හැවිරිදිය. 

අත්අඩංගුවට පත් ඔවුන් දෙදෙනා කුරුණෑගල පොලිසියට ගෙනවිත් පරීක්ෂාවේදී සැකකාර පිරිමි පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2300ක් සහ සැකකාර කාන්තාව ළඟ තිබී මිලිග්‍රෑම් 80 පැකට් 3ක් සොයා ගැනීමට හැකි විණි. මත්ද්‍රව්‍ය සමඟ හසුවූ සැකකරු මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහිව සිටි අයෙකි. හරිහමන් රැකියාවක් නොකළ ඔවුන් දෙපළ කුරුණෑගල නගරයේ සැරිසරමින් දිනපතාම පාහේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව කුරුණෑගල නගර වැසියන් අතර ප්‍රසිද්ධ රහසකි. දෙදෙනාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව පොලිසියටද විවිධ අවස්ථාවලදී තොරතුරු ලැබී තිබිණි.

අත්අඩංගුවට පත් කාන්තාව සන්තකයේ අත්බෑගයක්ද තිබෙන ආකාරය පොලිස් නිලධාරින් දුටුවේය. එම බෑගයද විමර්ශන නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්කෙරිණි. ඒ තුළ සාමාන්‍යයෙන් එවැනි අත්බෑගයක දක්නට නොලැබෙන යමක් තිබෙන ආකාරය නිලධාරිහු දුටුහ.

ඒ කුඩා කිරිකැටියකුගේ ගවුම් පොඩිත්තකි. අලුත උපන් කිරිකැටියකු තරම් කුඩා බිලිඳියකගේ ගවුම් පොඩිත්තක් එම බෑගයේ තිබෙනු දුටු නිලධාරින්ට එය ප්‍රහේලිකාවක්ම වූයේය. ඇයගේ අත්බෑගයේ එවැනි කුඩා ගවුමක් වුයේ කුමකටද යන්න පොලිස් නිලධාරින් ඇයගෙන් දිගින් දිගටම විමසන්නට වූවාය.

"මේ මගේ දරුවගේ ඇඳුමක් සර්... මම දරුවව සිහිවෙන්නයි මේ ඇඳුම බෑග් එකේ දාගෙන හැමතැනම අරන් යන්නෙ..."

"කෝ දැන් තමුන්ගේ දරුවා...?" විමර්ශන නිලධාරියෙක් විමසන්නට වූහ.

ඇය නිරුත්තර වූයේ තවදුරටත් ප්‍රශ්නාර්ථයක් නඟමිනි. ඇයගේ නිහැඬියාව බිඳීම සඳහා පොලිස් නිලධාරින් දරුවා පිළිබඳව දිගින් දිගටම විමසන්නට වූයේය.

"සර්. දැන් දරුවා ඉන්නෙ අනුරාධපුරේ. හදාගන්න බැරි හින්දා අපි දෙන්නා අනුරාධපුරේ යුවළකට දරුවා දුන්නා..."

පොලිස් නිලධාරින් මුහුණට මුහුණ බලාගත්තේ මිනිසුන් නොමිනිසුන් වී ඇති ආකාරය පසක් වෙද්දියි. ඇයගෙන් වැඩිදුරටත් හෙළි වූයේ තුන් මස් වියැති කිරිකැටියා ඉකුත් දිනෙක අනුරාධපුර ප්‍රදේශයේ වෙසෙන එම යුවළකට දී මුදල් ලබාගෙන ඇති බවයි.

කුරුණෑගල නගරයේ නීතිඥවරයකු ඉදිරිපිටදී එම ගනුදෙනුව සිදුව ඇති බවකි. එය බැලු බැල්මට නීතිවිරෝධි කටයුත්තක් සේ දිස් වේ. සාමාන්‍යයෙන් නිත්‍යානුකූලව දරුවකු හදාවඩා ගැනීමට දෙන්නේ නම් එය අධිකරණයට ගොස් විසඳාගත යුතු කාර්යභාරයකි. එහෙත් මෙහි එවැනි ක්‍රියාදාමයක් සිදුව නොමැති බව සැලවේ.

දරුවා යුවළට දුන්නෙ කෙලෙසදැයි නිලධාරියෙක් විමසූ විට, සැකකාරිය පවසන්නට වූයේ,

"සර්. අපි දෙන්නා දරුවා දුන්නේ ලක්ෂ හතක මුදලකට. ගේ හදාගන්න සල්ලි නැති නිසයි දරුවා විකුණුවේ. "

ඒ අනුව නිලධාරිහු ඇයගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු පරීක්ෂාවේදී එවන් මුදලක් ඉකුත් කාලයේ ඇයගේ බැංකු ගිණුමකට බැරවී ඇති ආකාරය දැනගත්හ. ඒ වන විට එම ගිණුමේ වූයේ රුපියල් තිස්දහසක මුදලක් අඩුවෙන් රුපියල් 670,000ක තැන්පතුවකි.

අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටි එම යුවළ රුපියල් ලක්ෂ හතක මුදලකට දරුවා විකුණා ලැබුණු මුදලින් නිවෙස සාදා ගැනීම කෙසේ වෙතත් රුපියල් තිස්දහසක මුදලක් ගෙන සිදුකර තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමයි. කුරුණෑගල සිට කොළඹ ප්‍රදේශයට පැමිණි දෙදෙනා එම තිස්දහසේ මුදලින් මත්ද්‍රව්‍ය මිලට ගෙන කුරුණෑගල නගරයේ දිවරෑ නොතකා තැන තැන සැරිසරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බව හෙළි වේ.

තම කුසෙන් උපන් බිලිඳා විකුණා ලබාගත් මුදලින් මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරත වනවානම් එය මොනතරම් සහගහන අපරාධයක් ද? දරුවකු සිය දෙමාපියන් විසින් හදාවඩා ගැනීමට නොහැකිව වෙනත් පාර්ශ්වයකට ලබා දෙන්නේනම් එහි නීතිමය තත්ත්වය කෙබඳුද යන්න අප විමසීමක් කළේ අධිකරණ අමාත්‍යාංශයේ උපදේශකවරයකු වන ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වාගෙනි.

"සාමාන්‍යයෙන් දරුවෙක් වෙනත් පාර්ශ්වයකට හදාගන්න දෙනවා නම් ඊට තිබෙන නීතිය තමයි කුලවැද්දීමේ නීතිය. ඒ සඳහා දිසා අධිකරණයේ නඩුවක් පැවැරිය යුතුයි. දරුවාගේ දෙමාපියෝ ඒ දරුවා දීමට කැමැත්තක් දක්වනවා නම් දරුවා ලබා ගැනීමට කැමැති වන පාර්ශ්වය හා දෙපාර්ශ්වය අධිකරණයට ගොස් අවශ්‍ය කරුණු දැක්වීමෙනුයි දරුවාගේ බාරකාරත්වය නීත්‍යානුකූලව ලබාගත හැකි වන්නේ. අධිකරණය දරුවා බාර ගැනීමට කැමැති අයගේ සියලු තොරතුරු, ආර්ථික තත්ත්වය, සමාජ වටපිටාව සොයා බලා වාර්තා කැඳවීමෙන් පසුවයි දරුවා එම පාර්ශ්වයට බාර දීමට කටයුතු කරන්නේ.

ඒ වගේම පරිවාසවල සිටින දරුවෙක් කිසියම් කෙනෙක් ලබාගන්නේ නම් එම දරුවන් පොරොත්තු ලේඛනයක සිටිනවා. අවශ්‍ය අය ඒ දරුවන් දැකබලාගෙන කැමැති දරුවා නම්කොට දිසා අධිකරණයට ඉල්ලීමක් කළ යුතුයි කැමැත්ත දක්වන දරුවා බාර දෙන ලෙසට.

එහෙම නැතිව වෙන වෙන තැන්වලදී මුදල් දී දරුවන් ලබා ගැනීම හෝ ළමයි වෙනත් පාර්ශ්වවලට ලබාදීම සැලැකෙන්නේ දරුවන් විකිණීමක් ලෙසටයි. එය නීතියේ හැටියට බරපතළ වරදක්."

කුරුණෑගල පොලිසිය විසින් සිදුකළ විමර්ශනයෙන් පසු දරුවා නීත්‍යානකූල ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අනුරාධපුරයේ යුවළට ලබා දී ඇති බවත් වාර්තා වේ. හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට පත් කුරුණෑගල සැකකාර යුවළ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව මත කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අහස - පොළොව නුහුළන මෙවන් අපරාධ උදේ හවා බණ දහම් අසන රටකින් ඇසෙන්නට වීම මොනතරම් පාපකර්මයක් ද?

Comments