දෙවසරකට පසු කිඹුලාපිටියටත් සරු නත්තලක් | සිළුමිණ

දෙවසරකට පසු කිඹුලාපිටියටත් සරු නත්තලක්

රතිඤ්ඤා කරල්වලට නූල් ගැට ගසන කැලුම්

උදාවූ නත්තල් අසිරිය දසත වර්ණවත් කරන්නේ ලොකු පොඩි සැමගේ සිත්සතන් ප්‍රමෝදයට පත් කරමිනි. නත්තල හඟවන රතිඤ්ඤා හඬ අදත් නිහඬ වී නැත. එය අලුත් අවුරුද්ද ලබන තුරු දොරින් දොර ඇසෙනු ඇත. නිලාකූරු දල්වමින් ප්‍රීතියෙන් ඉපිලෙන කුඩා ළමුන් ද බඹර චක්‍ර සහ විසිල් දල්වමින් විනෝද වන යෞවනයන් ද මේ දිනවල දක්නට ලැබෙන සුලබ දසුනකි. මේ අතරවාරයේ රතිඤ්ඤා, බට්ටා, ෂෙල් දල්වන වැඩිහිටියන් ද දක්නට ලැබෙන්නේ ගිනිකෙළි නිෂ්පාදන වයස් භේදයකින් තොරව කොයි කාටත් සතුටු විය හැකි දෙයක් බව පසක් කරවමිනි.

පසුගිය වසර කීපයේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් නත්තල සමරනු ලැබුවේ ඉතා චාම් අයුරිනි. එහෙත් මෙවර නත්තලේ දී එය පහව ගිය බවක් දැනෙන්නේ අතොරක් නැතිව දැල්වෙන රතිඤ්ඤා නිසා ය. රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි දැල්වෙන තරමටම ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ ජීවිත ද ආලෝකවත්ව දැල්වෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදකවරුන්ගේ පුරවරය වූ මීගමුව කිඹුලාපිටිය බලා අප පිටත්වූයේ ඔවුන් හමුවී වැඩි තොරතුරු කතාබහ කිරීමේ අදහසිනි.

“මම රතිඤ්ඤා ව්‍යාපාරයට අත ගහලා අවුරුදු තුනයි. මේ අවුරුදු තුනම අවුල්. අපේ රතිඤ්ඤා ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ මගේ සීයා. අවුරුදු හතළිස් හතක් තිස්සේ සීයා තමයි කරගෙන ආවේ. මගේ තාත්තා නම් මේ වැඩේට අත ගැහුවෙ නැහැ. මම පුංචි කාලේ ඉඳලා ම සීයාට උදවු කළා. සීයා හදිසියේ අසනීප වුණා. ඊට පස්සේ මම ව්‍යාපාරය අතට ගත්තා. මම ව්‍යාපාරය ගත්ත දා ඉඳලා මොකක් හරි ප්‍රශ්නයක්. එක්කෝ පාස්කු බෝම්බ ප්‍රහාරය, එක්කෝ කොරෝනා. ඒ හැමදෙයින්ම බැට කන්නේ අපි. අපිට වෙඩි බෙහෙත් ගන්න බලපත්‍ර තියෙනවා. ඒ නිසා රතිඤ්ඤා හදන වැඩේ නතර කරන්න බැහැ. අපිට දෙන වෙඩි බෙහෙත් ප්‍රමාණයට කරපු වැඩ අපි පෙන්වන්න ඕනෑ. එහෙම පෙන්නුවේ නැතිනම් ඊළඟ පාර වෙඩි බෙහෙත් කෝටා එක අඩු කරනවා. ඒ නිසා අපි රටේ මොන ප්‍රශ්න තිබුණත් ගිනිකෙළි නිෂ්පාදනය කළා. අහස් කූරු, බඹර චක්‍ර, රෝල් නම් අවුරුද්දක් විතර තියාගන්න පුළුවන්. ඒත් නිලාකූරු, ටින් වගේ දේවල් තියාගන්න බැහැ. ඒ නිසා පහුගිය දවස්වල අපි හදපු රතිඤ්ඤා පාර දිගේ පත්තු කළා.” යනුවෙන් පවසමින් සාකච්ඡාවට එක්වූයේ ගෝනා ලකුණ ගිනිකෙළි කර්මාන්ත ආයතනයේ හිමිකරු දිනේෂ් මධුසංඛ ය.

මෙම නත්තල් සමයේ ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්තයේ යම් පිබිදීමක් තිබුණ ද අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා එතරම් ලාභයක් ලැබිය නොහැකි වී ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

“වෙඩි බෙහෙත් මිල වැඩියි. නිලාකූරු හදන්න යොදා ගන්නා බයින්ඩින් කම්බි රෝල ගිය පාර ගෙනාවේ රු. 9,000/= ට. දැන් එය රු. 11,000/= ක් වෙනවා. ඇලුමිනියම් පවුඩර් ගිය පාර ගත්තේ රු. 36,000/= ට. දැන් රු. 58,000/= ක් වෙනවා. කොටින්ම කිව්වොත් රතිඤ්ඤාවලට අවශ්‍ය කඩදාසි කිලෝ එක කලින් ගත්තේ රු. 40/= ට. දැන් කිලෝ එක රු. 100/= ක් වෙනවා. නිෂ්පාදන පිරිවැය ඉහළ නිසා අපි වෙනදා වගේ ලොකුවට බඩු හැදුවෙ නැහැ. අනික කොරෝනා එක්ක නත්තලට රට වහයිද කියලා සැකයකුත් තිබුණානේ. ඒ නිසා අපි ගිනිකෙළි නිෂ්පාදනය කළේ අඩුවෙන්. හැබැයි මේ පාර බඩු ගන්න එන අයගේ අඩුවකුත් තියෙනවා. නියම විදිහට වෙනදා වගේ බඩු ගන්න එන අය ආවා නම් මෙලහට අපේ බඩු ඉවරයි“ යනුවෙන් දිනේෂ් මධුසංඛ වැඩිදුරටත් කීවේය.

නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා ගිනිකෙළි නිෂ්පාදනවල මිල ද ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ අහස් කූරු 100 ක් අඩංගු මිටිය අලෙවි කළේ රු. 550.00 කට ය. එහෙත් මෙවර එය අලෙවි වන්නේ රු. 650.00 කට ය. නිලාකූරු 10 කින් සමන්විත පෙට්ටියක් පසුගිය වසරේ රු. 25.00 කට අලෙවි වුව ද මෙවර එහි මිල රු. 45.00 දක්වා ඉහළ ගොස් තිබේ. රතිඤ්ඤා කරලක් රුපියලකින් පමණ වැඩි වී ඇත.

“අපේ නිෂ්පාදනවලින් සියයට 50ක් විතර තමයි මේ පාර අලෙවි වුණේ. වෙන නත්තල් දවස්වලට නම් අපිට කන්නවත් වෙලාවක් නැහැ. ලංකාවේ හතර වටින් ම ඇවිත් බඩු අරන් යනවා. හලාවත ඉඳලා අලුත්ගමට යන තුරු ගිනිකෙළි නිෂ්පාදන දාන්නේ අපි. ඒත් මේ පාර බඩු ගෙනියන්න ආවේ නැහැ. රතිඤ්ඤාවලට වියදම් කරන්න මිනිසුන්ට සල්ලි නැහැ. මේ පාර වෙනදා වගේ පාර අයිනේ දාගත්තු තට්ටු බිස්නස් එකත් නැහැ. මේ පාර හරි යයි කියලා හිතුවාට වැඩක් වුණේ නැහැ. අපි අවුරුද්ද පුරාම බිස්නස් කරන අය. නත්තල්, අවුරුදු හැර දීපවාලී, සංගීත සංදර්ශන, පෙරහර, කඨින පිංකම් ආදී වශයෙන් අවුරුද්ද පුරාම අපිට බිස්නස් තිබුණා. ඊට අමතරව ගොවියනුත් ගොවිතැන් සතුන්ගෙන් ආරක්ෂා කර ගන්න අපෙන් රතිඤ්ඤා ගෙනියනවා. දැන් ගොවියන් ගොවිතැන් අත්හැරලා නිසා අපිට ඒ බිස්නස් එකත් නැහැ. මා ළඟ පූර්ණ කාලීනව වැඩ කරන අය 15 දෙනෙක් විතර ඉන්නවා. උප කොන්ත්‍රාත් විදිහට වැඩ කරන අය 50 දෙනෙක් විතර ඉන්නවා. බිස්නස් එක පාඩු වුණත් මේ අයව රැකගන්න ඕනෑ. මොකද මේ වැඩේට අලුත් අය අරගෙන පුහුණු කරලා ගන්න බැහැ. අතේ හුරුවෙන් වේගවත්ව වැඩ කිරීම තමයි මේ වැඩේට අවශ්‍ය වෙන්නේ. හතර දෙනෙක් දවසකට අහස් කූරු 8000 ක් හදනවා. රතිඤ්ඤා කරල් 30,000 ක් හදනවා. අලුත් අයට ඒ වේගයට වැඩ කරන්න බැහැ.” යනුවෙන් විස්තර කළේ මුවා ලකුණ ගිනිකෙළි ආයතනයේ හිමිකරු සුරින් ප්‍රනාන්දු ය.

ගෝනා ලකුණ ගිනිකෙළි ආයතනයේ සේවකයකු වන දාගොන්නේ කැලුම් චින්තක පැවසුවේ ඔහු දිනකට රතිඤ්ඤා කරල් 10,000 ක පමණ වෙඩි බෙහෙත් පුරවා නූල් ගැට ගසා අවසන් කරන බවයි. ඔහු ගිනිකෙළි කර්මාන්තයේ සේවයට පැමිණ අවුරුදු 9 කි. පසුගිය කාලයේ ගිනිකෙළි නිෂ්පාදන කටයුතු අඩපණ වී තිබුණු විට ඔහු කුලී වැඩ කරමින් ජීවිතය ගැට ගසා ගෙන තිබේ. එහෙත් නැවතත් ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්තයට ඔහු පැමිණියේ ඔහුට මෙම රැකියාවෙන් යම් මුදලක් ඉතිරි කරගත හැකි නිසා බව ඔහු පැවසුවේය. ඔහුගේ බිරිය, නිල්මිණි මල්කාන්ති ද මෙහි සේවය කරන්නීය.

“මම ඉස්සර ගාමන්ට් ගියා. දරුවෝ ලැබුණාම රස්සාවෙන් අයින් වුණා. මම මෙතන කරන්නේ රතිඤ්ඤා කරල්වලට නූල් දැමීම සහ රෝල් ගැසීම. අපි උදේම 6.00 ට විතර මෙතනට එනවා. අපිට ටාගට් දීලා තියෙනවා. මම දවසකට රෝල් 300 – 400 ක් ගහන්න ඕනෑ. ඒ වැඩ ඉවර වුණත් ඊළඟ දවසට අවශ්‍ය බඩු ටික සූදානම් කරලා ඇඟපත හෝදලා යනවිට රෑ 7.00 පහු වෙනවා. ඒත් මේ රස්සාව නිදහස්. කරදරයක් නැහැ. ළමයින්වත් මෙහාට ගෙනත් වෙනම ගෙදරක තියාගන්න පුළුවනි. ළමයින්වත් බලාගෙන මම මේ රස්සාවෙන් මුදලක් උපයා ගන්නවා.” නිල්මිණි මල්කාන්ති එසේ කීවාය.

ඇය දරුවන් රැක බලා ගනිමින් ගිනිකෙළි නිෂ්පාදන කටයුතුවල නිරත වී සිටියදී, ගිනිකෙළි නිසා සිය පුත්‍රයාත් සැමියාත් අහිමි වුවද නොසැලී දැඩි අදිටනින් ගිනිකෙළි කර්මාන්ත ආයතනයක් පවත්වාගෙන යන කාන්තාවක් අපට හමු විය. ඇය අශාන් ගිනිකෙළි ආයතනයේ හිමිකාරිනිය, ෂෙරින් ශ්‍යාමා ය.

“මගේ මහත්තයායි ලොකු පුතයි නැති වුණාට පස්සේ මම මල්ලි එක්ක ව්‍යාපාරය කරගෙන යනවා. උප කොන්ත්‍රාත් පදනමින් තමයි වැඩ කරන අය ඉන්නේ. වැඩ කරන අය ගොඩාක් නැහැ. මොකද පහුගිය අවුරුදු දෙකේම ගිනිකෙළි කර්මාන්තය අඩපණ වෙලානේ තිබුණේ. මේ පාරත් ලොකුවට අත ගැහුවෙ නැහැ. එහෙම වැඩ කරගන්න බයයි. කොරෝනා නිසා රට වහයි ද කියලා පොඩි සැකයකුත් තිබුණා. ඒ මදිවාට ගිය මාසෙම වැස්සා. වැස්සේ බඩු වේළාගන්න බැහැ. ඒ නිසා මේ පාර බඩු මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළේ නැහැ. ඒ මදිවට නිෂ්පාදන පිරිවැය වැඩියි. ඊයේ ගත්ත බඩු මිල නෙමෙයි අද තියෙන්නේ. අද මිල නෙමෙයි හෙට තියෙන්නේ. ඒ හින්දා ගිනිකෙළි නිෂ්පාදනයට ලොකු මුදලක් යට කරන්න පුළුවන්කමක් නැහැ. මගෙන් බඩු ගන්න නම් වෙළෙන්දෝ එනවා. මට තියෙන ප්‍රශ්නෙ මම මේ පාර ගොඩාක් නිෂ්පාදනය නොකළ නිසා ඉල්ලුමට සරිලන ආකාරයට සපයා ගන්න නොහැකි වීම.” ෂෙරීන් ශ්‍යාමා වැඩිදුරටත් එසේ ද පැවසුවාය.

ගිනිකෙළි නිෂ්පාදන ඉල්ලුමට සරිලන ආකාරයට සපයා ගත නොහැකි වී ඇති බව බ්ලැක් කැට් ගිනිකෙළි ආයතනයේ හිමිකරු දමිත් ලියනගේ සඳහන් කළේය. ඊට හේතුව ලෙස ඔහු පැහැදිලි කළේ නිෂ්පාදන පිරිවැය අධික වීමත් සමඟ නිෂ්පාදනය කළ ගිනිකෙළි ප්‍රමාණාත්මකව පහත වැටීමයි.

“මම පුත්තලම සිට පානදුර දක්වා ගිනිකෙළි නිෂ්පාදන බෙදා හරින කෙනෙක්. මේ පාර අමුද්‍රව්‍ය මිල ඉහළ නිසා වෙනදා තරම් බඩු නිෂ්පාදනය කළේ නැහැ. මේ පාර ලයිෂන් එකටවත් ගන්න වෙඩි බෙහෙත් දෙන්නේ නැහැ. වෙඩි බෙහෙත් දෙන්නේ ටික ටික. ඇලුමිනියම් පවුඩර් වැඩි මිලට ගන්නවත් නැහැ. අපි අහපුවාම ජනවාරිවල දෙනවා කියනවා. ජනවාරිවල ගෙනත් වැඩක් නැහැනේ. මම පාරම්පරිකව ගිනිකෙළි කර්මාන්තයේ යෙදෙන කෙනෙක්. අපේ මහ මඩුව හදලා තියෙන්නේ 1948 අවුරුද්දේ. අපේ පරම්පරාවම හොඳට කාලා බීලා ගෙවල් දොරවල් හදාගෙන ලස්සනට ජීවත් වුණේ මේ කර්මාන්තයෙන්. ඒ නිසා මමත් වෙන රැකියාවක් ගැන හිතුවෙ නැහැ. ඇත්තටම මේ ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්තයේ වැරැද්දක් නැහැ. අමුද්‍රව්‍ය හරියට කලට වෙලාවට සපයනවා නම් හොඳටම කරන්න පුළුවන්.” දමිත් ලියනගේ පැවසුවේ ගිනිකෙළි කර්මාන්තයේ සුබවාදී හෙට දවසක් අපේක්ෂාවෙනි.

ගිනිකෙළි කර්මාන්තය අඩපණ වුවහොත් ජීවන අරගලයට මුහුණදෙන්නේ එහි අයිතිකරුවන් පමණක් නොවේ. එහි රැකියාවල නිරත වී සිටින අය සහ ඔවුන්ගේ පවුල්වල අය ද මීට වක්‍රව සම්බන්ධ වී දිවි ගැට ගසා ගන්නා අය ද අපමණ ය. එබැවින් ඔවුහු සියලුදෙනාම අසරණ වෙති. ගිනිකෙළි කර්මාන්තයේ යෙදී සිටින අයගෙන් සැදුම්ලත් සමස්ත ලංකා ගිනිකෙළි නිපදවන්නන්ගේ සංගමයක් ස්ථාපිත කර තිබෙන්නේ ගිනිකෙළි කර්මාන්තයේ සුරක්ෂිත බව හා අභිවෘද්ධිය වෙනුවෙනි.

“ගිනිකෙළි කර්මාන්තයේ නිරත බලපත්‍රලාභීන් 225 කට ආසන්න පිරිසක් ලංකාවේ සිටිනවා. එයින් වැඩි පිරිසක් ජීවත් වෙන්නේ කිඹුලාපිටිය ආශ්‍රිතව ගම්පහ දිස්ත්‍රික්කයේ. ගාල්ල, මහනුවර වැනි ප්‍රදේශවලත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මේ කර්මාන්තය ජීවනෝපාය කරගත් පිරිස 35,000 කට ආසන්නයි. පසුගිය කාලයේ ඇති වූ කරුණු නිසා මේ කර්මාන්තය අඩපණ වුණා. මේ වනවිට සමහර නිෂ්පාදකයන් මේ කර්මාන්තයෙන් ඈත් වෙලා ඉන්නවා. ඒකට බලපාන ප්‍රධාන හේතුව නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම. වියදම ඉහළ ගියාම ලාභය පහතට වැටෙනවා. වෙනදා රු. 1000/= ක් වියදම් කරන වැඩේට අද රු. 1750/= ක් වියදම් කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වතාවේ නිෂ්පාදන ප්‍රමාණය පහතට වැටුණා. අපි රජයෙන් සහනාධාර ඉල්ලන්නේ නැහැ. රජයෙන් ණය ඉල්ලන්නේ නැහැ. සල්ලි දීලා මිල දී ගන්න කලට වෙලාවට අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය නිකුත් කරනවා නම් අපිට මේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන්. රජය අපිට ඒ විදිහට සහයෝගයක් දෙනවා නම් හොඳයි.” සමස්ත ලංකා ගිනිකෙළි නිපදවන්නන්ගේ සංගමයේ සභාපති, ගැසල් ගිනිකෙළි කර්මාන්ත ආයතනයේ හිමිකරු දිනේෂ් ප්‍රනාන්දු එසේ අදහස් දැක්වීය.

ගිනිකෙළි කර්මාන්තකරුවන්ගේ ජීවිත ගිනිකෙළි සංදර්ශනයක් තරම් විචිත්‍රවත් නොවන බව මෙයින් අපූරුවට පැහැදිලි වේ. ඇතැම්විට ඔවුන්ගේ ජීවිත ගිනිකෙළියක්ම නොවන්නේ යැයි කිව නොහැක්කේ කෙසේද?

 හර්ෂා සුගතදාස,

කිඹුලාපිටිය සංචාරයකින් පසුව

 

ඡායාරූප - රුවන් ද සිල්වා

 

Comments