2021 වසරේ අයි.සී.සී. ක්‍රිකට් ක්‍රීඩකයා කවු ද? | සිළුමිණ

2021 වසරේ අයි.සී.සී. ක්‍රිකට් ක්‍රීඩකයා කවු ද?

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්ෂික ව ක්‍රීඩා සම්මාන උලෙළක් පවත්වා ක්‍රීඩකයන්ගේ දස්කම් අගයනු ලබයි. සෑම වසරකම, අයි.සී.සී. වසරේ ටෙස්ට් ක්‍රීඩකයා, වසරේ එක්දින ක්‍රීඩකයා, වසරේ විස්සයි20 ක්‍රීඩකයා, වසරේ නැඟී එන ක්‍රීඩකයා ඇතුළු තවත් බොහෝ සම්මාන එම සම්මාන උළෙලට ඇතුළත් වේ.

කෙසේ වෙතත්, ඒ අතරින් ගෞරවනීය ම සම්මානය වන්නේ අයි.සී.සී. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ය. අයි.සී.සී. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2004 සිට ය. පසුගිය වසරේ මෙම සම්මානයට හිමිකම් කීවේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ය.

ඉතිහාසයේ පළමු වතාවට මෙම සම්මානය ප්‍රදානය කිරීමේ දී ඊට හිමිකම් කීවේ ඉන්දියාවේ හිටපු සුපිරි පිතිකරුවකු වූ රාහුල් ඩ්‍රාවිඩ් ය. එතැන් සිට ක්‍රීඩකයන් 14 දෙනෙකු මෙම සම්මානය දිනාගැනීමට සමත්ව ඇත.

2021 වසරේ දී එය ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන ප්‍රහේලිකා-වට අයි.සී.සී. ය විසින් පසුගියදා සාධාරණ ඉඟියක් දී තිබිණි. ඒ එකී සම්මානයට ආසන්නයෙන් ම සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනාගේ නාමාවලිය එළි දක්වමිනි.

මේ සඳහා නවසීලන්තයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඩෙවොන් කොන්වේ ගේ නම ද යෝජනා වී ඇත. ඔහු මේ වසරේ නවසීලන්තය වෙනුවෙන් සිය මංගල අන්තර්ජාතික තරගය ක්‍රීඩා කරනු ලැබුවේ ය. ඔහු සියලු අංශයන්ගෙන් මෙලෙස අන්තර්ජා-තික වර්ණ හිමි කර ගත්තේ මෙම වසරේ දී වීම විශේෂිත ය. වසරකටත් අඩු කාලයක දී ඔහු නවසීලන්ත කණ්ඩායමේ සියලු ම ආකෘතීන්හි වටිනා ම ක්‍රීඩකයෙක් බවට පත්ව තිබීම අයි.සී.සී. ය විසින් මෙම සම්මානය සඳහා ඔහු සලකා බලා තිබේ.

කොන්වේ ටෙස්ට් තරග 3 ක දී ඉනිම් 6 ක් ක්‍රීඩා කර ලකුණු 379 ක් ලබා

ගෙන ඇත්තේ සාමාන්‍ය 63.2 ක් ලෙස රඳවා ගනිමිනි. ඔහු මෙතෙක් ක්‍රීඩා කළ ඉහළ ම ඉනිම ලකුණු 200 කි. එංගලන්තයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී ඩෙවෝන් කොන්වේ වැඩි ම ලකුණු ලාභියා විය. ටෙස්ට් තරග 2 ක දී ඔහු ලකුණු 306 ක් රැස් කළේ සාමාන්‍ය 76.50 ක් ලෙස රඳවා ගනිමිනි.

විස්සයි20 ජාත්‍යන්තර තරගවල දී ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීම ද විශේෂිත ය. තරග 14 ක දී කොන්වේ ලකුණු 428 ක් ලබා ගත්තේ සාමාන්‍ය 47.55 ක් ලෙස රඳවා ගනිමිනි. මීට අමතරව, එක්දින තරග 3 ක දී ලකුණු 225 ක් ඔහු රැස්කර ඇත. එහි සාමාන්‍ය 75.00 කි.

2021 දී මොහොමඩ් රිස්වාන් තරම් පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව විශ්මයට පත් කළ අයකු නැත. ඔහු මේ වසරේ දී පාකිස්තානය වෙනුවෙන් උපරිම දක්ෂතා අතරට පැමිණෙමින් විස්-සයි20 ජාත්‍යන්තර තරගවල දී වැඩිම ලකුණු ලාභියා ද වූයේ ය. 20විස්සයි තරග 27 ක දී ඉනිම් 24 ක දී රිස්වාන් ලකුණු 1201 ක් රැස් කළේ 75.06 ක සාමාන්‍යයක් රඳවාගෙන ය. ටෙස්ට් තරගවල දී ඔහු තරග 9 ක් වෙනුවෙන් ක්‍රීඩා කර ලකුණු 455 ක් රැස්කර ඇත්තේ සාමාන්‍ය 45.50 ක් ලෙස පවත්වා ගනිමිනි.

29 හැවිරිදි රිස්වාන් මෙවර අයි.සී.සී. 20විස්සයි ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභින්ගේ ලැයිස්තුවේ තෙවැනියා විය. තරග 6 ක දී ඔහු ලකුණු 281 ක් රැස් කළේ සාමාන්‍ය 70.25 ක් ලෙසිනි. හේ පිත්තෙන් දැක්වූ විශිෂ්ට දස්කම් පාකිස්තානයට තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ඉවහල් විණි.

ශ්‍රී ලංකාවේ ටෙස්ට් විශේෂඥ පිතිකරුවා දිමුත් කරුණාරත්න පිත්-තෙන් විශිෂ්ට දස්කම් දැක්වු වසරක් ලෙස මෙම වසර හැඳින්විය හැකි ය. මේ වසරේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග 7 දී ඉනිම් 13 ක් ක්‍රීඩා කර ලකුණු 902 ක් ලබා ගැනීමට කරුණාරත්න සමත්ව තිබේ. එහි සාමාන්‍ය 69.38 කි. ටෙස්ට් තරග රටාවේ ලොව සියලු ටෙස්ට් පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයට හිමිකම් කියන්නේ ද දිමුත් ය. මීට අමතර ව ආරම්භක පිතිකරුවකු ලෙස ටෙස්ට් ශතක 4 ක් සහ අර්ධ ශතක 3 ක් රැස්කරගෙන ඇති අතර, මෙම වසරේ ටෙස්ට් පිටියේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා ලෙස සැල-කෙන්නේ ද දිමුත් කරුණාරත්න ය.

ජෝ රූට් ටෙස්ට් ක්‍රිකට් පිටියේ විනෝදය සඳහා ලකුණු රැස්කරන්නකු බවට පත්ව ඇත්තේ ඔහුගේ පිත්තෙන් ලකුණු ගලා ඒමේ ඇති විභවතාව සලකද්දී ය. පසුගිය දා ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමාවට පත් වූ පළමු ටෙස්ට් තරගයේ දී ජෝ රූට් මයිකල් වෝන් අභිබවා කැලැන්ඩර වර්ෂයක වැඩි ම ටෙස්ට් ලකුණු ලබා ගත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වූයේ මේ අතරේ ය.

ඔහු මේ වසරේ ශතක 6 ක් සහ අර්ධ ශතක 2 ක් රැස් කරගෙන දැනට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 13 ක ඉනිම් 25 ක ලකුණු 1544 ක් රැස් කිරීමට සමත්ව ඇත්තේ සාමාන්‍ය 64.33 ක් ලෙස රඳවා ගනිමිනි. අළු බඳුන ටෙස්ට් තරගාවලියේ මෙකී වසර නිමවීමට පෙර තවත් ටෙස්ට් තරග දෙකක් ඉතිරිව ඇති හෙයින් ඔහුගේ ලකුණු ප්‍රමාණය තවත් ඉහළට යනු නිසැක ය.

එසේම මෙම වසර මුල ඉන්දියාව හා ටෙස්ට් තරගාවලියේ දී වැඩිම ලකුණු ලාභියා වූ අතර තරග 4 ක් තුළ ලකුණු 368 ක් ලබා ගත්තේ සාමාන්‍ය 46.00 ක් ලෙසින් රඳවා ගනිමින් වසරේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයාට හිමිකම් කියන ප්‍රබල ම තරගකරුවන්ගෙන් කෙනෙක් බවට ඔහු පත්ව තිබේ.

රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දියාව වෙනුවෙන් විශේෂයෙන් මේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දී කැපී පෙනෙන ම පන්දු යවන්නා විය. ඉන්දියාව සහ එංගලන්තය අතර ඉන්දියාවේ දී පැවැති ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ අශ්වින් එකී තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා වෙමින් කඩුලු 32 ක් දවා ගත්තේ සාමාන්‍යය 14.72 ක් ලෙස පවත්වා ගනිමිනි. පසුගිය දා නිමාවට පත් වූ නවසීලන්තයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී ඉන්දියාව වෙනුවෙන් වැඩි ම කඩුලු දවා ගත් ක්‍රීඩකයා වූයේ ද අශ්වින් ය. ඔහු ටෙස්ට් තරග 2 ක දී සාමාන්‍යය 11.36 ක් ලෙස රඳවා ගනිමින් කඩුලු 14 ක් දවා ගැනීමට සමත් විය. 2021 වසරේ රවිචන්ද්‍රන් අශ්වින් තරම් ටෙස්ට් කඩුලු දවාගත් වෙනත් කිසිදු පන්දු යවන්නෙක් නැත.

මේ වසරේ ටෙස්ට් තරග 8 ක ඉනිම් 16 ක දී කඩුලු 52ක් දවා ගැනීමට මෙම ඉන්දීය දඟපන්දු යවන්නා සමත් වී ඇත්තේ සාමාන්‍ය 16.23 ක් ලෙස පවත්වා ගනිමිනි. වසර ගණනාවක් පුරා අයි.පී.එල්. හි විශිෂ්ට දස්කම් හේතුවෙන් අශ්වින් මෙවර අයි.සී.සී. විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායමට ද ඇතුළත් විය.

ඔහු තරගාවලියේ ක්‍රීඩා කළ තරග 3 ක දී කඩුලු 6 ක් දවාගත් අතර නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේ දී ද කැපී පෙනුණි. මේ අනුව රවිචන්ද්‍ර අශ්වින් විශිෂ්ට වසරක් ගත කර ඇති අතර අයි.සී.සී. වසරේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට තරග වදින තවත් ප්‍රබල ම තරගකරුවෙකි.

බන්ධුල ජයමාන්න

Comments