පොදුරද මඬුලු බර ඉසුලුම් වේදිකාවේ ශ්‍රී ලංකාවට අභිමානනීය පිළිගැනීමක් | සිළුමිණ

පොදුරද මඬුලු බර ඉසුලුම් වේදිකාවේ ශ්‍රී ලංකාවට අභිමානනීය පිළිගැනීමක්

 

ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වී තිබුණු කොවිඩ් 19 හේතුවෙන් කල් දමන්නට යෙදුණු ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය එක්වර පැවැත්වීමට අන්ර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය තීරණය කර තිබුණේ ඊට හොඳම පිළියම ලෙස ය.

ඒ අනුව සංවිධානය කෙරුණු මෙම තරග මාලාවන් ද්විත්වය ම එක ම තරගාවලියක් ලෙස 2021 දෙසැම්බර් මස 07 සිට 17 දක්වා ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා ලොව රටවල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූ හ.

මෙවර තරගාවලියට සහභාගි වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩීකාවන් ප්‍රමාණය 19 දෙනෙකි.උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අගනුවර දී ක්‍රියාත්මක කෙරුණු පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ පිරිමි දෙවැනි අනුශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද දෙවන අනුශූරතා අභියෝග කුසලානට හිමිකම් කියන්නට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූයේ ඉතිහාසයේ පළමු වරට ය .

ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරග ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් සාමූහිකව ප්‍රදර්ශනය කළ ඉහළ ම දක්ෂතාවය ලෙස මෙය පිළිගැනෙයි.

ක්‍රීඩකයන් 10 දෙනකුගෙන් සැදුම්ලත් වූ මෙවර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගනිමින් දෙවන අනුශූරතා කුසලානයට හිමිකම් කීවේ ය.

ඒ සඳහා ගිය ගමනේ දී කැපී පෙනුණු චින්තන ගීතාල් විදානගේ, ඉන්දික චතුරංග දිසානායක, මනෝජ් මධුවන්ත විජේසිංහ සහ තිලංක විරාජ් පළගසිංහ ලෝකඩ පදක්කම් දිනාගනිමින් මව්බිමේ කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට මෙවර ගත් උත්සාහය ප්‍රශංසනීය ය.

කි:ග්‍රෑ:73 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඉන්දික චතුරංග දිසානායක සමත් වූ අතර, ඒ සඳහා පැමිණි ගමනේ දී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 130 ක්ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 156 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 286 ක සමස්ත බර එකතුවක් සටහන් කළේ ය.

2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ආශ්‍රිතව රිදී පදක්කමකට හිමිකම් කියන ඉන්දික චතුරංග දිසානායක පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියන් තුළ දිනා ගත් 04 වැනි පදක්කම මෙය වීම විශේෂත්වයකි.

2009 රිදී පදක්කම (62 බර පන්තිය) 2013 රිදී පදක්කම (62 බර පන්තිය) 2015 රිදී පදක්කම (69 බර පන්තිය) දිනා ගනිමින් කැපී පෙනුණු දිසානායක මෙවර කි: ග්‍රෑ: 73 ට අඩු බර පන්තිය නියෝජනය කළේය.

මේ අතර වාරයේ තම කුලුඳුල් අන්තර්ජාතික තරග අත්දැකීම පදක්කමක් බවට පත්කර ගැනීමට මනෝජ් මධුවන්ත විජේසිංහ සමත් වූයේ කිලෝ ග්‍රෑම් 67 ට අඩු බර පන්තිය යටතේ ලෝකඩ පදක්කමක් දිනා ගනිමිනි.

එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 113 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 141 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 254 ක බර එකතුවක් වාර්තා කර ගැනීමට මනෝජ් මධුවන්ත විජේසිංහ ට හැකියාව ලැබිණි.

මෙරට නමගිය බර උසුලන්නන් අතරේ නම නොගිය ක්‍රීඩකයකු ලෙස මෙවර තරගාවලියට එක් වෙමින් මනෝජ් විජේසිංහ ලද පදක්කමේ දිස්නය වැඩි ය.

කිලෝ ග්‍රෑම් 81 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් චින්තන විදානගේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඔහු එහිදී ස්නැච් ක්‍රමයට කි:ග්‍රෑ:134 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි: ග්‍රෑ:166 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 300 ක බර එකතුවක් සටහන් කළේ ය.

මෙරට බර ඉසිලීමේ ක්‍රීඩාව නව මානයකට රැගෙන යන්නට සමත් වූ චින්තන ගීතාල් විදානගේ ඊට වසර 15 කට පසුව ද අන්තර්ජාතික කෙළිබිමේ පදක්කම් දිනා ගත හැකි බව මනාව ඔප්පු කරන්නට මෙවර සමත් විය.

2006 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම ද 2010 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ රිදී පදක්කම ද දිනා ගනිමින් මව්බිමේ කීර්ති නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය චින්තන ගීතාල් විදානගේ තවමත් වියපත් නොවුණු යෞවනයකුගේ ලක්ෂණ ප්‍රදර්ශනය කිරීම කැපී පෙනේ.

සැලසුම් සහගත ක්‍රමවත් පුහුණුව අදටත් ඔහු ජයග්‍රාහකයකු බවට පත් කර ඇති බව එමගින් සුපැහැදිලි ය.

ඒ අනුව බලන විට 2010 වසරට පසුව නැවත වතාවක් ක්‍රියාත්මක වෙමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය මට්ටමේ තරගාවලියක පදක්කමක් දිනා ගැනීමට මෙරට බර ඉසිලීමේ කෙළිබිම තුළ සිටින අත්දැකීම් සපිරිතම ක්‍රීඩකයා ලෙස චින්තන ගීතාල් විදානගේ සමත් වීම විශේෂයෙන් අගය කළ යුතු ය.

ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 116 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 145 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 261 ක් උසුලමින් මෙවර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට තිලංක විරාජ් පළගසිංහ ඒ අතරේ සමත් විය.

ඒ පිරිමි කිලෝ ග්‍රෑම් 61 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමිනි. මෙරට අනාගත බලාපොරොත්තුවක් බවට පත්ව සිටින තිලංක පළඟසිංහ දිගු කලකට පසුව නැවතත් ජාත්‍යන්තර පදක්කමක් දිනා ගැනීම කැපී පෙනුණි. නිවැරැදි රිද්මය හඳුනා ගත් ආකාරයක් එමඟින් දිස්විය.

මේ අතර වාරයේ සුවිශේෂ දස්කම් අතරට පැමිණි ශ්‍රීමාලි සමරකෝන් රන් පදක්කමක් ද තිමාලි හපුතැන්න රිදී පදක්කමක් ද නදීෂානි රාජපක්ෂ ලෝකඩ පදක්කමක් ද දිනා ගනිමින් මෙරට ක්‍රීඩිකාවන් අතරේ කැපී පෙනුණි.

මෙවර තරගාවලියට එක්ව සිටි ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 09 දෙනකු විය.

ශ්‍රීමාලි සමරකෝන් කිලෝග්‍රෑම් 45 ට අඩු බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීම සඳහා පැමිණි ගමනේදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 58 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 78 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 136 ක් එස වීමට සමත් වූ අතර, තිමාලි හපුතැන්න කාන්තා කිලෝ ග්‍රෑම් 87 ට වැඩි බර පන්තිය නියෝජනය කරමින් ස්නැච් ක්‍රමයට කි:ග්‍රෑ: 83 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි: ග්‍රෑ:106 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 189 ක බර එකතුවක් සටහන් කරමින් රිදී පදක්කමට හිමිකම් කීවා ය.

එමෙන්ම, කිලෝ ග්‍රෑම් 61 ට අඩු බර පන්තිය යටතේ ස්නැච් ක්‍රමයට කි:ග්‍රෑ: 74 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි: ග්‍රෑ: 91 ක් ද ලෙස කිලෝ ග්‍රෑම් 165 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් එකී ලෝකඩ පදක්කම දිනා ගැනීමට නදීශානි රාජපක්ෂට හැකි විය. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලද වැඩි ම පදක්කම් සංඛ්‍යාව ද මෙවර සටහන් විය. ඒ පදක්කම් සංඛ්‍යාව 07 ලෙසිනි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු ලෝක ශූරතා තරගාවලියේ දී එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩීකාවන් හට නොහැකි විය. ඒ ලෝක බර ඉසිලීමේ ක්‍රීඩාව තුළ මෙරට සිටින තත්ත්වය මොනවට පැහැදිලිව කරමිනි. නව ලෝක වාර්තා මෙන් ම ලෝක ශූරතා තරග වාර්තා රැසකින් ස්වයංපෝෂිත වූ මෙවර තරගාවලියට ප්‍රබල චීනය සහභාගී නොවීම කැපී පෙනුණි.

සපුමල් වීදියබණ්ඩාර

Comments